(බුද්ධ ශාසනයේ චිරස්ථිය වෙනුවෙන් අනූපමේය මෙහෙවර සමුදායක් කළ අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති, ගෞරවාර්හ ශාසන කීර්ති, ශ්‍රී සද්ධර්ම වාගීෂ්වර, ධර්ම ප්‍රභා ධීරානන්දාභිධාන කළාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ, උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක, කම්මට්ඨාන විශාරද අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමිගේ 67 වන ජන්ම දිනය නිමිත්තෙනි.)
බෝගමුවේ සද්ධාරංසි හිමි මෙලොව එළිය දකින්නේ 1953 ජනවාරි මස 26 වැනිදාය. යක්කල, අලුත්ගම බෝගමුවේ පදිංචිව සිටි වෙළෙඳ ව්‍යාපාරික බී. ඒ. ගුණතිලක මහතාගේ පීතෘත්වයෙන් සහ එම්. එම්. සෝමාවතී ගුරු මාතාවගේ මාතෘත්වයෙන් පරිපූර්ණව සොයුරු සොයුරියන් 13 දෙනෙක් අතර හැදී වැඩෙන මේ පුංචි දරුවා බමුණුආරච්චිලාගේ අබේසිරි එඩ්මන් චන්ද්‍රකුමාර නම් විය. ගුණ යහපත් පින්බර මවුපියන්ගේ රැකවරණය ලැබ නිසි වයසට පාසල් ගමන අරඹන චන්ද්‍ර කුමාර පුංචි පුතා දහතුන් වන විය එළැඹෙද්දී විදු බිමට සමු දී දෙදිනක් ඉක්ම යන විට බොදු බිමට ප්‍රවේශ වී සසුන්ගත වන්නේ 1966 මැයි මස 30 වැනිදාය.
ආභිධම්මික වාගීශ්වර යාගොඩ ධර්මප්‍රභ නාහිමි ගුරුකොට ගනිමින් ශාසනයට ප්‍රවිශ්ට වූ අපේ නායක හාමුදුරුවෝ සිය පැවිදි බිම වූ අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයෙන් බැහැරව මාලිගාතැන්න විවේක සේනාසනයට වැඩම කොට මැණික්දිවෙල ශ්‍රී දේවානන්ද නාහිමිගේ මාර්ගෝපදේශකත්වය යටතේ පස්මසක් කමටහන් ප්‍රගුණ කොට පසුව සිරිසඟබෝ භික්ෂු අභ්‍යාස මධ්‍යස්ථානයට ප්‍රවේශ වූහ.
මතුගම ශ්‍රී ධීරානන්ද නාහිමි යටතේ භික්ෂු වත පිළිබඳව අධ්‍යාපනය ලැබූ උන් වහන්සේ අලුත්ගම බෝගමුව බෝධිග්‍රාම භාවනා මධ්‍යස්ථානයේ දී නේවාසික භාවනා පාඨමාලාවක් හදාරා 1970 දී විද්‍යෝදය මහා පිරිවෙනට ඇතුළු වූහ. අනතුරුව 1972 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී 1982 දී ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. පසුව විජයපුර භාවනා මධ්‍යස්ථානයේ (සිරිවිජය විදර්ශනා පිරිවෙන) ගුරු තනතුරට පත්වන අපේ නාහිමි පිරිවෙන් පරීක්ෂක, භාවනා උපදේශක තනතුරින් පිදුම් ලබන්නේය. ඉන් අනතුරුව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු ඇතුළු බොහෝ ඇගයීම්වලට හිමිකම් කියමින් ආ ප්‍රශංසනීය අර්ථ පූර්ණ ගමන් මඟ මෙලෙසින් හෙළි පෙහෙළි වී ඇත්තේය.
පිරිවෙන් ගුරු වෘත්තියෙන් සිය ශාසන මෙහෙවර ආරම්භ කරන උන් වහන්සේ සුවහසක් හිමිවරුන් නැණ නුවණින් පෝෂණය කළ අතර සුවහසක් අගතිගාමී යොවුන් සිත් භාවනා සිසිලෙන් සිසිල් කොට සුගතිගාමී ධර්මකාමී යොවුන් පරපුරක් දැයට දායාද කළහ. එම නිසාම උන් වහන්සේ කම්මට්ඨාන විශාරද ගෞරව නාමයෙන් පිදුම් ලැබූහ.
