චරිත රත්වත්තේ වූ කලී නීතිඥවරයකු ලෙස සිය වෘත්තීය දිවිය අරඹමින් මෙරට පරිපාලන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයකු ලෙස දැවැන්ත පරිපාලන අත්දැකීම් රැසකට උරුමකම් කියන්නෙකි. ජාතික තලයේ දේශපාලනයට සමීප ඔහු ජාතික තරුණ සේවා සභාව ඇතුළු ආයතන රැසක් ජාතික හා අන්තර්ජාතික තලයට ගෙන ආ අතර සභාපතිවරයකු, කොමසාරිස් ජනරාල් වරයකු, ලේකම්වරයකු ලෙස ආයතන හා අමාත්‍යාංශ ගණනාවක විවිධ නිලතල දරන්නට සමත් විය. වර්තමානයේ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස කටයුතු කරන චරිත රත්වත්තේ වගකීම් සහගත කාර්යබහුල දිවියක් ගත කළ ද අතිශය ආනන්දනීය චරිතයක් වන්නේය.
* මාව බෝඩින් කර උගන්වන්න අප්පච්චි කැමැති වුණේ නැහැ
* මම මුදල් අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ 6ක ලේකම්වරයෙක් වුණා
* අගමැති රනිල් සරසවියේ සටන් සගයෙක්
ඔබේ ගම් පියස, කුඩා කල ගෙවී ගිය මතකයන් සමඟ අපේ කතාබහ අරඹමු?
1948 ලංකාවට නිදහස ලැබුණ වසරේ තමයි මම ඉපදුණේ. මගේ අප්පච්චි මහනුවර රත්වත්තේ පරපුරේ. අම්මා මාතලේ අලුවිහාරේ. අම්මගේ අප්පච්චි තමයි රිචඩ් අලුවිහාරේ. ලංකාවේ පළමු වන ශ්‍රී ලාංකික පොලිස්පති. මම ඉපදෙන විට මගේ අප්පච්චි කොළඹ පෞද්ගලික අංශයේ වතු සමාගමක රැකියාව කළේ. ඒ නිසා අපි කොළඹ පදිංචි වෙලා හිටියේ. අපි පදිංචිව හිටියේ පොලිස්පති නිල නිවාසයේ. එය පිහිටා තිබුණේ දැන් රාජකීය විද්‍යාලයේ විදුහල්පති නිල නිවාසය තිබෙන තැනයි. රත්වත්තේ පරපුරේ හැමෝම ගියේ නුවර ට්‍රිනිටි කොලෙජ් එකට. ඒ්ත් මාව බෝඩින් කර උගන්වන්න අප්පච්චි කැමැති වුණේ නැහැ. මාව දැම්මේ නිල නිවාසේ තාප්පෙන් එහා පැත්තෙ තිබුණු රෝයල් කොලෙජ් එකට. මම රාජකීය විද්‍යාලයට ගියේ ඒ විදිහට අහම්බෙන්.
පාසල් කාලයේ මතකය මොන වගේද?
රාජකීය විද්‍යාලය ඉතාම හොඳ පාසලක්. මම අධ්‍යාපනයට වගේම විශේෂයෙන්ම පාසලේ බාහිර කටයුතුවලටත් දායක වුණා. ස්කවුටින්, කැඩෙටින්, පිහිනුම් ක්‍රීඩා, රගර් තරඟ ආදී මේ සියල්ලටම ඉදිරිපත් වුණා. මේවාට සහජ දක්ෂතාවක් තිබුණා. හැබැයි පාසල් සමයේ මගේ ජීවිතයට ඉතාම වැදගත් වුණු අත්දැකීම් දෙකක් මතක් කරන්න කැමැතියි. මම හිතන්නේ ඒ ඔස්සේ තමයි වෙනත් අයට නොලැබෙන අන්දමේ සමාජය පිළිබඳ ප්‍රායෝගික දැනුමක් මට ලැබෙන්නේ. ඉස්සර අපි ඕලෙවල් කරලා මාස හයකින් පසුවයි ප්‍රතිඵල එන්නේ. ඒ කාලෙ පාසලට ක්‍රීඩාකරන්න බාහිර වැඩවලට ගියත් වැඩිය මොනවත් කරන්නෙ නැහැ. ඒ වන විට මගේ අනෙක් යාළුවො හැමදෙනාම වගේ ඒ අයගේ තාත්තලගෙ වාහන එළවන්න ඉගෙන ගන්නවා. විවිධ දේවල් කරනවා. දවසක් මමත් ගිහින් අප්පච්චිට කියනවා 'මටත් කාර් එකක් එළවන්න ඉගෙන ගන්න ඕන' කියලා.
