Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කැළඹිලි සහගත සංචාරයක අවසන් සංග්‍රාමය අද ඇරැඹේ

Author(s): 
ෆවුස් මොහොමඩ්

මේ ඔස්ට්‍රේලියානු සංචාරයේ අවසන් තරගයයි

ටෙස්ට් තරගමාලා පරාජයෙන් බේරී සිටීමේ අරමුණින් තම ක්‍රීඩකයන් ගොදුරු වී ඇති ආබාධ සහ සහ පිටියෙන් පිටතදී පැණ නැගී ඇති ගැටලු සහගත තත්ත්වයන් මුළුමනින්ම තුරන් කිරීමට කණ්ඩායම කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් කියයි.

කැළඹිලි සහගත සංචාරයක අඩක් නිමා කර සිටින ශ්‍රී ලංකා පිල බ්‍රිස්බේන් නුවර පැවැති දිවා රාත්‍රි පළමු ටෙස්ට් තරගයේදි දින තුනක් ඇතුළත ඉනිමක පරාජයක් ලබා සිටින අතර අද (1) කැන්බරා නුවර මනුකා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට එක්වන්නේ තරගමාලාව ජයපරාජයෙන් තොරව බේරා ගැනීමේ අභිලාෂයෙනි.

වේගපන්දු ද්විත්වය වන ළහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර ආබාධවලට ලක්වීමෙන් පසුව නැවත ශ්‍රී ලංකාව බලා පැමිණ සිටින අතර තරගමාලාව ආරම්භවීමටත් පෙර වේගපන්දු යවන නුවන් ප්‍රදීප් ද ආබාධයකට ලක්වී කණ්ඩායමෙන් ඉවත්වී සිටී. නවසීලන්ත සංචාරය අතරතුර ලකුණු අතරේ සිටින ශ්‍රී ලංකා පිලේ ප්‍රවීණ පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම නිසා ඔස්ට්‍රේලියානු සංචාරයට එක්නොවීය.

ළහිරු කුමාර සහ චමීර වෙනුවට වමත් වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු සහ තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න දෙවැනි ටෙස්ට් තරගය සඳහා කණ්ඩායමට එක්වී සිටිති.

පිතිකරුවන්ගේ පාරාදීසයක් ලෙස හඳුන්වනු ලබන මනුකා ඕවල් පිටියේදී ටෙස්ට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයවේ. මීට පෙර මේ ක්‍රීඩාංගණයේදී එක්දින තරග 9ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකා පිල එක් තරගයකට ක්‍රීඩා කර ඇත. 2008 වසරේදී ඉන්දියාව සමග පැවැති එම තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා පිල සමත්විය.

‘සුභවාදී විදිහට තරගයට එක්විය යුතුයි. තරගය දිනාගන්න නම් අපට පන්දු යවන්නන් හතරදෙනෙක්වත් ඕනා.’ චන්දිමාල් ඊයේ වාර්තාකරුවන්ට එසේ පැවැසීය.

‘කණ්ඩායමක් හැටියට අපිට වැඩි වගකීමක් ගන්න සිද්ධවෙනවා. තරගය දිනාගන්න නම් මුලින්ම පන්දුවට පහරදීමේදී ලකුණු 300ට වඩා රැස් කරන්න වෙනවා. මේ තරගයේදී අපේ සියළුම ක්‍රීඩකයන් තමන්ගෙන් ඉල්ලන දායකත්වය උපරිමයෙන් ලබාදේවි කියලා.’ චන්දිමාල් කීවේය.

‘පිටියෙන් පිටත සෑහෙන ගැටලු මතුවී තිබියදී තරගය කෙරෙහි අවධානය යොමු කිරීම එතරම් පහසු නෑ’ චන්දිමාල් පැවැසීය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පැතිරී ඇති අල්ලස් දූෂණ ගැන සොයමින් සිටින අතරතුර පුහුණුකරු චන්දික හතුරුසිංහට බ්‍රිස්බේන් ටෙස්ට් තරගයෙන් පසුව ඔහුගේ තේරීම් කමිටු සාමාජිකත්වය අහිමිවී ඇත. පිතිහරඹ පුහුණුකරු ජොන් ලුවිස් පවුලේ කටයුත්තක් යැයි පවසා නිවාඩු ගෙන කණ්ඩායමෙන් ඉවත්ව ගොසිනි. ඒ අතරතුර එක්දින පිලේ නායක ලසිත් මාලිංග සහ තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා සමාජ වෙබ් අඩවි ඔස්සේ ගැටුමක් ඇතිකරගෙන සිටිති. මේ සියල්ල මැද ශ්‍රී ලංකා පිල ඔස්ට්‍රේලියාවට පළමු ටෙස්ට් තරගය පරාජය වූ අතර ඊට පෙර නවසීලන්ත සංචාරයේ පැවැති ටෙස්ට් තරගමාලාව 3-0කින් පරාජයට පත්විය.

