Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සැබෑ දුප්පතුන් ලක්ෂ අටකට අලුතින් සමෘද්ධි ආධාරය දෙනවා

2 පෙබරවාරි, 2019

‘සේනා’ දළඹු උවදුර දැඩි ලෙස ව්‍යාප්ත වූ දිස්ත්‍රික්කයක් තමයි අම්පාර. එහි ජනතා නියෝජිතයකු ලෙස මේ උවදුර මැඬපැවැත්වීමට (කෘෂිකර්ම අමාත්‍යාංශයට අමතරව) ඔබ ගෙන ඇති පියවර මොනවාද?

මේ උවදුර පිළිබඳ මට දැනගන්න ලැබුණේ ගොවීන්ගෙන්. පසුව විපත් සිදු වූ මහඔය ප්‍රදේශයට ගොස් මා ප්‍රදේශ කීපයක බඩඉරිඟු වගා පරීක්ෂා කළා. තත්ත්වය කොතරම් බරපතළද කියලා දැනගන්න ලැබුණේ ඉන් පස්සෙයි. අන්තර්ජාලයෙන් මේ පිළිබඳව මා පරීක්ෂා කර බැලුවා. මුලදී නම් අපේ කෘෂිකර්ම නිලධාරීන් මේ උවදුර ගැන වැඩි සැලකිල්ලක් දැක්වූ‍යේ නෑ. ඒ දවස්වල රටේ පැවතුණ බල පෙරළිය පිළිබඳව මේ නිලධාරීන්ගේත් අවධානය යොමුව තිබීම ඒකට හේතුව වෙන්න ඇති. කොහොම වුණත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරීන් විසි අට දෙනාටම මා නියෝග කළා මේ පිළිබඳ පර්යේෂණ කරන්න කියලා. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය විදියට අපි තායිලන්තයේ බීඒසී සමුපකාර බැංකුව සමඟ සහ කසකස්තාන් විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. ඔවුන්ගේ විශේෂඥ කණ්ඩායමක් මේ සතියේ එවීමට පොරොන්දු වුණා. ඊට අමතරව ඊශ්‍රායල් කෘෂිකර්ම විශේෂඥ කණ්ඩායමකට ලංකාවට ඇවිත් මේ ගැන සොයා බලන්න කියා ඉල්ලීමක් කර තිබෙනවා.

මේ උවදුර මර්දනයට කෘෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත් වීම ප්‍රමාණවත් ‍නැති බව ඔබ පසුගියදා ප්‍රබල චෝදනාවක් කළා. එවැනි චෝදනාවක් කළේ කවර කරුණු මතද?

එදා මා කීවේ ඒ අවස්ථාවේ තිබුණු තත්ත්වයයි. අද ඊට හාත්පසින්ම වෙනස්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අද යුහුසුලුව මේ ගැන සොයා බලා අවශ්‍ය පියවර රැසක් ගෙන ‍තිබෙනවා.

නොවැම්බර් 10ට පෙර පළාත්සභා මැතිවරණය පැවැත්වූයේ නැති නම් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් වන බව මහින්ද දේශප්‍රිය මහතා පවසනවා...

ඔහු එහෙම කියන්නේ, ඔහු දන්නවා මේ මැතිවරණ දෙකම එදාට කලින් පැවැත්වෙන බව.

දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන්න සූදානම් නැති බවත් මැ.කො. සභාපති පැවසුවා. ‍ඔහුට දේශපාලන පක්ෂවලින් යම් බලපෑමක් තිබෙනවාද?

එය ඔබ ඔහුගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. අපේ රජය එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වගේ මැතිවරණ කොමසාරිස්වරුන්ට ආතතිය හදපු පක්ෂයක් නොවෙයි. ඒ වගේම මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙනකල් අපි මැතිවරණ කොමසාරිස් හංගාගෙන හිටියේ න‍ෑ.

සංස්ථා, මණ්ඩල ප්‍රධානීන් තවමත් හරිහැටි පත් කර නෑ. ඇයි මෙවැනි ප්‍රමාදයක්?

ඇත්තටම මා දන්නේ නෑ එවැනි විශේෂ ප්‍රමාදයක් ඇති බවක්. ජනපති හා අගමැතිවරයා විසින් පත් කරන ලද කමිටුවකින් මේ පත්වීම් අනුමත වන්න ඕනෑ. අපේ අමාත්‍යාංශයේ නම් ලැයිස්තු ටික ඇරියේ පසුගිය සතියේ. මේ සතියේ අපට අනුමැතිය ලැබී තිබෙනවා. ඉදිරියේදී ඒ පත් කිරීම් සිදු කරනවා.

ජාතික ආණ්ඩුවක් පිළිබඳ යළිත් කතාබහ ඇති වනවා.‍ ජාතික ආණ්ඩුවකට යන්න එජාපය ස‍ූදානම්ද?

එජාපයට ශ්‍රීලනිපයෙන් මන්ත්‍රීන් පිරිසක් එක් වුණා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තනි පක්ෂයක් හැටියට අපට පත් කරන්න පුළුවන් ඇමැතිවරුන් 28ක් පමණක් නිසා, ඔවුන්ට අමාත්‍යාංශ දීමට නම් අපට ජාතික ආණ්ඩුවක අවශ්‍යතාව පැනනැඟී තිබෙනවා.