කාර් එකක් ඔබට ලැබෙන්න ඇති?
නැහැ. අප්පච්චි මගෙන් අහනවා ඔයා කාර් එකක් වැඩ කරන්නෙ කොහොමද කියල දන්නවද? කියලා. මම කාර්වල නැගල ගිහින් තියනවා විතරයි. මම ඒ ගැන දන්නේ නැහැ කිව්වා. ඉස්සෙල්ලා ඒක ඉගෙන ගන්න කියලා මිකැනික් වැඩ ඉගෙන ගන්න මාව ගිහින් දැම්මා ඒ කාලෙ වික්ටෝරියා පාක් එක පිටුපස තිබුණු බ්‍රිටිෂ් කාර් කොම්පැනියට. ඒ වන විට මොරිස් මයිනර් කාර් එජන්ට් වුණේ ඔවුන්. ඒ මාස හය මම බාස් කෙනෙක් යටතේ ආධුනිකයකු ලෙසයි වැඩ කළේ. ඒ කාලය තුළ පාසලෙන් ඉගෙන ගන්න බැරි බොහෝ දේ මම උගත්තා. පරණ කාර් අයිතිකරුවන් කාර්වලට හරි ආදරෙයි. ඒ නිසා බංකුවක් ළඟින් තියලා වාඩිවෙලා කාර් එක හරියට හදනවද කියල බලන් ඉන්නේ. සමහර විශේෂ වාහන හදන කොට සාමාන්‍ය ආයුධ මඟින් වැඩ කරන්න බැහැ. ඒවට තිබුණෙ විශේෂ ආයුධ.ඒවා ඉස්ටෝරුවේ තියෙන්නේ. මේ කාර් එකක් ආපුවහම බාසුන්නැහැලා ස්ටෝරුවට ගිහින් ස්ටෝකීපර්ගෙන් ආයුධ අරන් එන්න ඕනේ. ස්ටෝකීපර්ටත් බාසුන්නැහැටත් කරදරේ. මිටියෙන් සහ කපන කටුවෙන් කරන්න පුළුවන් වැඩටත් විශේෂ ටූල් ගේන්න ඕන. සාමාන්‍යයෙන් ව්‍යාපාරික ලෝකෙ මහත්වරු ආපුවහම මාත් එක්ක කතා කරනවා රගර් මැච් ගැන, ක්‍රිකට් ගැන. මිටියෙන් කරන්න පුළුවන් වැඩක් ආපු වෙලාවට බාස්සුන්නැහැලා මට කතා කරල කියනවා මහත්තය අර මහත්තය එක්ක ටිකක් රගර් හරි ක්‍රිකට් ගැන හරි කතා කරන්නකො කියලා. මමත් ඉතින් හොඳට කතාවට අල්ලගෙන එතනින් ටිකක් එහාට එක්කගෙන යනවා. මේ කතා අතරේ කටුවයි මිටියයි අරගෙන ටක් ගාලා බාස්ලා වැඩේ කරනවා. ආ! බාසුන්නැහැ ටූල් එක ගෙනාවද? කියලා හිමිකරු අහද්දී ඔව් වැඩේ කරලා ආයුධ ආපසු ගිහිල්ලත් දුන්නා කියලා කියනවා. මේ වගේ දේවල් හරියට සිද්ධ වෙනවා. ඒ වගේ සමාජයේ ගැවසෙන හැටි, මිනිසුන් ඇසුරු කරන අන්දම හොඳට ඉගෙන ගත්තා.
ඔබ උසස් පෙළ සමත් වෙනවා?
