Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වයඹ මානව සම්පත් අධිකාරියේ වර්තමාන සභාපති නිලන්ත සුපුන් රාජපක්ෂ ආභාධිත සෙබළෙකුට පහර දීලා : සෙබළාගේ බිරිඳටත් අතරවර කිරීමට තැත් කරලා

ආබාධිත හමුදා සෙබලෙකු වන එම්.එස්.එස්. වීරසිංහ මහතාට මෛත්‍රීපිල නියෝජනය කළ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රි වයඹ මානව සම්පත් අධිකාරියේ වර්තමාන සභාපති නිලන්ත සුපුන් රාජපක්ෂ සහ ඔහුගේ පුත් තක්ෂණ දිල්ෂාන් රාජපක්ෂ යන අය විසින් නිකවැරටිය පොලිසියේ පොලිස් නිලධාරීන් බලා සිටියදී පොලිස් ස්ථානය ඉදිරිපිටදීම බරපතළ ලෙස පහරදී ඇත.

පහරදීමට හේතුව වශයෙන් ප්‍රකාශ වී ඇත්තේ ආබාධිත සෙබළා විසින්, මානව සම්පත් අධිකාරියේ සභාපතිවරයා කළ මුදල් අක්‍රමිකතා සහ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මුහුණු පොත හරහා ප්‍රශ්න කිරීමත්, ආබාධිත සෙබළාගේ බිරියට මන්ත්‍රිවරයා විසින් ලිංගික අතවර කිරීමට කාලයක සිට ගත් විවිධ උත්සාහයන් අසාර්ථක වීමත් බවයි.

පහරකෑමට ලක් වූ නිකවැරටිය, ඇඹලගොඩයාගම පදිංචි එම්.එස්.එස්. වීරසිංහ නැමති 45 එම මහතා මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 24හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී. දින 04ක් නිකවැරටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබා දී කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර ඇත. ඔහු අවුරුදු 16ක් හා අවුරුදු 11ක් වයසැති දියණියන් දෙදෙනකුගේ පියෙකි.

1995.03.17 වැනි දින යුද හමුදා සේවයට බැඳෙන වීරසිංහ මහතා මෙහෙයුම් 17කට සම්බන්ධ වී තුන් වතාවක්ම මෝටර් ප්‍රහාරවලට සහ වෙඩි ප්‍රහාරවලට ලක් වූ අයෙකි. වම් පාදය දණහිසින් පහළ අහිමි ඔහුගේ දකුණු පාදයේද අස්ථි බිඳීගොස් ඇත. වීරසිංහ මහතා තමන් මුහුණ පෑ සිද්ධිය විස්තර කළේ මෙසේය.

“මම යුද හමුදාවෙ සිංහ රෙජිමේන්තුවට බැඳුණේ 1995.03.07 වැනිදා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්තයා සමඟ අපි යුද්ධෙට මුහුණ දුන්නේ. මෙහෙයුම් 17කට විතර සහභාගි වුණා. මෝටාර් ප්‍රහාර 2කට හා එක් වෙඩි ප්‍රහාරයකට ලක් වුණා. ‘රිවිරැස, සත්ජය, අකුණු පහර, ජය සිකුරු, වෙඩි බල’ ආදී අති දැවැන්ත මෙහෙයුම්වලට මුහුණ දුන්නා.

මම අද මේ රෝහලේ නේවාසිකව ඉන්නෙ වයඹ පළාත් සභාවේ මන්ත්‍රිවරයකුව සිටි මානව සම්පත් අධිකාරියේ වර්තමාන සභාපති නිලන්ත සුපුන් රාජපක්ෂ මහතාත් ඔහුගේ පුතාත් මට කළ පහරදීම නිසයි. මගේ ක්ලචස් එකෙන්මයි (අත්වාරුව) මට පහර දුන්නේ. ඔහුට මම අපහාස කළා කියලා මට විරුද්ධව නිකවැරටිය පොලිසියේ පැමිණිල්ලක් දමා තිබුණා. ජනවාරි 21දා සවස 02ට පැමිණිල්ල විභාග කරන්න එන්න කීවා. අපි පොලිසියට ගිහින් බලාගෙන ඉඳල ආපහු ගියා ඔවුන් ආවේ නැති නිසා. පහුවදා 04ට යළිත් පොලිසියට එන්න කීවා. අපි 3.30ට වෙනකොට පොලිසියේ පෙනී සිටියා. ඔය කියන සභාපතිවරයා ආවේ සවස 5.30ට පමණ. මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා ඉදිරිපත් වී කතා කරලා සමථයකට ආවා. සභාපතිවරයා අපිට කලින් එළියට ආවා. අපි පොලිසියේ ගේට්ටුව ළඟට එනකොට සභාපතිවරයාගේ කළු පැහැති කැබ් එක (නිල රථය) පාරේ නවත්වා තිබුණා. කළු වීදුරු නිසා ඇතුළත පෙනුණේ නැහැ.

