Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිද­හස් අර­ග­ල­යට අලු­තින් පණ දුන් වල­පනේ බස් රියැ­දුරා

26 ජනවාරි, 2019

* චිත්‍ර­ප­ටය හැදුවේ ගමේ අය එකතු වෙලා
* නළු නිළියෝ, කැමරා ශිල්පියා, කලා අධ්‍ය­ක්ෂ­ණය ගමේ ඇත්ත­න්ගෙන්
* ‘වල­පනේ සටන’ චිත්‍ර­ප­ටයට ඇග­යීම් ලැබුණේ ජනා­ධි­පති සම්මා­න­යෙන්

ඒ, සුද්දා විසින් රට පාල­නය කළ යුග­යයි. තිරය මත දිස් වන්නේ සුදු ජාති­ක­යන් කිහිප දෙනකු සිංහල ගම්වැ­සි­යන් අත්අ­ඩං­ගු­වට ගනි­මින් ගෙවල් ගිනි තිය­මින් යන දර්ශන කිහි­ප­යකි. තවත් විටෙක සුද්දන්ට එක් වූ සිංහ­ල­ය­කුද මිනි­සු­න්ගෙන් බදු එකතු කර­මින් යන දර්ශ­න­යකි.

පැය දෙක­කුත් විනාඩි ගණ­නා­වක් චිත්‍ර­ප­ටය විකා­ශය විණි. සැබෑව නම් චිත්‍ර­ප­ටය නර­ඹන විට සින­මා­රූ­පීය වශ­යෙන් එහි ඇති අඩු­පා­ඩු­වක් නොදැ­නී­මයි. මා සිතේ මතු වූයේ එද­වස සුද්දා නිසා මේ ජන­තාව කොතෙක් නම් පීඩා­වට පත් වූවාද කියාය. එමෙන්ම එද­වස සුද්දාට එරෙ­හිව නැඟී සිටී­මට ගැමි­යන් තුළ වූ එඩි­තර බවයි. සිත නැඟුණේ අපේ අතීත මුතුන්-මිත්තන් ගැන අභි­මා­න­යකි. මේ චිත්‍ර­ප­ටයේ කිසිදු චරි­ත­යක අප දන්නා හඳු­නන නළු-නිළියෝ කිසි­වෙක් නැත. සිය­ල්ලෝම ආධු­නි­ක­යෝය. කොළ­ඹින් දුර බැහැ­ර­කප හිඳ රූප­වා­හිනී තිර­යක නැරඹූ චිත්‍ර­ප­ටය බලා අව­සා­නයේ අසල හුන් අය දෙස බැලිමි. සිය­ල්ල­න්ගේම මුහු­ණු­වල ඇත්තේ සතු­ටකි. ඔවුහු සියලු දෙන ‘වල­පනේ ​ைසටන‘ නම් ඒ අපූරු චිත්‍ර­ප­ටයේ රඟපෑ විදානේ රාලගේ චරි­තය රඟපෑ වීර­සිංහ කරු­ණා­රත්න, බූටෑවේ රාලගේ චරි­තය රඟපෑ සාජන් ආනන්ද තිල­ක­රත්ත ඇතුළු ගැමි­යෝය.

‘වල­පනේ සටන‘ නම් වූ හරි අපූරු සිනමා නිර්මා­ණය ගැනය මේ කතාව. ලෝක සින­මාවේ ප්‍රජා සහ­භා­ගි­ත්ව­යෙන් යුත් චිත්‍ර­පට කෙතෙ­කුත් නිෂ්පා­ද­නය වී ඇත. ඉන්දි­යා­වේද මෙවැනි චිත්‍ර­පට නිපැ­යුණු අවස්ථා ඇත. එහෙත් අප රටේ එවැනි චිත්‍ර­ප­ට­යක් නිෂ්පා­දන කළ පළමු අව­ස්ථාව මෙය වේ.

“වල­පනේ පැත්තේ ගමක්ම රඟ පාපු, ගමේම කෙනෙක් නිර්මා­ණය කරපු චිත්‍ර­ප­ට­යක් තියෙ­නවා. පොඩ්ඩක් හොයලා බලන්න” මීට කිහිප දින­කට පෙර මිත්‍ර­යෙක් ඔත්තු­වක් දුන්නේය. ඒ ඔත්තුව අනුව අප කැලණි විශ්ව­වි­ද්‍යා­ලයේ ජන­ස­න්නි­වේ­දන අංශයේ කථි­කා­චා­රිනී ඉලේකා රුව­න්ප­ති­ර­ණට කතා කළෙමු.