සාමාන්‍ය පෙළ සමත් වෙලා කලා අංශයෙන් තමයි උසස් පෙළ හැදෑරුවේ. පළමු සැරේ උසස් පෙළ කරත්දී රගර් ක්‍රීඩා කිරීම නිසා පාඩම් අතපසු වුණා. අප්පච්චිට ලොකු වුවමනාවක් තිබුණේ මා නීතිඥවරයකු වෙනවා දකින්නට. ඉන් පස්සේ දෙවන සැරේ කිව්වා මේක හරියන්නෙ නැහැ පාඩම් කරන්න කියලා. පළමු පසුබෑම පාඩමකට ගෙන කැපවී පාඩම් කළා. උසස් පෙළ ලියූවාට පසු ප්‍රතිඵල එනතෙක් මාව දැම්මා වන සංරක්ෂණ ස්වේච්ඡා සංවිධානයක සේවයට. එතැන හිටියා ආණ්ඩුවේ පරණ චීෆ් ක්ලාක් කෙනෙක්. ඉංග්‍රීසි කතා කරන. ෆයිල් සිස්ටම්, ඉන්ඩෙක්ස්, කෝල්-අප් ඩයරි හදන හැටි ආදී කාර්යාල කටයුතු රැසක් මට ඉගෙන ගන්න ලැබුණේ ඔහුගෙන්. උසස් පෙළ සමත් වෙලා කොළඹ නීති පීඨයෙන් නීතිඥයෙක් විදිහට දිවුරුම්දීල උසාවියේ නඩුවලට පෙනී සිටින විට මම ඉගෙන ගෙන තිබුණු දේවල් හරිම ප්‍රයෝජනවත් වුණා. ඒ කාලෙ මට මේවායේ වැදගත්කම් එතරම් තේරුණේ නැහැ. අද සාමාන්‍ය ජනතාව එක්ක වැඩකරන කොට ඒ අත්දැකීම් මොන තරම් ප්‍රයෝජනවත් ද කියලා හිතෙනවා.
රදළ පෙළපතට අයත් වුණත් සරල දිවියක් ගෙවූ ඔබේ පියා දුර දුටු කෙනෙක්?
ඔව්. මටත් එහෙම හිතෙනවා. මගේ අත්තා නුවර පළවෙනි නගරාධිපති, රාජ්‍ය මණ්ත්‍රණ සභවේ සාමාජිකයෙක් වෙලා හිටියත් තාත්තාට නම් ඒවා සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්න තිබුණෙ නැහැ. ඇඟට ගත්තේ නැහැ. සාමාන්‍ය මිනිස්සුත් එක්ක ගැවසෙන්න පුදුමාකාර හැකියාවක් අප්පච්චිට තිබුණා.වතුපාලකවරයෙක් හැටියට ඔහු ලද පන්නරය විශාලයි.
විශ්වවිද්‍යාල ජීවිතේ?
මම නීතිඥ වෘත්තියේ නියැලුණාට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විෂය තමයි විශේෂ විෂයක් වශයෙන් කළේ. එයට හේතු වුණේ පාසලේ දි ප්රජාචාරය අපිට ඉගැන්නූ කරුණාරත්ත ගුරුතුමා තමයි එයට පදනම දැම්මේ. එයට ලොකු කැමැත්තක් තිබුණා. අපි ආපු පළමු වසරේ තමයි නීති පීඨය කොළඹට ගෙනාවේ. මමයි රනිල් වික්රමසිංහයි මිතුරන් බවට පත් වන්නේ නීති පීඨයේදියි. නීති ශිෂ්‍ය සංගමයේ ප්‍රථම සභාපති වුණේ මම. ඒකාලෙ තමයි ඊරියගොල්ල ඇමැතිතුමා විශ්වවිද්‍යාල එකතු කරන්න පනතක් ගෙනාවේ. අපි ඒ වෙනුවෙන් විරුද්ධ වී සටන් කළා. එයින් වුණේ මාස කීපයකින් අපේ උපාධිය ප්‍රමාද වුණ එක විතරයි. මම අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ උප සභාපති වුණා. ඒ කාලෙ මේ වගේ නෙමෙයි. අද වගේ උග්‍ර දේශපාලනය විශ්ව විද්‍යාලවල තිබුණෙ නැහැ. අපිට බලපාපු ප්‍රශ්න වෙනුවෙන් අපි අරගල කළේ. වියදම, නේවාසිකාගාර ප්‍රශ්න ගැන. වොල්වින් ඩී සිල්වා තමයි හිටියේ වයිස් චාන්සලර් විදිහට. මගෙන් ඇහුවා යුනියන් එක බල්ලෙක් නම් ඔයා ඔලුවද වලිගෙද කියලා. මම හිනාවෙලා කිව්වා අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදියට හැසිරෙනවා කියලා. නීති විද්‍යාලයේ දිව්රුම් දීලා වසර 5ක් මම නීතිය ප්රැක්ටිස් කළා. ජ්‍යේෂ්ඨ නීතීඥවරු යටතේ වැඩ කළා. එච්. ඩ්බ්ලිව් ජයවර්ධන, ඊලියම් කන්නංගර, වර්නන් විජේතුංග, සර්වානන්ද වගේ අය සමඟ.
