ලොව අන් කිසිම රටක අප රටේ තරම් ලේ දන්දීමට ඉදිරිපත්වීමක් දක්නට නැත. එසේම තවත් අයෙකුගේ ජීවිතය උදෙසා වකුගඩු දෙකෙන් එකක් දන්දී දාන පාරමිතාව පුර්ණ උතුම් මිනිසුන් ද මෙහි දුර්ලභ නැත.
ලොව විශාලතම ඇස් සංචිතය හිමි ඇස් බැංකුව ඇති පුංචි රට ශ්‍රී ලංකාවය. ලෝකය ඉදිරියේ කවර පසුබෑම් තිබුණද දානයට, පරිත්‍යාගයට යොමුවන මානව දයාව පිරුණු හදවතින් ශ්‍රී ලාංකිකයන් පොහොසත්ය.
පසුගිය දුරුතු පොහෝදා බලංගොඩ නගරයේ ශාන්ත ඇග්නස් බාලිකා විද්‍යාලයට පැමිණි දහසකට අධික මවුවරු හා දියණිවරුන් කියාපෑවේ එම මානව දායාවේ පොහොසත්කමයි.
ඔවුන් පැමිණ සිටියේ පිළිකා රෝගයෙන් කෙස් කළඹ අහිමි වූ තමන් වැනිම තවත් මවකගේ, දියණියකගේ මානසික සුවය උදෙසා සිය වරලස දන්දීමටය. නැතහොත්, කාන්තාවක සතු පංච කල්‍යාණයෙන් එක් කොටසක් දන්දීමටය. සිය රුව සම්පත්තියෙන් කොටසක් දන් දුන් මේ මනුස්ස දියණිවරු තම අවස්ථාව එළඹෙනතුරු සමහරවිට හෝරා කිහිපයක් ඒ වෙනුවෙන් කැප කළහ.
දෙපතුල් සිඹින සිය නිරෝගී දිගු වරලස පරිත්‍යාග කළ ඇග්නස් බාලිකාවේම ඉංග්‍රීසි ගුරුවරිය වූ අනෝමා රත්නායක මහත්මිය පැවසූයේ තමා වසය අවුරුදු 09 සිට බෙහෙවින් සත්කාර කර වැවූ කෙස්කළඹ මෙලෙස දන් දුන් බවයි.
සිය දියණියන් තිදෙනා සමඟ පැමිණි තවත් මවක සඳහන් කළේ පිළිකා රෝගයෙන් මියගිය සිය සොහොයුරිය සිහි කරමින් දියණියන් තිදෙනා සහ තමා කොණ්ඩය දන්දුන් බවයි. “මගේ සොහොයුරිය පිළිකා රෝගයෙන් මියගිය ඇයට කොණ්ඩ අහිමි වූ අවස්ථාවේ දී මාගේ කොණ්ඩය දෙන්න හැකිනම් කියා මට හිතුණා. නමුත් මට ඒක කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ. අද මගේ සොහොයුරිය කොහේ හරි ඉඳගෙන මේ පින් අනුමෝදන් වේවියැයි ද ඇය කීවාය.
ඔවුන් මෙලෙස සිය කෙස් වැටිය පරිත්‍යාග කළේ පිළිකා රෝගය නිසා සිදුකරනු ලබන විකිරණ ප්‍රතිකාර හේතුවෙන් මුළුමණින්ම සිය කොණ්ඩය අහිමි වූ කාන්තාවන් වෙනුවෙන් ස්වභාවික හිසකෙසින් කෙස්කළඹ සකසා පරිත්‍යාග කරනු වස් ඉන්දිරා පිළිකා භාරය ක්‍රියාත්මක කරන පුණ්‍ය ව්‍යාපෘතිය සඳහාය.