අපි කැබ් එක පහු කරනවිට එකවරම හිටපු පළාත් සභා මන්ත්‍රිවරයාත් ඔහුගේ පුතාත් ‍දොරවල් ඇරගෙන වාහනෙන් එළියට බැහැල ඇවිත් මට ගහන්න පටන් ගත්තා. මම වැටුණා. මගේ කෘත්‍රිම පාදය කකුලෙන් වෙන් වුණා. මම පොලිසියට ගියේ බිරියත් දුවල දෙන්නත් එක්ක. මගේ ක්ලචස් එක (අත්වාරුව) අරගෙන පාරවල් 20ක් විතර ගැහුවා. හිසටමයි වැදුණේ. පසුව ඒ අය මට පයින් ගැහුවා. සපත්තු දාගෙන හිටපු නිසා මට විශාල වේදනාවක් දැනුණා. මගේ අහිංසක ළමයින් හා බිරිය කෑ ගහනවා ඇහුණා. මගේ හිසින් ලේ ගලන්න පටන් ගත්තා.

පොලිසියේ ලොකු මහත්තයා හා පොලිස් නිලධාරීන් ඇතුළු 100ක් විතර එතන රැස් වෙලා හිටියා. කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැහැ. මාව රෝහලට අරගෙන යනවා වෙනුවට පොලිස් නිලධාරීන් පොඩ්ඩක් ඉන්න කියමින් ප්‍රමාද කළා පමණක් නෙවෙයි, මට පහරදීපු අයගේ පැමිණිල්ල ලියාගෙන ඔවුන්ව නිදහස් කළා. ඉන් පසුව තමයි මගේ පැමිණිල්ල ලියා ගත්තේ. පසුව මම නිකවැරටිය මූලික රෝහලේ දවස් හතරක් නේවාසිකව ප්‍රතිකාර ලබා ගත්තා. ඉන්පසුව තමයි කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළු වුණේ. මට පහර දෙන්න ප්‍රධාන හේතුව තමයි මගේ බිරියට කරන ලද අයුතු යෝජනාවලට ඇය අකැමැති වීම.

මගේ බිරිය වැඩ කළේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ මානව සම්පත් අංශයේ අධීක්ෂණ නිලධාරිනියක ලෙසයි. ඒ අතර නිකවැරටිය රෝහලේ මානව සම්පත් අංශයේ දෙදෙනකු අතර සිදුවූ ගැටුමක් නිසා එම දෙදෙනා ස්ථාන මාරු කළා, දඬුවම් මාරු ලෙස. එයින් ඇති වූ පුරප්පාඩුවට මගේ බිරිය නිකවැරටිය මූලික රෝහලට ආවා. මේ කාලෙ තමයි නිලන්ත සුපුන් රාජපක්ෂ මගේ බිරියට අයුතු යෝජනාවක් කළේ. ඒවාට බිරියගෙන් ඉඩක් නොලැබීම නිසා කිසිම හේතුවක් නැතිව බිරිය නැවත කුරුණෑගලට මාරු කර යැව්වා.

මේක අසාධාරණ ස්ථාන මාරුවක්. එනිසාම බිරිය නැවත වැඩට ගියේ නැහැ. මම ආබාධිත රණවිරුවෙක්. දියණියන් දෙදෙනකුගේ පියෙක්. දියණියන් දෙදෙනාගේ රැකවරණය සැලසීමට තමන්ට නොහැකි බව කියලා අභියාචනයක් දුන්නා මානව සම්පත් අධිකාරියේ සභාපති වූ නිලන්ත සුපුන් රාජපක්ෂ මහතාට.

මම ඒ වනවිටත් දැනගෙන හිටියෙ මේ සභාපතිවරයා තරහෙන් ඉන්න බව පමණයි. අපි දුන් අභියාචනය ඉරලා කුණු කූඩෙට දමලා. ඊට පස්සෙ මම දන්නා ප්‍රභූවරුන් හමු වී ඉල්ලීම් කළා, රැකියාව බිරියට ලබා දෙන ලෙසට. මෙම සභාපතිවරයා කියා තිබුණා කිසිම අවස්ථාවක කිසිම හේතුවක් නිසාවත් මගේ බිරිය නැවත සේවයේ පිහිටුවන්නේ නැති බව. අපිට දැඩි ආර්ථික අපහසුතා තිබුණා. අනෙක නිකවැරටිය රෝහලේ සිදුවූ මුදල් වංචාවක් මම මුහුණුපොතේ දැම්මා. අනෙක ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබුණා අධිකාරිවලට, සමාගම්වලට සභාපතිවරුන් පත් කිරීමේදී උපාධිය බලනවා කියලා. මේ සභාපතිවරයාට උපාධියක් නැහැ. ඒකත් මුහුණුපොතට දැම්මා. ඒක තමයි ඔහුට අපකීර්තියක් වූ බවට පැමිණිල්ලක් දාන්න හේතුව.

