* උස්පිල ගෙදර දී සිංහලයේ අන්තිම රජු අනුස්මරණය කරලා
* ජාතික කොඩිය ඔසවා උත්සව පවත්වා දන්සල් දීලා
* උත්සවයේ වැඩ ආරම්භ වුණේ මීගමුව මහවීදියේ
ශාන්ත මරියා පල්ලියේ පැවති දේව මෙහෙයකින් රටින් පිටුවහල් කිරීමට පෙර රාජසිංහ රජු රැයක් රඳවාගෙන සිටියේ උස්පිල ගෙදර
(එංගලන්තයේ සිට)
බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් ලෙස අප මේ අභිමානවත් අයුරින් සමරන්නේ හැත්තෑ එක් වැනි නිදහස් සමරුවය. 1948 නිදහස ලැබිම වෙනුවෙන් ප්‍රධාන උත්සවය කොළඹ දී පැවැති අතර දිවයිනේ වෙනත් නගරවල ද නිදහස් උත්සව පැවැත්විණි. එකල පළ වූ පුවත් පත්වල ඒ පිළිබඳ තොරතුරු සඳහන් වේ.
ලංකාවේ පළමු නිදහස් දිනය සැමරීම සඳහා මීගමුවේ පැවති විවිධ උත්සව සහ සමරු වැඩසටහන්වලට යම් විශේෂ අවධානයක් යොමුවූ බව කලක් කොළඹ සරසවියේ සහ දැන් නෙදර්ලන්තයේ Leiden සරසවියේ සේවය කරන මහාචාර්ය නීරා වික්‍රමසිංහ ගේ Dressing the Colonised Body: Politics,Clothing and Identity in Colonial Sri Lanka (2003) කෘතියේද, නැවතත් ඇයගේම Sri Lanka in the Modern Age. A history of contested identities (2006) කෘතියේද පළ කර ඇති විස්තරවලින් පෙනී යයි.
එවකට පළවූ පුවත්පත් වාර්තාවලට අනුවද ලංකාවේ පළමු නිදහස් දිනය සැමැරීම සදහා උත්සව 04ක් 1948 පෙබරවාරි 04 දින මීගමුවේ පවත්වා තිබුණු බව වාර්තා වේ.
ඉන් මුල්ම උත්සවය ආරම්භ වී ඇත්තේ උදෑසන 10.30ට ලංකාවේ ප්‍රධාන දේවස්ථාන කිහිපයෙන් එකක් වන, මීගමුව මහවීදියේ ශාන්ත මරියා පල්ලියේ පැවති දේව මෙහෙයකිනි. කමිස, සාරි, කෝට්, කබා, කුර්ත මෙන්ම ජාතික ඇඳුමින් සැරසුණු පිරිස්ද, කළු සහ සුදු වේල් පොටින් හිස වසාගත් කාන්තාවෝද මෙම දේව මෙහෙයට පැමිණ සිටියහ. ඔවුන් පිළිගැනීමට මීගමු දිස්ත්‍රික්කයේ බාලදක්ෂ, බාලදක්ෂිකාවන් මහවීදිය දේවස්ථානය ඉදිරිපිට රැස්ව සිට ඇති අතර විශාල ජනතා සහභාගීත්වයක් පැවති බව වාර්තා වේ.
සීනු ගසමින්, ගීතිකා කියමින් මහත් උත්කර්ෂවත් අන්දමින් පවත්වා ඇති එම උත්සවයෙන් අනතුරුව කැවුම්, කිරිබත්, කේක්, බිබික්කන්, බිස්කට්, අළුවා යන රස කැවිලි සහිතව, කෝපි සංග්‍රහයක්ද පවත්වා ඇත.