ඉන්දිරා පිළිකා භාරය මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ මින් වසර 02කට පෙරය. මේ වනවිට දහස් ගණනක් කාන්තාවන් එම ව්‍යාපෘතිය වෙනුවෙන් සිය කෙස් කළඹ පරිත්‍යාග කර ඇත. නමුත්, බලංගොඩ ශාන්ත ඇග්නස් බාලිකා විද්‍යාලයීය බාලදක්ෂිකාවන් විසින් සිය පාසල් භූමියේ සංවිධාන කළ වැඩසටහන මේ ව්‍යාපෘතිය ඉදිරියට තැබූ යෝධ පියවරකි.
පාසලක් මේ සඳහා දායක වූයේ ප්‍රථමවරටය. බලංගොඩ ඇග්නස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්ලිව්.එල්.වයි.ටී.ප්‍රනාන්දු පැවිදි සොහොයුරියගේ මෙහෙයවීමෙන් ඉන්දිරා පිළිකා භාරය සමඟ එක්ව මේ ව්‍යාපෘති සඳහා තමා යටතේ පුහුණුවන බාලදක්ෂිකාවන්ට මඟ පෙන්වා තිබුණේ බාලදක්ෂ පුහුණු භාර ආචාරිනී ඒ.පී. ඔගස්ටා මහත්මියයි.
සංවිධාන කටයුතුවලට උරදීම හැරුණු කොට ඇග්නස් බාලිකාවියන් සිය කෙස්වැටිය දන්දීම සඳහා විශාල උනන්දුවක් දැක්වූහ. දන්දීමට සුදුසු කෙස් කළඹ අවම වශයෙන් අඟල් 17 ඉක්මවා තිබිය යුතු වූ හෙයින්, එයට ඉදිරිපත් වුවද සිය කෙස්වැටියේ දිග ප්‍රමාණවත් නොවන බව දැනගත් ඇතැම් සිසුවියන් ඉවත්ව ගියේ කඳුළුපිරි දෙනෙතෙනි.
මේ ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දැක්වූ විදුහල්පතිනිය ඩබ්ලිව්.එල්.වයි.ටී ප්‍රනාන්දු පැවිදි සොහොයුරිය “රෝගීන් වෙනුවෙන් අනුකම්පාව, දයාව, ආදරය දැක්වීම සෑම ආගමකම ප්‍රකාශ කර තිබෙන උතුම් ගුණයක්. මේ ව්‍යාපෘතිය පිළිබඳ යෝජනාව බාලදක්ෂ අංශය භාර ආචාරිනිය ඉදිරිපත් කළ මොහොතේ අපේ ගුරු මණ්ඩලයේ සෑම කෙනෙක්ම ඒ සඳහා පූර්ණ සහාය ලබා දුන්නා.
මගේ පාසලේ දරුවන් නිසා විශාල පිරිසකට මහා පුණ්‍ය කර්මයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. සොබාදහම අපට කවදාහරි මේ දේවල් අහිමි කරනවා, කෙස්වැටිය කවදාහරි වැටිල යනවා, හැබැයි, මේ කරපු පින අපට සැමදාම ඉතිරි වෙනවා, කියන හැඟිම අපට තිබෙනවා”
බාලදක්ෂ අංශභාර ආචාරිනී එච්.පී.ඔගස්ටා මහත්මිය.
“අපේ බාලදක්ෂිකාවන්ට නියම වෙලා තිබෙන වැඩ ව්‍යාපෘතියට මේ වගේ දෙයක් සංවිධාන කිරීමට ලැබීමෙන් අපි මෙතෙක් කාලයකට නොකළ අන්දමේ විශේෂ ව්‍යාපෘතියක් කළා කියන සතුට අපට තිබෙනවා, මේ තරම් පිරිසක් මෙයට දායක වෙන්න එයි කියලා අපි විශ්වාස කළේ නැහැ. අපේ දරුවන්ගේ උත්සාහය නිසා තවත් කෙනෙකුට ජීවිතේ ගැන අලුත් බලාපොරොත්තු උපදිනවා. රෝගී තත්ත්වයට මුහුණ දෙන්න මානසික ශක්තිය ලැබෙනවා. කාන්තාවකට නිරෝගී කොණ්ඩය වටිනා ස්වභාවික ආභරණයක් වුණත් තව කෙනෙකුගේ සතුට, සහනය වෙනුවෙන් එය පරිත්‍යාග කරන්න ඉදිරිපත් වුණු සියලුම මවුවරුන්ට, දියණිවරුන්ට ආචාරය පුද කරනවා යැයිද ඇය පැවසුවාය.
