Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2025 වසරේ ඇඟලුම් ආදායම් ඉලක්කය ඩොලර් බිලියන 8යි

2 පෙබරවාරි, 2019

1982 වසරේදී ආරම්භ කරනලද ශ්‍රී ලංකා ඇගලුම් අපනයනකරුවන්ගේ සංගමය මෙරට ඇගලුම් අපනයන කර්මාන්තය සම්බන්ධ ප්‍රමුඛතම සංවිධානය ලෙස පිළිගැනීමට පත්ව තිබේ. මේවනවිට ඇගලුම් ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්ව සියල්ලම නියෝජනය කරමින් එම සංගමයේ විධායක මණ්ඩලයට නියෝජිතයෝද පත්ව ඇත.පසුකාලීනව ජාතික ඇගලුම් අපනයනකරුවන්ගේ සංගමය සමග ඒකාබද්ධ වීමෙන් අනතුරුව, මෙරට ඇගළුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායමෙන් 85%කට පමණ දායකවන සමාගම් දැන් මෙම සංගමය නියෝජනය කිරීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ 36 වන වාර්ෂික මහාසභා රැස්වීම පසුගියදා කොළඹදී පැවැති අතර එහිදී සංගමයේ නියෝජිතයන් විසින් අවධාරණය කෙරුණේ 2025 වසර වනවිට මෙරට ඇඟලුම් කර්මාන්තයට ඇමරිකානු ඩොලර් බිලියන 8ක ඉලක්කයක් සපුරා ගැනීමේ ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි. එහෙත් එය පහසු අභියෝගයක් නොවන අතර 2025 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 8 ක ඉලක්කය සපුරා ගැනීමට නම් ඉදිරි වර්ෂවලදී ද මෙම කර්මාන්තය වාර්ෂිකව 6%ක වර්ධනයක් පවත්වා ගත යුතු වේ. මෙය 2018 වසරේදී ඇඟලුම් කර්මාන්තය ළඟා කරගත් වර්ධන අනුපාතයට වඩා ඉහළ අනුපාතයකි. මෙම අභියෝගය ජයග්‍රහණය කිරීම සදහා උපායශීලීව කටයුතු කළ යුතු අතර දැනටත් ශ්‍රී ලාංකික ඇඟලුම් නිෂ්පාදන අපනයනය කෙරෙන සාම්ප්‍රදායික වෙ‍ෙළඳපොළවල විශාල වෙනසක් අපේක්ෂා කළ නොහැකි නිසා සිය නිෂ්පාදන ඉන්දියාව, චීනය සහ බ්‍රසීලය වැනි නැගී එන වෙළඳපොළවල් වෙත වැඩි වශයෙන් අලෙවි කිරීමට උපක්‍රම යෙදිය යුතු බවද ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයින් අතර මෙහිදී සාකච්ඡාවට බදුන් විය.

මෙම වාර්ෂික මහා සභාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ පසුගිය සභාපති ලෙස කටයුතු කළ ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු මහතා මෙරට ඇගළුම් කර්මාන්තයේ වර්ධනය සහ ඇමරිකානු ඩොලර් බිලියන 8ක අපනයන ආදායමක් ළඟා කර ගැනීමේ ඉලක්කය සම්බන්ධයෙන් දීර්ඝ ව කරුණු දක්වන ලදී. එම අදහස් දැක්වීමේදී ඔහු විශේෂයෙන් සදහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සිදුවෙමින් පවතින සංවර්ධනය නිසා එම ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට හැකි වී ඇති බවයි. රජය මගින් ආරම්භකර ඇති විවිධ වැඩසටහන්වලට සමගාමීව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල මේ වන විට නව ඇගළුම් කර්මාන්තශාලා රැසක් විවෘත කර ඇති අතර, එම ප්‍රදේශවල තරුණ තරුණියන්ට රැකියා විශාල ප්‍රමාණයක් දායාද කරමින් එම නව ඇඟලුම් කර්මාන්ත ශාලා මේවනවිට ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බවද ඔහු මෙහිදී අනාවරණය කළේය. 36 වන වාර්ෂික මහා සභා රැස්වීමේදී අදහස් දැක්වූ සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත් වූ රෙහාන් ලක්හානි මහතා, මෙරට රාජ්‍ය ප්‍රතිපත්තිවලට අදාළ කරුණු සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීම සිදුකරන ලදී.” අප සංගමය නියෝජනය කරන සියළුම දේශීය ඇඟලුම් ආයතනයන් හී ව්‍යාපාර කටයුතු රඳා පවතින්නේ ජාත්‍යන්තර පදනමක් මතයි. එමනිසා අප ආරම්භකර ඇති විදේශ වෙ‍ෙළඳාම් ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක කරන මෙන් සංගමයක් ලෙස අප දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේවනවිට මෙරට ඇඟලුම් කර්මාන්තයට එල්ලවී ඇති බරපතළ අභියෝග ජයගැනීමටත් අප කටයුතු කළ යුතුයි. මෙම අභියෝග ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බදු ඉහළයාම, නවනැව් සේවා ප්‍රතිපත්ති කෙටුම්පත, අපනයන ආදායම් නිරීක්ෂණය කිරීමේ නව ක්‍රමවේද සහ අපනයන කල්බදු නිකුත්නොකිරීම යනාදිය පෙන්වාදීමට පුළුවන්.

ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය ඇඟලුම් කර්මාන්තයට අදාළ ව්‍යවස්ථාපිත හා ව්‍යවස්ථාපිත නොවන මණ්ඩල හා කමිටු, වානිජ මණ්ඩල සහ සංවිධාන නියෝජනය කරන අතර ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළ ක්‍රමෝපායන් හඳුනා ගැනීමේදී සහ තීරණගෙන ඒවා ක්‍රියාවට නැංවීමේදී පුළුල් දායකත්වයක් දැක්වීමට ද එම සංගමය සමත්වී ඇත. එමෙන්ම මෙරට ප්‍රධානතම අපනයන කර්මාන්තය ලෙස සැලකෙන ඇඟලුම් කර්මාන්තයේ උන්නතිය උදෙසා ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයන්ගෙන් ලැබුණු දායකත්වය ද විවිධ අවස්ථාවලදී ඇගයීමට ලක්වී තිබේ.

ඉදිරි වර්ෂයට අදාළව මෙම වාර්ෂික සමුළුවේදී ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය සදහා ක්‍රියාකාරී නව නිලධාරී මඩුල්ලක් පත්කර ගැනීම ද මෙහිදී සිදුවිය. ඒඅනුව රෙහාන් ලක්හානි මහතා මෙහි සභාපතිවරයා ලෙස තෝරා පත් කර ගැණුනි. ශිරේන්ද්‍ර ලෝරන්ස් මහතා උපසභාපති ලෙස පත්වුණු අතර කොලින් වෝස් මහතා භාණ්ඩාගාරිකවරයා ලෙස තේරී පත්විය.



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();