“අපට මේ අය හමු වුණේ, 1818 ඌව-වෙල්ලස්ස නිද­හස් අර­ග­ල­යට වසර දෙසී­යක් පිරීම නිමි­ත්තෙන් අපේ අධ්‍ය­යන අංශ­යෙන් ජන­ශ්‍රැති එකතු කිරීමේ පර්යේ­ෂ­ණ­යක් කළ අව­ස්ථාවේ වල­ප­නේට ගිය ගම­නේ­දීයි.”

කථි­කා­චා­රිනී ඉලේකා අපට ඔවුන් හමු වීමට අව­ස්ථාව සලසා දුන්නේ එලෙ­සිනි.

ඒ අනුව පසු­ගිය දිනෙක අපි මුනි­දාස පුංචි­හේවා නම් වූ ඒ අපූරු මිනිසා හමු වීමට වල­පනේ වතු­මුල්ල ගමට ගියෙමු.

“මම සින­මාව ගැන ඉගෙ­න­ගෙන නැහැ කව­දා­වත්. මම දකුණේ දෙවු­න්දර. අපේ පවුලේ ඔක්කෝම දහ දෙනෙක්. මම පවුලේ තුන්වෙ­නියා. මට අවු­රු­ද්දක් විතර කාලේ තාත්තා අපි­වත් අර­ගෙන ලුණු­ග­ලට පදිං­චි­යට ආවා. තාත්තාට ලොරි­ය­කුයි කාර්-එක­කුයි තිබුණා. සඳුදා පොළට යන මිනිස්සු ගියේ තාත්තාගේ ලොරි­යෙන්. තාත්තා මුලින්ම හිටියේ පොලී­සියේ. කොහොම නමුත් මම ඉගෙ­න­ගත්තේ ලුණු­ගල ඉස්කොලේ. ඒත් පාස­ලේදි දඟ­වැඩ කෙරුවා මිසක් මම ඉගෙ­න­ගත්තේ නැහැ. පහේ පන්ති­යට විත­රයි ගියේ. ඉස්කෝ­ලෙන් අස් වෙන කොට මුල් ගුරු­තුමා අස්වීම් සහ­ති­කය දුන්නේ අට පාස් කියලා. නැත් නම් මට රස්සා­ව­කට වත් යන්න බැරි වෙයි කිව්වා. තාත්තට වාහන තිබුණ නිසා පුංචි කාලේ ඉඳ­ලාම වාහන එළ­වන්න ඉගෙ­න­ගත්තා. අවු­රුදු දහ අට වෙන­කොට මම ලයි­සන් එක ගත්තා. මුලින්ම බදුල්ලේ ජීවක වෙද­ම­හ­ත්තයා ළග රියැ­දුරු හැටි­යට හිටියා. අවු­රුදු විස්සක් විතර කාලේ තමයි ලංග­මයේ රියැ­දුරු හැටි­යට බැඳුණේ.”

මුනි­දාස තම අතීත තොර­තුරු සිහි­පත් කරන්නේ බොහෝ උන­න්දු­වෙනි. කලක් ඔහු 155 මාර්ගයේ එනම් තොට­ළග රත්ම­ලාන බස් මාර්ගයේ රියැ­දු­රකු ලෙස සේවය කළේය. සේවය අත­ර­තුර ලැබෙන නිවා­ඩු­වට ඔහු ගමේ යන්නේය. ඒ ගිය විට මිතු­රන් සමග දුන්හිඳ බල­න්නට යන්නේය. මේ ගිය විටෙක ඔහුත් මිතු­රාත් දිනෙක දුන්හිඳ අසල තරු­ණ­යන් රැසක් සිටිනු දැක එතැන වාඩි වී ඔවුන්ගේ දේශ­න­යට සවන් දෙන්නට විය. මෙය තම ජීවි­ත­යට කර­ද­ර­යක් කැන්දා­ගෙන ඒ යැයි මුනි­දාස කිසි­වි­ටෙ­කත් නොසි­තු­වේය. අද ඔහු ඒ අතී­තය සිහි කරන්නේ හිනැ­හෙ­මිනි.