මෙම උත්සවය අවසාන වනවාත් සමඟම තවත් පිරිසක් මීගමුව මහවීදිය ශාන්ත මරියා පල්ලියට පිටුපසින් පිහිටි 'උස්පිල ගෙදර' නම් පැරැණි නිෙවසක් අසල ශ්‍රී ලංකාවේ අවසාන රජ වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අනුස්මරණ කර ඇත. එයට හේතුව වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බ්‍රිතාන්‍ය හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටත්කර යැවීමට කොළඹ වරාය වෙත රැගෙන එන අතරතුර එක් රැයක් මීගමුවේ එම නිෙවසේ ලැගුම් ගත්තේයැයි විශ්වාස කිරීමය.
එම යුගයේදී දෙමළ ජාතික මහලු යුවළකට අයත්ව තිබු මෙම නිවෙස පසුව 1960 දශකයේදී ගැලැස්ටන් ප්‍රනාන්දු මහතා මිලට ගෙන පැරණි නිවස කඩා එම භූමියේ නව නිෙවසක් තනා ඇත. දැන් එහි ජීවත් වන්නේ ඔහුගේ පුතෙකු වන රාජ් ප්‍රනාන්දු මහතාය. එදා ‘උස්පිල ගෙදර’ ලෙස හැඳින්වූ මෙම නිවෙස දැන් හඳුනවන්නේ ශ්‍රී වික් රාජ් ලෙසය. 1948 පෙබරවාරි 04 දින ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අනුස්මරණය කළ පිරිස්වල විශ්වාසය වී ඇත්තේ පැරැණි ‘උස්පිල ගෙදර’ මීගමුවේ සිටි ප්‍රකට 'සූර්යකුල' තුනෙන් එකක්වූ කුරුකුලසූර්යවරුන්ගේ නායකයෙකු වූ කුරුකුසූර්ය මුදියන්සේට අයත්ව තිබූ බවය. එමෙන්ම ඔවුන්ගේ විශ්වාසය වී ඇත්තේ ශ්‍රී වික්රමරාජසිංහ රජ නවාතැන් ගත්තේ එම කුරුකුලසූර්ය මුදියන්සේගේ නිෙවසේ බවය. එම කතාවේ සත්‍ය අසත්‍යතාව කෙසේ වුවද 1948 පෙබරවාරි 04 දින මීගමුව සාන්ත මරියා දේවස්ථානයේ පැවති නිදහස් සමරු දේව මෙහෙයෙන් අනතුරුව පිරිසක් එම දේවස්ථානය පිටුපස සිංහලයේ අන්තිම රජවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ අනුස්මරණය කිරීමක් සිදු කර ඇත.
කෙසේ වුවද, මීගමුවේ ප්‍රධාන නිල නිදහස් සමරු උත්සවය පවත්වා ඇත්තේ පසුව මහ නගරසභාවක් ලෙස නම් කළ මීගමුව දිස්ත්‍රික් නාගරික සභාව (Urban District Council) විසින් මීගමුවේ පැරැණි පෘතුගීසි-ලන්දේසි කොටුව ඉදිරිපිට ඇති කොටුව පිටියේය. එවකට මීගමුව නගරාධිපතිවරයා වූ මීගමුව, පෙරියමුල්ල, කැනල් පාරේ, මඩු සුරුවම අසල නිෙවසේ පදිංචිව සිටි සී. එම්. ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පවත්වා තිබේ.
සාමාන්‍යයෙන් යුරෝපියානු ක්‍රමයට කලිසම්-ෂර්ට් සහ ටයි-කෝට් අඳින එවකට මීගමුව නගරාධිපති සී. එම්. ප්‍රනාන්දු මහතා එම නිදහස් දින උත්සවයට ජාතික ඇඳුමින් සැරැසී සිට ඇති බව වාර්තා වේ. දහස් ගණනින් ජනයා පැමිණ ඇති එම උත්සවය ජාතික කොඩිය ඔසවා ආරම්භ කර ඇති අතර දිළිඳුන්ට ආහාරපාන ලබාදීමක් ද සිදු කර ඇත.