නීතිඥ වෘත්තිය පිළිබඳ ඔබ තෘප්තිමත් වුණාද?
නීතිඥ වෘත්තියත් හරියට කරන්න පුළුවන් නම් සෑහෙන තෘප්තියක් ලබන්න පුළුවන් සේවයක්. හැබැයි අපේ තිබෙන ක්‍රමවේදය හරිම දුර්වලයි. මාක් කුරේ මහාචාර්යවරයා අපිට කිව් දෙයක් තමයි නීතීඥ වෘත්තියට එනව නම් මේන්ටේනන්ස් දවසට උසාවියට පළයල්ලා. ගිහින් අත්හැරපු දික්කසාද වූ කාන්තාවන් උසාවියෙන් ගෙවන යැපීම් දීමනාව ගන්න එනවා. බලන්න ඒ අය විදින දුක. ඒක දරාගන්න පුළුවන් නම් පළයන් නීතීඥ වෘත්තියට කියලා කිව්වා. නැත්නම් ඕකට යන්න එපා කියලා කිව්වා. එය මට හුඟක් බලපෑවා. මම තෘප්තියක් ලැබුවේ දුප්පත් මිනිසුන්ගේ නඩු කතා කරලා. 1970 ආණ්ඩු වෙන් පස්සේ පරිපාලන නීතිය (Administrative Law) ගැන නඩු රැසක් තිබුණා. ඒවට පෙනී හිටින්න මට අවස්ථාව ලැබුණා.ඒ ක්ෂේත්‍රය ගැන ඉගෙන ගත්තා. පරිපාලකයෙක් වශයෙන් කටයුතු කරන්න මට පන්නරය ලැබුණේ ඒ නඩුවලට පෙනී ඉඳලා.අනෙක් කෙනාගේ අදහසටත් ඉඩ දෙන්න ඕනෑ. සාධාරණ වෙන්න ඕනෑ යන සාධාරණ නීතිය ගැන ඉගෙන ගන්න මට අවස්ථාව ලැබුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මගේ මිතුරෙක් නිසා ඔහු බියගම සංවිධායක ලෙස පත්වී 77ඡන්දෙට උදව් කරන්න කියලා මට කිව්වා. මම උදව් කළා.පස්සෙ කාලයේ මම හිතුවා මට නීතිඥ වෘත්තිය ගැලැපෙන්නේ නැහැ. හවසට ගෙදර ගිහිල්ලා මේ වෘත්තිය මට සාධාරණීකරනය කරන්න බැහැ කියලා.
මේ වකවානුවේ ඔබ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බවට පත්වෙනවා?
ජේ. ආර් ජයවර්ධන මහත්තයා 1968 තරුණ සේවා පනතක් ගෙනල්ලා තරුණ සේවා සභාව ඇති කළේ තරුණ තරුණියන්ගෙ හැකියා නංවන්න. ඒත් 1970 පැරදුණාට පස්සේ එයින් කිසිම දෙයක් සිදු වුණේ නැහැ. 1977 දි බලයට පත් වී ජයවර්ධන මහත්තයා මට කතා කරනවා. කැමැති ද මෙය අරගෙන කරන්න කියලා. හැම තරුණයටම යම්කිසි දක්ෂතාවක් හැකියාවක් තියෙනවා. මොකුත් බැරි කෙනෙක් නැහැ. ඒවා පුළුවන් තරම් කලින් හඳුනාගෙන ඒ ක්ෂේත්රයට එයාව දියුණු කරන එකයි එහි පරමාර්ථය වුණේ. ඒ වන විට සභාව වැටිලා තිබුණේ. 70 දි පත් වුණ ආණ්ඩුව සභාවේ සමුහ ගොවිපළ වගේ දේවල් කරල අසාර්ථක වෙලා තිබුණා. මම බැලුවා මේකට මොකද කරන්නේ කියලා. ජයවර්ධන මහත්තයා යෝජනා කළේ යුනිෆෝම් එකක් දීලා නිල සේවයක් ඇති කරලා තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව දෙන්නයි. ඒත් මම දැක්කා මැලේසියාවේ ඉතා ආදර්ශවත් තරුණ වැඩසටහන් තියෙනවා කියලා. මම එහි ගිහින් ඒවා අධ්‍යයනය කළා. මට තේරුණා තරුණයෝ පෙළගස්ස ගෙන මෙයට සම්බන්ධ කර ගන්න ගම්මට්ටමේ සංවිධානයක් අවශ්‍යයි කියලා. ඒ කාලෙ රනිල් මහත්තයා විදෙස් කටයුතු නියෝජ්‍ය ඇමැති අපි මේ ගැන කතා කළා සංවිධාන හදන්න. ඒ අදහස ගම්මට්ටමින් දියත් කරලා පදනම දැම්මා. පියවරෙන් පියවර එය ඉදිරියට ගියා.