“ඒ හැත්තෑ එකේ අවු­රුද්ද. දව­සක් මෝදර පොලී­සි­යෙන් මාව අත්අ­ඩං­ගු­වට ගත්තා. උසාවි දාලා මාව හිරේ දැම්මා, මම චේගු­වේ­රා­කා­ර­යෙක් කියලා. මුලින්ම මැග­සින් එකේ. ඊට පස්සේ CRP දැම්මා. එදා අර දුන්හිඳ ගම­නෙදි අපි එතන වාඩි වෙලා ඔවුන්ගේ කතාව අහ­ගෙන හිටියා. ඒ වෙලාවේ අපේ නම් ලියා ගත්තා. මේ කොළය අත්අ­ඩං­ගු­වට ගත් කෙනෙ­කුගේ අතේ තිබිලා. ඒ අනුව තමයි අපව අත්අ­ඩං­ගු­වට ගත්තේ. කොහොම වුණත් මම අවු­රුදු දෙකක් හිරේ හිටියා. එච්චර ඉක්ම­නට එන්න ලැබුණේ CTB රියැ­දු­රකු නිසා. එළි­යට ආවට පස්සේ මට නුව­ර­එ­ළි­යට මාරු­වක් ලැබුණා. මම ටික දව­ස­කින් ආයෙත් වල­ප­නේට මාරු වුණා. මට වැඩ කරන්න ලැබුණේ උඩ­මා­දුර කිය දුෂ්කර ගමේ. එහෙදි තමයි මට මගේ නෝනාව හමු වුණේ.”

බස් රියැ­දු­රකු වුවද යොවුන් වියේ සිටම මුනි­දා­සට කලාව ගැන එක්තරා උන­න්දු­වක් තිබිණි. මේ උන­න්දුව නිසාම ඔහු 1978දී තොර­ණක් සෑදු­වේය. අංගු­ලි­මාල දම­නය තොරණේ කතාව වුවද චිත්‍ර­වල නිල්පාට වැඩි යැයි ඔහුට චෝද­නා­වක් කරන්නේ CTB පාල­නා­ධි­කා­රි­යයි. හත් දව­සක් තිස්සේ පෙන්වූ තොරණේ අව­සන් දවසේ ඔහුට යළිත් මාරු­වී­මක් ලැබෙයි.

“ඒ තමයි වල­පනේ මිනිස්සු තොර­ණක් දුටුව පළමු අව­ස්ථාව. තොරණ පෙන්නලා අව­සන් දවසේ මට දුර පළා­ත­කට දඬු­වම් මාරු­වක් දුන්නා. මට රස්සාව එපා වුණා. මම රස්සාව දාලා ගියා. ඒ කාලේ මගෙ පඩිය රුපි­යල් දෙසිය පණ­හක් විතර. රස්සාව දාලා ගියාට පස්සේ මම මැණික් ගරන්න ගියා. එත් ඒ වැඩෙන් ලොකු ලාබ­යක් ලැබුණේ නැහැ. මගේ ඤාති සහෝ­ද­ර­යෙක් වෙන කේ.පී. සුනිල් ශාන්තට මැණි­කක් ලැබුණා. එයාට ඕනැ වුණා චිත්‍ර­ප­ට­යක් කරන්න. මම ගියේ එයාගේ චිත්‍ර­ප­ටයේ නළු නිළි­යන් එහා මෙහා ගෙනි­යන වාහ­නයේ රියැ­දුරු වැඩේ කරන්න. චිත්‍ර­ප­ටය ‘බිනරි සහ සුදු­බණ්ඩේ‘. විජය කුමා­තුංග, ඩී.ආර්. නානා­ය­ක්කාර, ශ්‍රියානි යන නළු-නිළි­යන් හිටියා.

මේ චිත්‍ර­ප­ටයේ කලා අධ්‍යක්ෂ තමයි ලය­නල් සිල්වා මහ­ත්තයා. මම එතු­මාගේ වැඩ­ව­ලට උදව් කළා. දව­සක් එතුමා මට කිය­නවා “මුනි, මේ වැඩ ටික ඔයා බලා­ගන්න. ඔයාට පුළු­වන් මේක කරන්න. ‘දඩ­යම‘ කියලා අලුත් චිත්‍ර­ප­ට­යක් කරන්න මට යන්න තියෙ­නවා. ඒ චිත්‍ර­ප­ට­යෙන් සම්මා­නත් ගන්න පුළු­වන්,” කියලා එහෙම කියලා, හැම දේම බාර දීලා ඔහු යන්න ගියා. මම ඉතිං වැඩ බලා­ගත්තා. ‘බිනරි සහ සුදු­බණ්ඩා‘ චිත්‍ර­ප­ටය හෝල්වල පෙන්නන කොට තමයි මම දැන­ගත්තේ චිත්‍ර­ප­ටයේ ‘කලා අධ්‍යක්ෂ‘ කියලා මගේ නම දාලා තියෙ­නවා. මම ආයෙත් ගමට ආවා.