ඉන්දිරා පිළිකා භාරය වෙනුවෙන් මේ ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය ලංකා ජයසුරිය දිසානායක මහත්මිය-
“මේ ව්‍යපෘතිය සඳහා දන්දෙන හැම කෙස්ගසක් පිළිබඳවම අපට තිබෙන්නේ මහත් ගෞරවයක්. එය පූජනීය දෙයක්. ඒ නිසාම ඒ හැම කෙස් ගසක්ම ඉතා පරිස්සමින් කෘතීමව නිෂ්පාදනය කරන කෙස්කළඹක් එහෙම නැතිනම් විග් එකක් හදන්න අපි යොදවනවා. කෙස් ලැබුණත් විග් එකක් හදන්න විශාල පිරිවැයක් දරන්න අවශ්‍යයි. ඉන්දිරා පිළිකා භාරය ඒ පිරිවැය දරනවා”.
මේ තුළීන් රෝගී තත්ත්වය හේතුවෙන් කෙස් කළඹ අහිමිවුණු කාන්තාවන්ට හා එම පවුලේ සාමාජිකයන්ට ලැබෙන සහනය මොන තරම් ද කියා වචනයෙන් විස්තර කරන්න අමාරුයි.
එවැනි අතිශයින් සංවේදී අවස්ථා රැසක් අප ගෙවී ගිය වසර 02 ක කාලය තුළ අත්දුටුවා.
ඇත්තටම අපි ඔවුන්ට පෙර තිබූ කොණ්ඩය ආකාරයෙන්ම සකස් කළ විග් එකක් තමයි ලබා දෙන්නේ , කවුරු හරි අපෙන් විග් එකක් ඉල්ලුම් කළාම ඒ අයගේ කොණ්ඩය තිබුණු කාලයේ ඡායාරූපයක් ඉල්ලාගෙන ඒ ආකාරයෙන්ම විග් එක හදලා දෙන්න අපි කටයුතු කරනවා. ඒ නිසා සති 02ක් 3ක් ගත වෙන්න පුළුවන් වුණත්, මෙය මුළුමනින්ම නොමිලේ ලබාදීමට අපි කටයුතු කරනවා.
ඒ වගේම, මේ වෙනුවෙන් හිසකෙස් දන් දෙන අයට ඒ බව තහවුරු කරමින් අප සහතික පතක් පිරිනමනවා.මේ සහතිකය දකින හැම මොහෙතකම මම මහත් පිනකට දායක වුණා කියන සිතුවිල්ල ඇති වන බවට සැකයක් නැහැ.
විශේෂයෙන්ම ඉතාම වගකීමෙන් යුතුව අපේ මවුවරු, දියණිවරු පිරිනමන කොණ්ඩය ඉවත් කරගත් පසු ඔවුන්ගේ මුහුණට ගැළපෙන කෙටි කොණ්ඩා මෝස්තරයක් කැමැත්ත අනූව සකසාදීම ඔවුන්ට ඉටුකරන සාධාරණයක් ඒ නිසාම මෙලෙස කොණ්ඩය කපාගැනීමත්, කපාගත් පසුව ඉතිරි කොණ්ඩය මනාව සකසා දීමත් සඳහා අප සමඟ සම්බන්ධව කටයුතු කරන්නේ ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේම රූපලාවණ්‍ය ක්ෂේත්රය පිළිබඳව විශිෂ්ට නමක් දිනාගත් රමනී ප්‍රනාන්දු සැලෝන් ආයතනයයි.