උත්සවයේ වැදගත්ම අංගය වී ඇත්තේ 1927 නොවැම්බර් 1වෙනි බ්‍රහස්පතින්දා මීගමුවට පැමිණි ඉන්දියා නිදහස් සටනේ වීරයා වූ, මහත්මා ගාන්ධි තුමා සැමරීමය. 1927 යෙදුණු මහත්මා ගාන්ධි තුමාගේ ලංකා ගමනේ කොටසක් ලෙස මීගමුවට පැමිණි එම මහතා මීගමුවේ ජනයා හරසරින් පිළිගෙන තිබේ. රැස්ව සිටි පිරිස අමතා ඇති මහත්මා ගාන්ධිතුමා මීගමුව නගරයේ සුන්දරත්වය දැක තමා වශී වූ බවත්, මීගමුවේ ජීවත් වන තම රටේ ජනයාට සහෝදරත්වයෙන් සැලකීම ගැන මීගමු වැසියන්ට ස්තූති කර තිබේ. මහත්මා ගාන්ධිතුමා සහභාගිවූ මෙම උත්සවය පවත්වා ඇත්තේ වසර 200කට වඩා පැරැණි ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකාවේ පැරැණිම කාන්තා නේවාසික පාසල වන මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහලට වර්තමානයේ හිමිව ඇති මීගමුව පැරණි නගරසභා ගොඩනැගිල්ලේය.
එම උත්සවය අතරතුර ඉන්දියානු නිදහස් සටන සදහා මීගමුවේ ජනයා එකතු කළ රුපියල් 1,860ක මුදලක් එවකට මීගමුව නගරාධිපතිවරයා වූ එච්.ඩී. ඉසෙඩ්. සිරිවර්ධන මහතා අතින් මහත්මා ගාන්ධි තුමාට පිරිනමා තිබේ. 1948 පෙබරවාරි 04 වන දින ලංකාවේ ප්‍රථම නිදහස් දිනය සැමරීමට මීගමුව දිස්ත්‍රික් නාගරික සභාව විසින් සංවිධානය කළ නිල උත්සවයේදී ඉන්දීය නිදහස් සටනේ වීරයා වූ මහත්මා ගාන්ධි තුමා සමරුවේ ඒ නිසාය.
ශ්‍රී ලංකාවේ පළමු නිදහස් දිනය සැමරීම රටේ විවිධ පළාත්වල විවිධාකාරවූ බවත් ඒ සම්බන්ධයෙන් පොදු ආකෘතියක් නොවූ බව මහාචාර්ය නීරා වික්‍රමසිංහගේ Sri Lanka in the Modern Age. A history of contested identities (2006) කෘතියේ දැක්වේ.
එහෙත්, කතෝලිකයන් බහුතරක් වෙසෙන, පුංචි රෝමය ලෙස හඳුන්වන, මීගමුවේ පැවති ලංකාවේ පළමු නිදහස් උත්සවයේදී ලංකාවේ නිදහස දිනාගැනීමට සම්බන්ධ කිසිවකු සමරන්නේ නැතිව, ලංකාවේ නිදහසට කිසිසේත්ම සම්බන්ධයක් නැති, ඉන්දියාවේ මහත්මා ගාන්ධි මෙන්ම දෙමළ සම්භවයක් ඇති ජාතික වීරයෙකු ලෙස නොපිළිනොගන්නා දුෂ්ට පාලකයෙකු ලෙස සලකන ලංකාවේ අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ අනුස්මරණය කිරීමට මීගමුවේ ජනයා කටයුතු කිරීම සම්බන්ධයෙන් විමතිය පළ කරයි.
එහෙත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ මෙන්ම මහත්මා ගාන්ධි තුමාද මීගමුවට පැමිණි ඇති බව සහ එහින් මීගමුවේ ජනයාට ලංකාවේ පළමු නිදහස් දිනයේදී ඔවුන් දෙපළවම අනුස්මරණය කිරීමට සාධාරණ හේතු තිබූ බව ඇයගේ අධ්‍යයනවලට හසු නොවී තිබීම ඇගේ එම විමතියට හේතු වන්නට ඇත.