හැම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම අවම වශයෙන් යෞවන සමාජයක් තිබුණා. පසුව දිස්ත්‍රික් මට්ටමින්, සමස්ත ලංකා මට්ටමින් රැස් වී සංවිධානය වුණා. තරුණ තරුණියන් වගේම තරුණ උපාධිධාරීන් එයට දායක වුණා. අපි ඔවුනට මඟ පෙන්වීම අදහස්, සහාය දුන්නා විතරයි. ඒ කට්ටිය තමයි වැඩ කළේ. මධ්‍යස්ථාන කීපයක් රටවටා ආරම්භ කළා. ජාතික තරුණ සේවා සභාව ඔස්සේ රටේ තරුණ තරුණියන්ට විවිධ කර්මාන්ත වගේම තම දක්ෂතා ඔපමට්ටම් කරගනිමින් ජාතික මට්ටමටත් අන්තර්ජාතික තලයටත් ඉදිරියට යන්න අවස්ථාව ලැබුණා. ඒ සඳහා විවිධ වැඩසටහන් දියත් වුණා. අදටත් ඒ ඔස්සේ ජීවිතය ජයගත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සමාජයට එක්වෙනවා. ඒ ගැන හරි සතුටක් දැනෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි යෞවන සම්මාන ආරම්භ කළේ. කලාව, දක්ෂතාව හොයාගෙන එය දියුණු කර ගන්න අවස්ථාව ලබා දුන්නා. අදත් සමහරු එනවා මාව හම්බ වෙන්න. යෞවන සම්මාන දිනා රැකියාවල නියුක්ත වෙන අය. මහරගම මධ්‍යස්ථානය ජපන් රජය 1982 ත්‍යාගයක් ලෙසයි අපිට ලබා දුන්නේ. 83 කලබල අස්සේ එය පුච්චන්න ආවා. එය අසාර්ථක වුණා. මහරගම තරුණ කැළ මධ්‍යස්ථානය ආරක්ෂා කළා.
යොවුන් පුරය හැදෙන්නෙත් මේ ඔස්සේයි?
ඔව්. යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය අමාත්‍ය ගාමිණී අතුකෝරාල දෙපළගේ අදහසක් අනුව ජාතික මට්ටමෙන් යෞවන සමාජ නායකයින් එක් රැස්වී දින කිහිපයක් පුරා තම කුසලතා එළිදැක්වීම එයින් සිදු වුණා. තරුණ දක්ෂතා රටට වගේම අන්තර්ජාතික තලයට ගෙන යන්න මෙය පිටුවහලක් වුණා.
ලංකාවේ අභිමානවත් ජාතික ක්‍රීඩාවට සාර්ථක පදනම දමන්නේ ඔබේ සමයේදියි?
අපි දිස්ත්‍රික් යෞවන සමාජවලට උත්සව සංවිධානය කරන්න අවස්ථාව දුන්නා. සංදර්ශනයට ආදර්ශවත් ක්‍රීඩාවක් කරන්නත් අවස්ථාව දුන්නා. මම හිතුවේ ක්‍රිකට් ඉල්ලයි කියලයි. මම පුදුම වුණා. හැම පැත්තෙන්ම ආවේ වොලි බෝල්. ලංකාවේ ඉන්න හොඳම තරුණ කොටස් අරගෙන එක තැනක පුහුණු කරලා සමස්ත ලංකා මට්ටම ගෙන එන්න අපි කටයුතු කළා. කේ.විජේපාල පුහුණුකරු යටතේ සභාවේ ක්‍රීඩකයන් තේරුවා. සමස්ත ලංකා ජයග්‍රහණය ගත්තා. අද හැම අතින්ම ඉදිරියෙන් ඉන්න තරුණසේවා සභාව වොලි බෝල්වලට සම්බන්ධ වුණේ අහම්බෙන්. ඒ යෞවන සමාජ නිසා.
