සේවක අර්ථසාධක අරමුදල ශක්තිමත් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව අරමුදලේ ක්‍රියාකාරකම් වැඩිදියුණු කෙරෙන අතර, ව්‍යාපාර සමාලෝචන ක්‍රියාවලියක්ද සිදු කර ඇත. එසේම ලෝක බැංකුවේ සහාය ඇතිව සේවක නව තාක්ෂණය භාවිත කර ලෝකයේ නවීනතම ක්‍රමවේදයන්ට අනුව එය යාවත්කාලීන කර ඇත.
1958 වසරේ සේවක අර්ථසාධක අරමුදල් පනතින් බිහිවූ සේවක අර්ථසාධක අරමුදල ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පැවතීම එම අරමුදලේ සාමාජිකයන්ගේ සතුටට හේතු වුවත් පසුගිය කාලයේ ඒ ගැන දැඩි විවාදාත්මක සිදුවීම් මාලාවක් ඇති විය. ඒ සේවක අර්ථසාධක අරමුදලේ සිදුව ඇතැයි හා සිදු වන්නට යන යම් යම් අවදානම් සහිත ගනුදෙනු නිසාය.
විශේෂයෙන්ම විගණකාධිපතිවරයා මේ අරමුදල ගැන වසර කිහිපයකට පෙර පවසා තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පැවැති අර්ථසාධක අරමුදලින් කළ ආයෝජනවලින් අරමුදලට රුපියල් කෝටි එක් දහස් එකසිය හැත්තෑවක් පාඩු සිදු වී ඇති බවකි.
විගණකාධිපතිවරයා ඒ බව පවසා සිටියේ 2011 වර්ෂයේ අරමුදලේම වාර්තාවක් උපුටා දක්වමින් කරන ලද විග්රහයකදීය. එසේම සේවකයන්ට ගෙවන ලද ප්රතිලාභ එම වසරේදී සියයට එකකින් අඩු වී ඇති බවද එහි සඳහන් විය.
විශේෂයෙන්ම වෙළෙඳ පොළ වටිනාකම රුපියල් විසි ගණනක් වූ සමාගම් කොටස්, කොටසක් රුපියල් හතලිහ බැගින් (නාමික අගය මෙන් දෙගුණයක මිලට) අරමුදලේ මුදල් යොදා මිලදීගෙන ඇති බව තවත් චෝදනාවකි. එහි වෙෙළඳ අගය ඒ වන විට නාමික අගය හා සමානව පැවතී ඇත.
මෙරට දැවැන්තම අරමුදලක් වන අර්ථසාධක අරමුදල නිසි ලෙස ආයෝජනය කිරීමෙන් ඉහළ ප්රතිලාභ දෙකක් අත්පත් කරගත හැකි අතර සමස්ත ලාංකිකයෝම ඒ ප්රතිලාභ බලාපොරොත්තු වෙති. මෙහිදී පළමු සහ වඩාත් වැදගත් ප්‍රතිලාභය වන්නේ අරමුදල වඩා ලාභ ඉපැයිය හැකි ආයෝජනයක යෙදවීම මඟින් සේවකයා විශ්‍රාම යන අවස්ථාවේදී වැඩි මුදලක් පාරිතෝෂිකය ලෙස ලබා දිය හැකි වීමයි. දෙවැන්න රටේ සංවර්ධනය සඳහා එම අරමුදල යොදාගත හැකි වීමයි. මෙහිදී ඒ ගැන මනා දැනුමකින් උපදේශනයකින් ආර්ථික උපදේශකයන් මඟින් දැනුවත්ව ආයෝජනය කිරීම සහ ව්‍යාපාරික ඥානය ද මෙහිදී ඉතා වැදගත් වේ. .
සේවක අර්ථසාධක අරමුදල එසේ දිවයිනේ ලක්ෂ ගණනකගේ දායකත්වයක් ලබා දෙන අතර එය ශ්‍රී ලංකාවේ විශාලතම අරමුදලද වේ. සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පැවරී ඇත්තේ සුළු පටු කාර්යයක් වගකීමක්ද නොවේ.
2010 – 2011 වසරේ අවදානම් මෙන්ම සාමාජිකයන්ට පාඩු සිදු වන ලෙස කළ ආයෝජන ඉවතලමින් මේ වන විට මහ බැංකුව විසින් විසින් අරමුදල තර කිරීමට මූල්‍ය මණ්ඩලය මඟින් පියවර රැසක් ගෙන ඇති බව මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.
මුදල් මණ්ඩලයේ වගකීම
මුදල් මණ්ඩලයට පැවරී ඇති වගකීම හා බලතල අනුව අර්ථසාථක අරමුදලේ සාමාජිකයන් වෙත ලබා දෙන ප්රතිලාභ ඉහළ නැංවීමත් අරමුදල් සුරක්ෂිත බව තහවුරු කිරීමත් ඇතුළු සාමාජිකයන්ට සලසනු ලබන සේවා පසුගිය වසරේ සිට වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇති බවද මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දෙයි. පසුගිය වසරේදී රටේ සමස්ත වෙළෙඳ පොළට ගැළපෙන පරිද්දෙන් ආයෝජන උපාය මාර්ග හැඩගැස්වීම මඟින් ප්රතිලාභ ඉහළ නැංවීම සඳහා අරමුදලෙහි කළමනාකරණය කටයුතු අඛණ්ඩව සිදු කරනු ලැබිණි.
විශේෂයෙන්ම ආයෝජන ක්‍රියාකාරකම්හි වගවීම මෙන්ම විනිවිදභාවය ඉහළ නැංවීමේ අරමුණින් සේවක අර්ථසාධක අරමුදල අවදානම් තත්ත්වයක් ඇති නොවන පරිදි කළමනාකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමටද පියවර රැසක් ගෙන ඇති බවද මහ බැංකු අධිපතිවරයා පවසයි.