මට පළමුව ගැහුවෙ නිලන්ත සුපුන් රාජපක්ෂගේ පුතා තක්ෂණ දිල්ෂාන්. ඊට පස්සෙ දෙන්නම ගැහුවා. නිල ඇඳුම් ඇදගත්ත පොලිසියේ මහත්තුරු බලාගෙන සිටිද්දී පහර දුන්නේ. පැමිණිල්ලක් ලියා ගත්තෙ රෝහලට යන්න නොදී බලහත්කාරයෙන් ඇදගෙන ගිහිල්ලා අන්තිමේ දෙපැත්තම පැමිණිලිකාරයෝ කරලා පහර දුන් අයට ඇප දීලා නිදහස් කළා.

මේකද රටේ නීතිය. පොලිසියේ රාජකාරිය හරියට සාධාරණව ඉටු කළේ නැහැ. පහර කාපු මම රෝහලේ. පහර දීපු අය ගෙවල්වල සැප විඳිනවා. රට බේරා ගත් රණවිරුවන්ට සලකන්නෙ මෙහෙමද ජනාධිපතිතුමනි, මෙවැනි අය සිදුකරන්නේ ඔබට නින්දාවක්. හානියක්. අපකීර්තියක්. ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කර සාධාරණ විසඳුමක් ලබාදෙන්න.”

පහරකෑමට ලක්වූ වීරසිංහ මහතාගේ බිරිය රාජපක්ෂ මහත්මිය මෙසේ කීවාය.

“මගේ මහත්තයා ආබාධිත රණවිරුවෙක්. මට සිදුවූ අසාධාරණ ස්ථාන මාරුවක් හදාගන්න බලධාරීන් ළඟට ගියාම ඔවුන් ඉල්ලන්නේ ලිංගික අල්ලස්. පොලිස් නිලධාරීන් බලා සිටියදී ආබාධිත මගේ මහත්තයාට බිම දාගෙන පහර දෙනවා. මගේ දියණියන් දෙදෙනා මගේ ඇඟේ එල්ලිලා. මට කිසිවක් කරන්න බැරි වුණා. ඔළුව උස්සන්න නොදී එක දිගටම පහර දුන්නා.

ඔවුන්ගේ අඩුපාඩු පෙන්වන්නට අපිට පුළුවන්. මහත්තයා කළේ ඒ දෙවල් අන්තර්ජාලයට දැමීමයි. මේ අමානුෂික පහරදීම නිසා මගේ මහත්තයාගෙ ඔළුවට තුවාල සිදුවුණා. ස්නායුවල දුර්වල බවක් තියෙන බවත් කියනවා. මතකයත් ටිකක් අඩුයි. මේ පහරදීම සම්බන්ධව නිකවැරටිය පොලිසිය කිසිවක් කළේ නැහැ. පහර දුන් අය මුදා හැරියා. ඇයි මෙහෙම කරන්නෙ. බලපුළුවන්කාරයන්ට එක විදියක්. අපි වගේ අහිංසකයන්ට තව විදියක්.

ඇයි නීතිය ඉටු නොකර අපරාධකරුවන් වන දේශපාලනඥයන් රකින්නේ. අපි වගේ පොඩි මිනිසුන්ට සාධාරණය ඉටුකර දෙන්න කියන ඉල්ලීම කරනවා. දැන් වයඹ මානව සම්පත් අධිකාරියේ සභාපති නිලන්ත සුපුන් රාජපක්ෂ මට කිහිප වරක් කීවා තනියම හම්බ වෙන්න කියලා. අයුතු යෝජනා කළා. මම වැරැදි කරලා නැති නිසා මම බය නැතිව කියනවා ප්‍රසිද්ධියේ ඔහු ලිංගික අල්ලස් ඉල්ලුවා. මගෙන් ඒවාට ඉඩක් නොලැබුණාම අපෙන් පළිගන්න හදනවා. මගේ අහිංසක මහත්තයා ගුටි කන්නෙ ඒ නිසයි.”

එම්.එස්.එස්. වීරසිංහ ආබාධිත සෙබළාගේ දියණියන් දෙදෙනාටද මෙහිදී පහර වැදී ඇත. එම දියණියන් දෙදෙනා දැනට හිතවතකුගේ නිවෙසෙහි රඳවා බිරිය – සැමියා සමඟ රෝහලේ සිටී. දියණියන් දෙදෙනාම පාසල් යන අතර වැඩිමහල් දියණිය 16 හැවිරිදි වියේ පසුවන අ.පො.ස. (සා/පෙළ) සිසුවියකි. බාල දියණිය 11 හැවිරිදි වියේ පසුවන 06 වසරේ ඉගෙනුම ලබන සිසුවියකි.

මව්බිම – කුරුණෑගල – ජයන්ත දිසානායක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();