ඇයගේ ශාඛා ජාලයේ විශාල පිරිසක් මේ වෙනුවෙන් ක්‍රියාත්කම වෙනවා. එතුමිය ඇතුළු කණ්ඩායම මේ වෙනුවෙන් කැපවන්නේ ස්චේච්ඡාවෙන්මයි.
විශේෂයෙන්ම මේ සඳහා කොණ්ඩය පරිත්‍යාග කාන්තාවන්ගේ මුළු කොණ්ඩයම ශිල්පියාට අවශ්‍ය දිගින් කපා ගැනීමක් සිදු නොවන බව අවධාරණය කළ යුතුයි.
කොපමණ දිග කොණ්ඩයක් වුවත් අඟල් 17 ක කොටසක් පමණක් වුවත් දන්දීමට හැකිනම් කොණ්ඩය කපන ශිල්පියා කපා ඉවත් කර ගන්නේ එම කොටස පමණයි.
පිළිකා රෝගයට උස් පහත් භේදයක් නැහැ. අපේ රටේ යම් කෙනෙකුට මේ රෝගය වැළඳුණු බව දැනගත් විට රෝගියා පමණක් නොවෙයි. ඔහුගේ පවුලම විශාල කම්පනයට පත් වෙනවා, ඔවුන්ට කළ යුක්තේ කුමක්දැයි සිහි එළවා ගන්න අමාරුයි.
මෙහිදී ඉන්දිරා පිළිකා භාරය ඔවුන්ට පිහිට වෙන්න මඟ පෙන්වන්න වගේම උපකාර කරන්නත් සූදානම්, අප ක්‍රියාත්මක කරන මෙවැනි උපකාරක සේවාවන් 25 අතුරින් එකක් තමයි මේ කෙස් කළඹ පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතිය. අපට සමාජයට දෙන්න අවශ්‍ය පණිවිඩය තමයි පිළිකා රෝගයේ දී “ඔබ තනි නැහැ ඔබේ සහායට ඉන්දිරා පිළිකා භාරය සිටිනවා” කියන එක, 0112363211 දුරකථනයෙන් දවසේ පැය 24 පුරාම ඉන්දිරා පිළිකා භාරය ඇමතිය හැකියි.
විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ අප සමඟ එක්ව මේ ව්‍යාපෘතිය වෙනුවෙන් වැඩ කරන විශාල පිරිසක් රටේ සතර දිග්භාගයෙන්ම සිටිනවා.සිය කාලය හැකියාව, දැනුම රෝගීන් වෙනුවෙන් කැපකරන ඔවුන් අතර පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් වෘත්තිකයන්, කලාකරුවන් ඇතුළු බොහෝ දෙනෙක් සිටිනවා.
ඒ වගේම, රාජ්‍ය හා පෞද්ගලික ආයතන කිහිපයක් අපගේ ව්‍යාපෘතිවලට විවිධ ආකාරයෙන් සහාය ලබා දෙනවා.ස්වේච්ඡාවෙන් මේ ව්‍යාපෘති සමඟ එක්වන්න කැමති මානව දයාවෙන් පිරි අයට අප ආරාධනා කරන බවද වෛද්‍ය ලංකා ජයසුරිය මහත්මිය කීවාය.
රජයේ ලියාපදිංචි පුණ්‍ය ආයතනයක් වන ඉන්දිරා පිළිකා භාරයේ මූලස්ථානය මහරගම අපේක්ෂා රෝහල ඉදිරිපිට අංක 63 යන ස්ථානයේ පිහිටා ඇති අතර, 2016 වර්ෂයේදී එය ආරම්භ කරන ලද්දේ වර්තමාන කතානායක කරු ජයසුරිය මහතාගේ කණිටු දියණිය වූ පිළිකා රෝගයෙන් මියගිය ඉන්දිරා ජයසුරිය මහත්මිය සිහිවීම පිණිසය.
0 Comments