අද වන විට උන් වහන්සේ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ පූජනීයත්වයට පාත්‍ර වූ මහා බුද්ධ භූමි ත්‍රිත්වයක් නිර්මාණය කර ඇත්තේය. සෑම පුන් පෝ දිනකම දහස් ගණනක් වූ ශීල සමාධි උවැසි උවැසියන්ට දහම් රස විඳිමින් කමටහන් ප්‍රගුණ කිරීමට ශීල භාවනා මධ්‍යස්ථානයක් ප්‍රතිස්ථාපනය කර ඇත්තේය. මේ අනූපමේය ශාසන මෙහෙවර කරද්දීම 67 වැනි වියට පත් වන අපේ නාහිමි අද වන විට ගෞරවාර්හ ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ධර්මප්‍රභා ධීරානන්දාභිධාන කළාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක, කම්මට්ඨාන විශාරද, ආදී ගෞරව නාම සහ තනතුරුවලින් පිදුම් ලබමින් මතුමත්තේ ද ශාසන සේවාවට පාරමී පූරණය කරන්නාහ.
සද්ධාරංසි නාහිමිගේ ප්‍රථම ශාසනික මෙහෙවර ද සම්ප්‍රදායික බෞද්ධ නිර්මාණ කලාවෙන් ඔබ්බට ගිය නිර්මාණයක් විය. ඒ නිර්මාණය වන්නේ බුදු සසුනෙහි සිව්වනක් පිරිස නිර්මාණය වූ අනුරාධපුර අසූමහා ශ්‍රාවක සම්බුද්ධ විහාරයයි. බුදු සසුනේ පැවැත්මට පුරෝගාමී මෙහෙවරක් කළ උපාසික උපාසිකා, භික්ෂු භික්ෂුණීන්ගේ ප්‍රතිමා ද අසූමහා ශ්‍රාවක විහාරයේ නිර්මාණය කිරීම විශේෂත්වයකි. සිරිලක බුදු සසුන ස්ථාපිත කිරීමට ඉවහල් වූ බෝධීන් වහන්සේලා විසිඅටනමක් සංකේතවත් කරමින් විහාරස්ථානය වටා අටවිසි බෝධීන් වහන්සේලා ද රෝපණය කිරීමට උන් වහන්සේ උනන්දු වූහ.
සම්මා සම්බුදු රජාණන් වහන්සේ පාරිසරික වටිනාකම මනාව පැවැත්ම කෙරෙහි බලපාන අන්දම මැනවින් අවබෝධ කර ගත් මහෝත්තමයකු වන සද්ධාරංසි නාහිමිගේ ඊළඟ ශාසනික මෙහෙවර වූයේ අනුරාධපුර - තන්තිරිමලේ මාර්ගයේ නෙල්ලිකුලම නම් වූ වනගත ගම් පියසේ සිරිසම්බුද්ධ ශ්‍රාවක චරිකාරාම පුදබිම් ඉදිකිරීමය. පරිසරය නසා, වනසා අහස උසට මහා දාගැබ්, සුවිශාල බුද්ධ මන්දිර ඉදිවනවාට වඩා ස්වාභාවික පරිසරයට අනුකූලව පරිසර හිතකාමී බෞද්ධ නිර්මාණ නිමවීමට අපේ පරිසරවේදියාණන් සිහින දුටුහ. ඒ ඔස්සේ ඒකාග්‍ර වූ සිතුවිලි ධාරා තුළ සම්මා සම්බුදු රජුන්ගේ තෙවන වර ලක්දිව වැඩම කිරීම ජීවමාන වූ අතර එහි මහ රහතුන් වහන්සේලා පන්සියයක් සමඟ ගිරිහිසින් බැස චාරිකාවේ වඩින දර්ශනයක් දුටු උන් වහන්සේ පාරම්පරිකව පන්සල් නිමැවුම් රටාවෙන් ඔබ්බට ගොස් නිර්මාණාත්මක පින්බිමක් ස්ථාපිත කිරීමේ මහා මෙහෙවරට ප්‍රවේශ වූහ. දුර බැහැර වන ලැහැබ් කඳු මුදුන් ආදී මනා ලෙස පිහිටි පරිසර පද්ධති සොයා ගිය උන් වහන්සේ එයින් බොදු බිමක් බිහි කිරීමේ අපේක්ෂාව මල්ඵල ගන්වන්නට වෙහෙසුනාහ.
