ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය විසුරුවා මාස හයකට අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කරයි. ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ දැනට සිටින නිලධාරීන් හා දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් කැඳවා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා හා අධ්යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුව අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කොට ඇත.
පසුගිය වසර තුනක කාලයේ ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය තුළ සිදුව ඇති මූල්‍ය කටයුතු හා ඉදිරිපත් කොට ඇති සහතික පත් පිළිබඳ අතුරු කමිටුව මගින් සොයා බලනු ඇතැයි මෙහිදී දැනුම්දී ඇත. කායවර්ධන අතුරු කමිටුව පත්කරන බව ප්රකාශවීමත් සමග දිස්ත්‍රික් සංගම් අත්පොලසන් නාදයකින් සතුට පළ කර ඇති අතර ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ලේකම් නිහාල් වීරතුංග මහතා ඇතුළු විධායක සභිකයන් සිවු දෙනකු ප්‍රසිද්ධියේම අතුරු කමිටුවට කැමැත්ත පළ කොට ඇත. එහෙත් සභාපති කිත්සිරි ප්‍රනාන්දු මහතා හා උප සභාපති චම්මි ජයවර්ධන යන මහත්වරු මේ තීරණයට එකඟතාව පළ කොට නොමැත.
මේ රැස්වීමේදී කායවර්ධන සම්මේලනය පිළිබඳ සාමාජික සංගම්වලින් මත විමසුමක් සිදු කොට ඇති අතර වත්මන් පාලනය යහපත් බව පිරිසක් පෙන්වා දී ඇතත් පසුගිය කාලයේ සිදුවූ ගනුදෙනු පිළිගත නොහැකි බව තවත් පිරිසක් පෙන්වාදී ඇත. වසර 2017දී මිස්ටර් ශ්‍රී ලංකා තරගයේදී කුසලාන හා සහතික පත් මුද්‍රණයට රුපියල් ලක්ෂ 6කට වැඩි මුදලක් වැයකර ඇතත් වියදම සඳහා ඉදිරිපත් කළ රිසිට්පත උගස් භාණ්ඩ මිළදී ගන්නා ආයතනයක එකක් බව සම්මේලනයේ භාණ්ඩාගාරිකවරයා මෙහිදී පෙන්වාදී ඇත. එමෙන්ම කායවර්ධන දිස්ත්‍රික් සංගම් පිහිටුවීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා මේ සභාවේදී සාමාජික සංගම් කිහිපයක් හෙළිකොට ඇති අතර ඒව සභාවේදීම තහවුරුවීම විශේෂත්වයක් බව ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පැවසීය.
අමාත්‍යාංශ ලේකම්වරයා සමග පෙරේදා පැවැති රැස්වීමට, වසර ගණනාවකට පෙර පිහිටුවාගත් කුරුණෑගල දිස්ත්‍රික් සංගමයේ සභාපති හා ලේකම් යන දෙදෙනාට අමතරව කුරුණෑගල නමින්ම පිහිටුවූ අලුත් සංගමයක සභාපති හා ලේකම් යැයි පෙනී සිටිමින් තවත් දෙදනකු පැමිණ සිටි අතර, මේ ආකාරයෙන්ම කළුතර, රත්නපුර හා කොළඹ දිස්ත්‍රික් වලට නීති විරෝධීව අලුත් සංගම් පිහිටුවීම හේතුවෙන් නව නිලධාරීන්ද පැමිණ සිටියහ.
මෙයට පෙරද කායවර්ධන සංගමයේ සභාපතිවරයා හා ලේකම්වරයා අතර මතභේද හටගත් අතර, වාර්ෂික අය - වැය වාර්තාවට සභාපතිවරයාගේ අස්සන් තැබීම දිගින් දිගටම ප්‍රමාද කිරීම පිළිබඳ අමාත්‍යාංශයට පැමිණිලි යොමුවී තිබිණි.
කායවර්ධන සභාපති හා ලේකම් අතර මත ගැටුම් අවසන් කරමින් වහාම නිලවරණයට අවශ්‍ය පසුබිම සකසන ලෙස ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා මෙයට මාසයකට පමණ පෙර උපදෙස් දුන්නද එම උපදෙස් ගණනකට නොගෙන කායවර්ධන සම්මේලනයේ නිලධාරීන් සිටින බවට විධායක සභිකයන් පිරිසකගේ චෝදනාව මතුවී තිබිණි.
කායවර්ධන ව්‍යවස්ථාව අනුව මහ සභාවෙන් පැවැරෙන කාර්යයන් විධායක සභාවෙන් අනුමත කළ යුතු වුවද, මහ සභාව හෝ විධායක සභාව නියමිත පරිදි රැස් නොවී කටයුතු ඉදිරියට යෑම නීති විරෝධී බව ඔවූහූ පෙන්වා දුන්හ. ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ මහ සභාව අවසන්වරට රැස්වී ඇත්තේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී වන අතර විධායක සභාව ඔක්තෝබරයේදී රැස්විය.
වසර 2015 මැයි 15වැනිදා පැවැති නිලවරණයෙන් තේරී පත්වූ නිලධාරී මණ්ඩලය 2017න් අවසන් විය යුතු වුවද, නිලවරණය නොපවත්වා එම නිලධාරී මණ්ඩලය මේ වනතුරුම ක්‍රියාත්මකවීම අරුමයක් බව බොහෝ දෙනා පවසති.
0 Comments