චන්දිමාල් කියන්නේ මේ සියල්ල සහමුලින්ම අමතක කර දැමිය යුතු බවකි.

‘මේ වගේ දේවල් සිද්ධවෙනකොට ක්‍රීඩකයන් හැටියට ක්‍රීඩාවේ නිරතවෙන්න අපිට හරි දුෂ්කරයි. නමුත් පිටියෙන් පිටත මොනව වුණත් ඒ සියල්ල පසෙකලා තරගයට අවතීර්ණ වෙන්න අපිට සිද්ධවෙනවා.’ ඔහු පැවැසීය.

ඔස්ට්‍රේලියාවේ 11 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස අද වාර්තාපොතට එක්වන කැන්බරා නුවර මනුකා ඕවල් පිටියේදී ටෙස්ට් තරගමාලාව 2-0ක පරාජයකින් බේරාගැනීමට ශ්‍රී ලංකා පිලේ නායකයා සැලසුම් කරද්දී මනුකා තණතීරුව භාරව සිටින බ්‍රැඩ් වැන් ඩැම් පවසන්නේ නිසැකවම මේ තණතීරුවේදී අද ඇරැඹෙන ටෙස්ට් තරගය පස්වැනි දිනය දක්වා පැවැත්වෙනු ඇති බවකි.

මේ තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුව ලෙස ලේබල්ගතවීමෙන් වැඩිපුරම සතුටට පත්වී ඇත්තේ ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ය. ඔවුන් අද මුහුණදෙන අභියෝගය වන්නේ තරගය ජයග්‍රහණයෙන් නිමා කිරීම නොව වසර 136ක් පැරැණි අපකීර්තිමත් වාර්තාවකින් සිය කණ්ඩායම මුදා ගැනීමය.

වසර 1882-83 තරගවාරයෙන් පසුව ඔස්ට්‍රේලියානු පිල මේ දක්වා ශතකයකින් තොරව කිසිදු තරගමාලාවක් නිමා කරගෙන නොමැත. එහෙත් පසුගිය ඔක්තෝබරයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී උස්මාන් කවාජා ශතකයක් රැස් කිරීමෙන් පසුව මේ දක්වා ඔස්ට්‍රේලියානු පිලේ කිසිදු පිතිකරුවකුට ශතකයක් රැස් කිරීමට හැකිවූයේ නැත. මෙවර ඔස්ට්‍රේලියානු ගිම්හානයේදී ඉන්දියාව සමග පැවැති තරග 4ක ටෙස්ට් තරගමාලාවේදිත්, ශ්‍රී ලංකාව සමග පැවැති පළමු තරගයේදීත් ශතකයක් රැස් කිරීමට ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ අසමත්වූහ.

එබැවින් අද ඇරැඹෙන දෙවැනි ටෙස්ට් තරගයට ලැබී ඇති පිතිකරුවන්ගේ තණතීරුවේදී ශතකයක් රැස් කරමින් සිය කණ්ඩායම අපකීර්තිමත් වාර්තාවකින් බේරාගැනීමට ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ උත්සාහ දරනු ඇත.

අද තරගයට ක්‍රීඩා කරන්නේ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම බව ඊයේ ඔස්ට්‍රේලියානු පිලේ නායක ටිම් පේන් කියා සිටියේය.

පළමු තරගයේදී ශ්‍රී ලංකා පිල අසරණ කළ වේගපන්දු යවන පැට් කමින්ස් සමග මිචෙල් ස්ටාක් නව පන්දුවෙන් පන්දු යවනු ඇතැයි ද ඔහු කීවේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();