අනතුරුව නාහිමිගේ අභිප්‍රාය පිළිබඳ දැනුවත් වූ නිමැවුම්කරු නෙල්ලිකුලම වනපෙත සද්ධාරංසි නාහිමිගේ පාදස්පර්ශ පාරිශුද්ධ වූ දිනයේ සිට කටුකොහොල් බැහැර වී වනස්පතීන්ගේ සෙවණට 2004 වර්ෂයේ ජූලි මස 06 වැනි දින ශාසන මෙහෙවර ආරම්භ වූහ. 2004 ආරම්භ වී 2005 වසරේ සංඝාවාසයට මුල්ගල තබා 2006 නොවැම්බර් මස 06 වැනි දින වන විට නෙල්ලිකුලම වන ලැහැබේ පුංචි දෙව්රමක් විවෘත විය. අවුකන බුදුරුව සහ සමාධි පිළිමය නිර්මාණය කළ අපේ හෙළ කලාකරුවන් ගමන් ගත් මඟෙන් ද ඔබ්බට ගිය සද්ධාරංසි නම් වූ මහා යතිවරයාණන් තුළ සැඟ වී සිටි, බෞද්ධ කලාකරුවා ජීවමාන කළ නෙල්ලිකුලම සම්බුද්ධ චාරිකාරාමය මහා බුදු බැතියෙන් වන්දනා මාන කිරීමට දැන් විවෘතව පවතී. මේ පුණ්‍ය භූමිය මහා සංඝරත්නය රජයේ මැති ඇමැතිවරුන් හා බෞද්ධ ජනතාවගේ සහභාගීත්වයෙන් පසුගිය දා උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. දිනක් මෙහි පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මහා පුණ්‍ය භූමිය දැක අප නාහිමිට සතුට පළ කරමින් මෙවන් ශාසන සේවා තව තවත් සිදු කිරීමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළහ.
සද්ධාරංසි නාහිමිගේ මීළඟ ශාසනික මෙහෙවර වූයේ අනුරාධපුර නෙල්ලිකුලමට නුදුරු කොක්කිච්චිය නැමති වනගත පෙදෙසේ සිරි සම්බුද්ධ ප්රාතිහාර්ය විහාරය ඉදිකරවීමය. බුදු සිරිතේ ප්රාතිහාර්ය අවස්ථා රැසක් මේ වන වදුලේ නිර්මාණය කර තිබෙනු දක්නට ලැබේ. පන්සල, වෙහෙර බුදු පිළිම මේ ආදී ශාසනික නිර්මාණ මෙතෙක් බිහි වී ඇත්තේ පන්සල් බිමකය. නොඑසේ නම් හෙළිපෙහෙලි කොට මනාව සැකසූ සුදු වැලි අතුල භූමියකය. එහෙත් අක්කර දහයක් පමණ වූ වනගත වපසරියක තැනින් තැන නිර්මාණය වූ පාරිසරික අසිරිය අතරින් පාන පෙළහර කුමක් ද. මේ වන ගැබේ බුද්ධාලම්භන ප්‍රීතිය වගා කරනු සඳහා නිර්මාණය කර ඇති බුදු පෙළහර විශ්මිත නිර්මාණයකි. මේ පුදබිමේ නිර්මාණය කර තිබෙන නිර්මාණ අතුරින් ප්‍රධාන තැනක් ගන්නේ දහසක් බුදුන් බුදු වූ වග සනිටුහන් කරන සම්බුද්ධ විහාර මන්දිරයයි. එහි කටයුතු ද දැන් නිම වෙමින් පවතී.
සසුන් කෙත අස්වැද්දීම වෙනුවෙන් මහා පුදබිම් ත්‍රිත්වයක් නිර්මාණය කළ සද්ධාරංසි නාහිමියෝ සම්බුද්ධ ශාසනයේ හෙට දවස වෙනුවෙන් බුදු පුත් පරපුරක අවශ්‍යතාව මැනවින් හඳුනා ගත්හ. පුණ්‍ය භූමි නිර්මාණය කර එම පුණ්‍ය භූමි කසාවතින් බැබළවීම අපේ ශාසන වංශයේ අනාගතය වෙනුවෙන් කළ යුතුම වූ කාර්යභාරයකි. ඒ වෙනුවෙන් කුල දරුවන් සියයක් සසුන්ගත කර දේශයේ බුදු සසුන පවත්වාගෙන යෑමට උන් වහන්සේ දුරදක්නා නුවණින් කටයුතු කර ඇත.