ජාතික ආණ්ඩුවකට යන්න හදන්නේ ඇමැතිවරුන් වැඩි කරගැනීමේ උප්පරවැට්ටියකටැයි චෝදනාවක් නැ‍ඟෙනවා නේද?

දැනට අමාත්‍යාංශ කීපයක් එකතු කර සමහර ඇමැතිවරුන්ට දී තිබෙනවා‍. එක් ඇමැතිවරයකුට එවැනි අමාත්‍යාංශ ගණනාවක් බලාගන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා එවැනි අමාත්‍යාංශ වෙන් කර තවත් ඇමැතිවරුන් කිහිප දෙනකු පත් කළ යුතුයි.

පසුගිය දිනවල මැතිසබේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් පනස්හතර දෙනකුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. ඒ අතර දෙදෙනෙක් එජාපයේ. මේ අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවාද?

කවුරු හරි විනය කඩකිරීමේ චෝදනාවක් මත වැරැදිකරු වුණොත්, ඒ පිළිබඳ තීරණ ගන්න ඕනෑ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන්.

ඥානසාර හිමිට ජනාධිපති සමාවක් පෙබරවාරි 04 දා ලැබෙන බවට මාධ්‍ය වාර්තා පළ වෙනවා. ඒ පිළිබඳ එජාපයේ මතය කුමක්ද?

එවැනි දේකට එජාපයේ මතය අවශ්‍ය නෑ. ඥානසාර හිමි එජාපයේ සාමාජිකයෙක් නොවේ. මා පෞද්ගලිකව හිතන්නේ ඥානසාර හිමි තරුණ භික්ෂුවක ලෙස සමහර අවස්ථාවල ආවේගශීලීව හැසුරුණු අවස්ථා තිබුණත්, උන් වහන්සේ බුද්ධ පුත්‍රයකු හැටියට ශාසනයට හා ජාතියට කළ සේවය පිළිබඳ මගේ ගෞරවය හිමි වනවා. ඒ පිළිබඳව ජනාධිපතිවරයා සාධාරණ තීන්දුවක් දෙයි.

පිටරටින් ගම්මිරිස් ගෙන්වීම කෘෂිකර්ම ඇමැතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා තිබෙනවා‍. මෙලෙස පිටරටින් ගම්මිරිස් ගෙන්වීමට කටයුතු කළේ ඔබ කියලාත් චෝදනාවක් තිබෙනවා...

ගම්මිරිස් පිටරටින් ගේන්න මා අවසර දී නෑ. මගේ අමාත්‍යාංශයෙන් අවසර ගත යුතුයි කියා තිබුණාට පිටරටින් ගම්මිරිස් හොරෙන් ගෙන්වනවා නම් ඒක නවත්වන්න පුළුවන් රේගු බලධාරීන්ට හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිරෝධායන අංශයට. අපේ රටට ගම්මිරිස් ගෙනත් ප්‍රතිඅපනයනය කරනවා නම් අපේ ර‍ටේ ගම්මිරිස් කියා සහතිකය ලබාදෙන්නේ වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යාංශය මගින්. මට චෝදනා කර වැඩක් නෑ. ප්‍රතිඅපනයනය සඳහාවත් ගම්මිරිස් පිටරටින් නොගෙනා යුතුයි කියා කැබිනට් මණ්ඩලයට යෝජනා කළේ මමයි. කැබිනට් මණ්ඩලය ඒකමතිකව එය අනුමත කළා.

ඔ‍බේ අමාත්‍යාංශයට අලුතින් ඈඳුණු විෂයයක් තමයි සමෘද්ධිය. සමෘද්ධිය සම්බන්ධයෙන් ඔබ අනුගමනය කරන වැඩපිළිවෙළ කුමක්ද?

ලක්ෂ දාහතරක් දැනට සමෘද්ධිය ලබා ගන්නවා.‍ ඉන් සියයට අසූ තුනක් වසර පහළොවක් තිස්සේ සමෘද්ධිය ගන්නා අය. එදා ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනසවිය දුන්නේ වසර දෙකකට පමණයි. වසර දෙකකින් පසු ජනසවිලාභීන් සවිබල ගැන්නුවා; අවම වශයෙන් ඔවුන්ට රැකියාවක් හරි සොයා දුන්නා. සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය කියලා නම තිබුණාට අමාත්‍යාංශය මඟින් සවිබල නොගැන්වීම නිසා එහි කාර්යභාරය මෙතෙක් හරි හැටි ඉටු වී නෑ. ඒ ගැන මා කනගාටුවනවා. සමෘද්ධි නිලධාරීන් විසි අට දාහක් පමණ සිටිද්දීයි මෙහෙම වන්නේ. අද වන විට ලක්ෂ අට හමාරක් ඇත්ත දුප්පත් මිනිස්සු සමෘද්ධිය ලබාගැනීමට පෝලිමේ ඉන්නවා. අදියර තුනකින් මේ ලක්ෂ අට හමාරට මා සමෘද්ධිය ලබාදෙනවා. එහෙම ලබා දෙන්නේ වසර තුනකට පමණයි. ඒ වසර තුන තුළ ඔවුන් සවිබල ගන්වනවා.



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();