මීගමුවේ ප්‍රධාන නිදහස් දින උත්සවයේදී මීගමුව දිස්ත්‍රික් නාගරික සභාවේ එවකට සභාපතිවරයා වූ සී. එම්. ප්‍රනාන්දු මහතා විසින් මහත්මා ගාන්ධිතුමා අනුස්මරණ කරමින් සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මහාචාර්ය නීරා වික්‍රමසිංහ මහත් ඇගයීමකට ලක්කර තිබේ.
මීගමු දිසා නාගරික සභාවේ සභාපතිවරයාවූ සී. එම්. ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත්තේ මහත්මා ගාන්ධිතුමා මෙන් නිදහස දිනාගැනීමට සටන් කළ හෝ ජාති, ආගම්, භාෂා, කුල, පන්ති ආදී භේද පසකලා ජාතියක් ලෙස සෑම සියලු දෙනාමටම හිමි තැන ලබාදෙමින් සියලු දෙනා එකතු කළ හැකි ඉන්දියාවේ මහත්මා ගාන්ධි වැනි නායකයෙකු ශ්‍රී ලංකාවේ නොසිටි බවත් එම අඩුව නිදහසින් පසුව එළඹෙන යුගයේදී අපට විශාල අඩුවක් ලෙස මතු වන බවත්ය. නගරාධිපතිතුමාගේ එම වචන නීරා වික්‍රමසිංහ මහත්මිය මෙසේ උපුටා දක්වා ඇත:
“By honoring the Indian nationalist leader instead of any sons of the soil, any Ceylonese national hero, the chairman of the Negombo UC was making a clear and uncompromising political statement. Ceylon had no real nationalist fighter, no leader of the messes who united or attempted to unite classes, castes, and religions of the caliber of Mahatma GandhiÓ (Dressing the Colonised Body: Politics, Clothing, and Identity in Colonial Sri Lanka, (2003), page 26).
මේ ආකාරයට උදෑසන 10.30ට ආරම්භ වූ මීගමුවේ පැවති ලංකාවේ පළමු නිදහස් දින සමරු වැඩසටහන් අවසාන වූයේ ශ්‍රී ලංකාවට නිදහස ලබාදීමේ ප්‍රධාන උත්සවයේ බ්‍රිතාන්‍ය රජු වෙනුවෙන් රාජාසන කතාව පැවැත්වීම සඳහා පැමිණියේ ග්ලෝස්ටර් ආදිපාදවරයා සහ එම ආර්යාව ඇතුළු පිරිසට රාජකීය භෝජන සංග්‍රහය මීගමුව නව තානායමේ පැවැත්වීමෙන් එකල පළ වූ පුවත්පත්වල සඳහන් වේ.
ඒ පිළිබද සනාථ කරන ඡායාරූපයක දැක්වෙන්නේ මීගමුව නව තානායමේදී බ්‍රිතාන්‍ය රජු නියෝජනය කරමින් පැමිණි ග්ලොස්ටර් ආදිපාදවරයාත්, එම මැතිනියත් සහ වෙනත් සම්භාවනීය අමුත්තන් සමඟ ශ්‍රී ලංකාවේ මුල්ම අගමැති ඩී.එස්. සේනානායක මහතා 1948 පෙබරවාරි 04 දින රාත්‍රි ආහාරය ගත් අවස්ථාය.