අනුරාධපුර, ඇලයාපත්තුව රෝහලේ ඇඳන් 25ක් සහිත රෝහල් වාට්ටුවක් සාදවා භික්ෂූන් වහන්සේලා උදෙසා වෙනම කොටසක් වෙන් කර දුන් සද්ධාරංසි නාහිමියෝ වෛද්‍යවරුන්ට ද කාමරයක් සාදවා දුන් අතර මේ සඳහා රුපියල් ලක්ෂ 45ක් පමණ වැය කළහ.
නිවාස අහිමි අන්ත දිළිඳු පවුල් දෙකක් සඳහා අනුරාධපුර දේවානම්පියතිස්සපුර ගම්මානයේ අංගසම්පූර්ණ නිවාස දෙකක් සාදවා එම පවුල්වලට පරිත්‍යාග කළහ. රණවිරු පවුල්වලට මෙන්ම ආර්ථික අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් ද පොත්පත් ආදිය පරිත්‍යාග කරමින් සමාජ සේවාවේ නිරත වන උන් වහන්සේ පසුගිය කාලයේ ගංවතුරින් අනාථ වූ දහස් ගණනක් පිරිසට ආහාරපාන සහ අත්‍යාවශ්‍ය භාණ්ඩවලින් ද උදව් උපකාර කළ අතර යුද සමයේ ආබාධිත රණවිරුවන්ට කෘත්‍රිම පාද ආදී අවශ්‍ය දෑ ලබා දුන්හ. අසරණ රෝගීන් වෙනුවෙන් ඇලයාපත්තුව ග්‍රාමීය රෝහලට රුපියල් දස දහසක අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලබාදීම දැනට වසර දහයක් පුරා සිදු කරනු ලබයි. ඇලයාපත්තුව මහ විදුහලට විශාල අඩුපාඩුවක්ව පැවති බුද්ධ මන්දිරයක් ලක්ෂ දහයක වියදමින් ඉදිකරදීම නාහිමිගේ තවත් සමාජ සත්කාරයකි.
අනුරාධපුර තන්තිරිමලේ පාර, වන්නිහැළඹෑව, ඇලයාපත්තුව (සිරි බෝධිරුක්ඛාරමය) හෙවත් සිරි සම්බුද්ධ ප්රතිමාලංකාර විහාරයේ බුද්ධ ප්‍රතිමාවේ විවිධ මුද්‍රා විදහාපාන සිව්මහල් නව විහාර මන්දිරයක් දැනට ඉදි වෙමින් පවතී. මෙයද සද්ධාරංසි නාහිමිගේ නිර්මාණයකි. එමෙන්ම විලච්චිය මන්නාරම් හන්දිය සද්ධාරංසි විහාරයේ අභිවෘද්ධියතකා විශාල වැඩ කොටසක් නිම කර දී තිබේ. මෙහි වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලාට නේවාසිකාගාර පහසුකම් සපයා දී තිබීම විශේෂත්වයකි.
අනුරාධපුර රජ දිසාවේ දහම් පාසල් නිපුනතා ඇගයීම් තරගවල (2017 – 2018) ප්‍රථම ස්ථානය දිනා ගත් දරුවන් 42කට වටිනා ත්‍යාග පිරිනැමීම, සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන (2017 – 2018) යටතේ දිසාවේ ශාසනාරක්ෂක බලමණ්ඩල තුනේ හොඳම දහම් පාසලට සහ හොඳම බලමණ්ඩල තුනට වටිනා ත්‍යාග පිරිනැමීම සද්ධාරංසි නාහිමිගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් පසුගිය දා උත්සවාකාරයෙන් සිදු කෙරිණි.
මේ ආදී ආගමික සහ සමාජීය මෙහෙවරවල නිරත අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමිට උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබ ඉදිරියේ දී ශාසනය වෙනුවෙන් තව තවත් මෙහෙවර ඉටු කිරීමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු.
අනුරාධපුර නැඟෙනහිර සමූහ
සේනපුර ඩී. නිශ්ශංක
0 Comments