ඔබ තරුණ සේවා සභාවෙන් ඉවත්වෙනවා?
1977 සිට 1990 දක්වා මම සභාපති ලෙස කටයුතු කළා. අවුරුදු 12ක් සේවය කළා. ඒ කාලයේ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළා. යුද්දෙ කාලෙ මිනිස්බල අමාත්‍යාංශය හැඳුවා. මම එහි ලේකම් ලෙස කටයුතු කළා. එයින් ජාතික ආරක්ෂක හමුදා අංශයක් හදලා අපි පොලීසියට කට්ට්ය පුහුණු කළා. ඒ කට ලංකාවේ හැමතැනම යන්න වුණා. 89 රටේ ආපු ප්‍රශ්න යටතේ බොහොම කරදර කාලයක්. පසුව ප්‍රේමදාස මහත්තයා මාව පත් කළා පුනරුත්ථාපන අමාත්‍යාංශයෙ ලේකම් ලෙසට. ඒ කාලෙදි එල්ටීටී එක දෙවැනි යුද්ධයක් පටන් ගත්තා. මාව පත් කළා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් හැටියට. සමස්තයක් ලෙස ශ්‍රී ලංකා රජයට සේවය කළ කාලය තුළ මම මුදල් අමාත්‍යංශය ඇතුළු ආමාත්‍යංශ 06ක ලේකම් වරයකු වශයෙන් ද අධ්‍යක්ෂ ජනරාල් සභාපති වශයෙන් ද අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් වශයෙන් ද ලෝක බැංකු ව්‍යාපෘතියක කළමනාකාර අධ්‍යක්ෂක වශයෙන් ද වොලිබෝල් පාලක මණ්ඩලයේ සභාපති වශයෙන් සහ ඊට අමතරව විවිධ වගකීම් යටතේ සේවය කළා.
ඔබටත් මරණීය තර්ජන එල්ල වෙනවා?
89 ජේ.වී.පී කාලේ මට ජාතික බුද්ධි අංශයෙන් (NIB) ලියුමක් හම්බ වුණා. ත්රස්තවාදීන්ගේ ව්‍යාපාරයට ඔබතුමා තර්ජයක් වී ඇති බවත් එයට යම් පියවරක් ගන්නවා කියා තර්ජනය කර ඇති බවටත් මට ආරක්ෂක අංශ මඟින් දැනගන්න ලැබුණා. එනිසා මගෙත් පවුලේ ආරක්ෂාවත් සලස ගන්න කිව්වා. එහෙම කිව්ව කියල මම මොනව කරන්නද? පවුල කොළඹ. මම අම්පාරෙ. මගේ අත්ත පොලිස්පතිවරයෙක්ව සිටි නිසා ඔහුට රිවෝල්වරයක් තිබුණා.එය ආරක්ෂාවට තබා ගත්තා. මා මරන්න ආවොත් වෙඩි තියන්න සූදානමින් මම කටයුතු කළා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් විදියට උතුරට අත්‍යවශ්‍ය සේවා සපයන නිසා එල්.ටී.ටී.ඊ සංවිධානයෙනුත් මරණ තර්ජන තිබුණා.
ජනසවිය අරමුදලටත් ඔබ දායක වුණා?
ඉන් පස්සේ ලෝක බැංකුවේ ලොකු ව්‍යාපෘතියක් ආවා. ජනසවිය බාරකාර අරමුදල. ඒ ව්‍යාපෘතිය මට කරන්න කිව්වා.ඒය අපේ රටට ගළප ගන්න සෑහෙන යුද්ධයක් කරන්න වුණා. මොකද එය මුලින්ම සැලැසුම් කළේ බංගලාදේශයට එහි තියෙන ස්වේච්ඡා සංවිධානවලට. ඒ අය එපා කිව්වා.පසුව ලෝක බැංකුව මෙය තියන් ඉන්න කොට ප්‍රේමදාස ජනාධිපති සහ පාස්කර්ලිංගම් මුදල් ලේකම් ලෝක බැංකුව සමග කතා කරල අපේ රටට ගත්තා. අපි හැම දිස්ත්‍රික්කයකම විවිධ සංවිධාන සමිතිවලට මේ ඔස්සේ විවිධ ව්‍යාපෘති, වැඩසටහන්, ආධාර කරමින් ඉදිරියට එන්න අවස්ථාව ලබා දුන්නා. හම්බන්තොට කාන්තා මහා සංගමය එයට කදිම උදාහරණයක්. එයින් සමාජයේ විශාල වෙනසක් වුණා. කවදාවත් නොවුණු විදිහට ජනසවිය අරමුදලෙන් ස්වේච්ඡා සංවිධාන ශක්තිමත් වුණා. 1993 ආණ්ඩුව වෙනස් වෙනවා. ව්‍යාපෘතිය නැවතෙනවා.