එම රාජකීය භෝජන සංග්‍රහය පැවති මීගමුවේ නව තානායම වූ කලී බ්‍රිතාන්‍යයේ වන ජෝර්ජ් රජු රජවීමට පෙර ඔටුන්න හිමි කුමාරයෙකු ලෙස 1882 දී ලංකාවේ සංචාරයක් අතරතුර මීගමුවට පැමිණ නවාතැන් ගත්, බ්‍රිතාන්‍යයේ 2 වැනි එලිසබෙත් රැජිනගේ 1954 යෙදුණ ලංකා ගමනේදී මීගමුවට පැමිණි අවස්ථාවේ දී නවාතැන් ගත්, 1940 දශකය උදා වන විටත් විවිධ රටවල සංචාරක ප්‍රවර්ධන දැන්වීම් පළ කළ ලෝක ප්‍රකට සංචාරක නිකේතනයක් විය.
අද ද බ්‍රිතාන්‍ය ග්ලොස්ටර් ආදිපාදවරයා සමඟ ශ්‍රී ලංකාවේ මුල්ම අගමැති ඩී.එස්. සේනානායක මහතා රාජ්‍ය භෝජන සංග්‍රහය භුක්තිවිඳි අවස්ථාවේ ගත් ඡායාරූපයේ දැක්වෙන ශාලාවේ පසුබිමෙහි තිබූ ලී තිරය මීගමුව නව තානායමේ තවමත් දැකිය හැකිය.
කොළඹ සිට සැතපුම් 25 පමණ ගෙවා, ගාලුමුවදොර හෝටලය වැනි හෝටල් කොළඹ ඕනෑ තරම් පැවතියේදී, ග්ලොස්ටර් ආදිපාදවරයා ඇතුළු පිරිස භෝජන සංග්‍රහයකට මීගමුවට පැමිණිම සහ මීගමුව නව තානායමේ රාජකීය භෝජන සංග්‍රහයක් පැවැත්වීම විය හැක්කක් වන්නේ මීගමුව නව තානායම බ්‍රිතාන්‍ය රාජකීයන් මෙන්ම සම්භාවනීය අමුත්තන්ගේ නවාතැනක් වීම පසුබිම් කරගෙන විය යුතුය.
එමෙන්ම ග්ලොස්ටර් ආදිපාදවරයා නිදහස් උත්සවය සදහා ශ්‍රී ලංකාවට පැමිණියේ දින කිහිපයට පමණක් වීමත්, එවකට පැවති 'මීගමුව රාජකීය ගුවන් හමුදා කඳවුර සහ මීගමුව ගුවන් තොටුපෙළ (වර්තමාන කටුනායක ගුවන් තොටුපළ) පැවතියේ මීගමුව අසල වීමත්, එමෙන්ම 1940 දශකය උදා වීමටත් පෙර සිටම මීගමුව නව තානායම යුරෝපයේ පවා සංචාරක ප්‍රවර්ධන දැන්වීම් පළ කළ ලෝ පසිදු ස්ථානයක් වීමත් නිසා ලංකාවේ පළමු නිදහස දිනය දා රාජකීය භෝජන සංග්‍රහය මීගමුවේ නව තානායමේ පැවැත්වීමට හේතු වන්නට ඇත.
ඒ අනුව 1948 පෙබරවාරි 04 දින සාන්ත මරියා දෙවස්ථානයේ උදෑසන 10.00යට යෙදුණ දේව මෙහෙයකින් ආරම්භ වී, අනතුරව ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සැමරුමකින්ද, මීගමුව කොටුව පිටියේ යෙදුණ ප්‍රධාන උත්සවයේදී මහත්මා ගාන්ධිතුමා සැමරීමකින්ද අනතුරුව, මෙරට පළමු නිදහස් උත්සවයේ රාජාසන කතාව සඳහා පැමිණි ග්ලෝස්ටර් ආදිපාදවරයා සහ එම ආර්යාව සදහා වූ රාජකීය භෝජන සංග්‍රහය සහ ඔවුන් දෙපළගේ සමුගැනීමේ සාදය පැවත්වීමෙන් මීගමුව ලංකාවේ ප්‍රථම නිදහස් දිනය සැමරීම සිදු කළ බව වාර්තාවේ.
මාර්කස් ප්‍රියන්ත පෙරේරා
from silumina sithmalyaya
0 Comments