එහි එක් පියවරක් ලෙස නව ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශයක් ගෙන හැර දැක්වීම දැක්විය හැකිය. එසේම නව ආයෝජන මාර්ගෝපදේශද හඳුන්වා දී තිබේ.
අධීක්ෂණ කමිටුවක්
ආයෝජන කටයුතු නිරීක්ෂණය කිරීම පිණිස සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන කමිටුවට අමතරව සේවක අර්ථසාධක අරමුදල ආයෝජන අධීක්ෂණ කමිටුවක් පිහිටුවන ලදී.
ඒ ඔස්සේ සේවක අර්ථසාධක අරමුදල අවදානම කළමනාකරණය පිළිබඳව පාලන ව්‍යුහය ශක්තිමත් කර තිබේ. ඒ නිසා අරමුදලේ සාමාජිකයන්ට ඉදිරියේදී කිසිදු ආකාරයක බියක් සැකයක් තම අරමුදල කෙරෙහි තබා ගත යුතු නැත. කිසිදු පාර්ශ්වයකට අවශ්‍ය පරිදි එහි මුදල් හැසිරවීමේ හැකියාවක් දැන් නැත.
සේවක අර්ථසාධක අරමුදල ශක්තිමත් කර එම අරමුදල වැඩිදියුණු කිරීම උදෙසා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව අරමුදලේ ක්‍රියාකාරකම් වැඩි දියුණු කෙරෙන අතර ව්‍යාපාර සමාලෝචන ක්‍රියාවලියක්ද සිදු කර ඇත. මේ නිසා අරමුදල ශක්තිමත් කිරීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග සියල්ලම ගෙන ඇති බව මහ බැංකු අධිපතිවරයා කීය.
ලෝක බැංකු සහාය
එසේම ලෝක බැංකුවේ සහාය ඇතිව සේවක අර්ථසාධක අරමුදලේ ක්‍රියාකාරීත්වය ස්වයංකරණය කිරීම (AUTO SYSTEM) සඳහා නව තාක්ෂණය භාවිත කර ලෝකයේ නවීතනම ක්‍රමවේදයන්ට අනුව එය යාවත්කාලීන කර ඇත.
මේ නිසා අරමුදලේ ආරක්ෂාව උපරිම අයුරින් සිදු වන අතර කිසිදු අයකුට අරමුදලේ දත්තයන්ට හානි කිරීමට හැකියාවක් නොලැබෙනු ඇත. එසේම සයිබර් ප්‍රහාර වැනි අන්තර්ජාතිකව බලපානු ලබන අවහිරතා මෙන්ම ව්යසනයන්ටද මුහුණ දීමට හැකි වන පරිදි අරමුදලේ සුරක්ෂිතභාවය ඇති කර ඇත.
එසේම අරමුදලේ වෙබ් අඩවිය පදනම් කරගෙන වැඩි පහසුකම් සැපයීම උදෙසා එම වෙබ් අඩවියද වැඩි දියුණ කර ඇත. එය මේ වසරේ තවත් වැඩි දියුණු කෙරෙනු ඇත.
එමෙන්ම සාමාජික තොරතරු යාවත්කාලීන කිරීම ක්ෂණිකව සිදු කිරීමට මේ දිනවල කටයුතු කරමින් තිබෙන අතර මේ සඳහා බලපත්‍ර ලාභී වාණිජ බැංකු ඒ සඳහා මේ වසරේදී සම්බන්ධ කරගෙන ඇත.
විශේෂයෙන්ම විවිධ ආයෝජන උපාය මාර්ග මඟින් මෙහි අවදානම අඩු වී ගොස් ප්‍රතිලාභයක් ලබාගැනීමට හැකියාව ලැබීම ඉහළ යනු ඇත.
අවදානම අඩු වීම
ඒ සියල්ලම නව ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශයට සහ ආයෝජන මාර්ගවලට අනුගත වන පරිදි සිදු කර ඇත. දිගුකාලීන ආයතනික ආයෝජකයකු ලෙස ආයෝජන විවිධාංගකිරීමේ ක්‍රියාවලියක් මඟින් නව වෙළෙඳ පොළ අවස්ථා හා නව මූල්‍ය උපකරණ යොදාගැනීමට අපේක්ෂා කර ඇත.
මේ සියලු කටයුතු මඟින් මහ බැංකුව බලාපොරොත්තු වන්නේ මුදල් මණ්ඩලය ඔස්සේ සේවක අර්ථසාධක අරමුදල ශක්තිමත් කිරීමය.
අර්ථසාධක අරමුදලේ ස්ථාවරභාවය පිළිබඳ මෙතෙක් සාමාජිකයන් තුළ පැවැති බිය සැකද මේ අනුව දුරුව යනු ඇත.
ඉදිරියේදී සේවක අර්ථසාධක අරමුදලේ තම ශේෂය බලාගැනීමට මෙන්ම අර්ථසාධක අරමුදලේ සමස්ත ශේෂයම බලා ගැන්මට සාමාජිකයන්ට හැකි වන අතර එහි අරමුදල් ආයෝජනය කරන්නේ කුමක් උදෙසාද යන්නද දැක බලාගැනීමට අන්තර්ජාලය ඔස්සේ හැකි වනු ඇත.
එමඟින් සමස්ත සේවක අර්ථසාධක අරමුදලේම සුරක්ෂිත භාවය මෙන්ම විනිවිදභාවයද රැක දීමට මහ බැංකුව සූදානමින් සිටී.
from silumina
0 Comments