ඔබ ව්‍යාපාර ලෝකෙට එක්වෙනවා?
මම ශ්‍රී ලංකා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථානයට එකතු වෙනවා. මම බාරගත්තා ශ්‍රී ලංකා බිස්නස් ඩිවලොප්මන්ට් සෙන්ටර් එක. මම අවුරුදු කීපයක් ඒ ක්ෂේත්‍රයේ වැඩ කළා.එහිත් නවතම දේවල් හඳුන්වා දෙන්න මට හැකි වුණා. ව්‍යාපාරික ලෝකයට බාහිර ක්‍රියාශීලී පුහුණුව ගෙන එන්නට කටයුතු කළා. දෙවන ලෝක සංග්‍රාම කාලයේ ඇති වුණු පුහුණු වැඩසටහනක්. අත්ලන්තික් නැව්වල වැඩකළ තරුණයන්ට දුෂ්කර තත්ත්වයට මුහුණ දෙන්න පුහුණු කරපු ඒ වැඩසටහන සිංගප්පූරුවෙන් තමයි ආසියාවට ගෙනාවේ. ලී ක්වාන් යූ තමයි ඒක සිංගපූරුවට ගෙන ආවේ. ප්‍රේමදාස අගමැති සහ යෞවන කටයුතු ඇමැති රනිල් වික්‍රමසිංහ පොදු රාජ්‍ය මණ්ඩලයේ රැස්වීමට ගියේ සිංගප්පුරුව හරහා. මාත් එයට සම්බන්ධ වුණා. එහි තරුණ ක්ෂේත්‍රය බලන්න ඕන කියලා. මේ වැඩසටහන අපේ රටට ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතුණා. ඒක දැක්කට පස්සේ මට අදහසක් ආවා අපි ලාභ නොලබන භාරකාරයක් හදලා ඒක ආරම්භ කරන්න ශ්‍රී ලංකා ව්‍යාපාර සංගමය මාර්ගයෙන් හඳුන්වලා දුන්නා ව්‍යාපාරිකයන්ට.
2001 ඡන්දය කාළේ එක්සත් ජාතික පක්ෂයෙ සභාපති ලෙස මම කටයුතු කළා. මුදල් අමාත්‍යාශ ලේකම් ලෙස කටයුතු කරන්න ආරාධනා කළා. ඉන්පසුව නව රජය පත් වූ පසු ප්‍රතිපත්ති සැලැසුම් අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයකම ලේකම්වරයෙක් ලෙස කටයුතු කළා.
මේ සියල්ල අතර ඔබ දක්ෂ පුවත්පත් ලේඛකයෙක්?
ලියන්නට හැකියාවක් මට තිබෙනවා.නිස්තාර් කසීම් කර්තෘතුමා මට ආරාධනා කරනවා පුවත්පත් ලිපියක් ලියන්න. මම රටේ සංවර්ධනය පිළිබඳව මගේ අත්දැකීම් හා දැක්ම ඇසුරෙන් ලිපි පෙළක් රචනා කළා. එය අද පොතක් ලෙස නිකුත් කර තිබෙනවා.
රටට කළ සේවය ගැන ආපසු හැරී බලත්දී ඔබට මොකද හිතෙන්නේ?
සතුටක් දැනෙනවා. අපි ආරම්භ කළ ආයතන අදටත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒවායින් රටේ තරුණ ප්‍රජාව ප්‍රයෝජන ගනිත්දී හදවතට විශාල සතුටක් දැනෙනවා.
ඡායාරූපය - රුවන් ද සිල්වා
from silumina sithmalyaya
0 Comments