“කැප්ටන් සෙනෙ­වි­රත්න කියලා මහ­ත්ම­යෙක් මට හිර­ගෙ­ද­රදි හමු වුණා. මම ඔහුට අගල් පහේ ඇණ­යක් උල් කරලා පොල්ක­ටු­ව­ලින් කැට­ය­මක් හදලා දුන්නා. ඔහුට ඒ මත­කය තිබුණා. ඔහු මට නැවත රජයේ රැකි­යා­වක් හොයලා දුන්නා. මම කුමාර් අබේ­සිංහ මහ­ත්ත­යාගේ රියැ­දුරු හැටි­යට කාල­යක්ම වැඩ කළා. අවු­රුදු දොළ­හක් ඒ රස්සාව කරලා විශ්‍රාම ගියා. ”

රස්සා­වෙන් විශ්‍රාම ගත්තද මුනි­දාස කලා­වෙන් විශ්‍රාම නොග­ත්තේය. පොත-පත කිය­වද්දි, වල­පනේ හා ඒ අවට ගම්මා­න­වල ජන­තා­වගේ අතීත තොර­තුරු අසා දැන­ග­නිද්දි ඔහුට අතීත විරු­වන් ගැන ඇති වූයේ අභි­මා­න­යකි. තම සහෝ­දර ජන­තාව වෙනු­වෙන් කුමක් හෝ කළ යුතු­යැයි දකු‍ණෙන් පැමිණි ඔහුට සිතිණි. ‘දුප්ප­ත්කම නිසා‘, ‘දණ්ඩ නීතිය‘, ‘මද්දුම බණ්ඩාර‘, ‘වල­පනේ රණ හඬ‘ ආදි වශ­යෙන් වේදිකා නාට්‍ය කිහි­ප­යක් කර තිබුණු මුනි­දාස වල­පනේ අභි­මා­නය ගැන චිත්‍ර­ප­ට­යක් ගැන කර­න්නට සිතු­වේය.

එය භාර­ධුර කාරි­යකි. වැඩේ සිතු තරම් ලෙහෙසි නැත. ඒ වන විට ඔහුගේ වයස හැට දෙකකි. ඔහු සිය බාල පුතුට විඩියෝ කැම­රා­වක් අරන් දුන්නේය. පුතු අශේන් ද සින­මාව ගැන දන්නා දෙයක් නැත. එහෙත් තාත්තාගේ උත්සා­හ­යට එක් වීමට ඔහු ඉටා­ග­ත්තේය. වල­පනේ සට­නට පිට­ප­තක් නැත. සියල්ල තිබුණේ මුනි­දා­සගේ සිතේය.

ඔහු එක්ද­හස් අට­සිය දහ­අටේ අර­ග­ල­යට පණ දුන් උඩ­මා­දුර, යටි­මා­දුර, බොල­ග­න්දා­වෙල, පර­ග­හ­අ­රාව, ජන­ප­දග මඩුල්ල ආදී ගම්මා­න­වල චිත්‍ර­ප­ටයේ රූගත කිරීම් කර­වීය. වෙල්ලස්ස ගම්වල අදත් එදා විරු­වන්ගේ පර­ම්ප­රා­ව­ලින් පැවත එන්නෝ සිටිති. මුනි­දාස ඒ ගැමි­යන්ගේ අභි­මා­නය නඟා­සි­ටු­ව­න්නට සිතු­වේය. තිබ්බො­ටු­මුල්ල පන්සලේ ලොකු හාමු­දු­රු­වෝද මුනි­දා­සගේ චිත්‍ර­ප­ටයේ රඟ­න්නට ආහ. රංග­න­වේ­දය ගැන හෝ සින­මාව ගැන මෙලෝ හස­රක් නොදන්නා ගැමියෝ තම චිත්‍ර­ප­ට­යට ඕනෑ ආකා­ර­යෙන් හසු­රු­වා­ග­න්නට මුනි­දා­සට පුළු­වන් විය. වල­පනේ හටන පණ­ගැ­නුණේ එලෙ­සිනි. ගැමියෝ දෙසී­යක් පමණ මෙහි රඟ­පැහ. කාට කාටත් සුළු දෙයක් හෝ කර­න්නට තිබිණි.

“මට මේ චිත්‍ර­ප­ටය කරන්න වැය වුණේ රුපි­යල් තිස්දා­හයි. අපි ගමන් ගිය ත්‍රිරෝද රථ රියැ­දු­රුත් පහු­වදා සෙට් එකට ආවේ එයාගේ පවු­ලේම අය එක්ක­ගෙන. හැමෝම හරිම උන­න්දු­වෙන් රඟ­පෑවේ. මගේ බිරිය හා දරුවෝ මේකේ රඟ­පෑවා. මගේ බාල පුතා කැම­රා­ක­ර­ණය කළේ. ඔහු ගස් උඩ නගි­මින් රූගත කළේ. සංස්ක­ර­ණය කළෙත් ඔහු­මයි. දැන් අපට ප්‍රොජෙ­ක්ට­ර­යක් තියෙ­නවා.

ඒක අර­ගෙන දුන්නේ බිරිය. දැන් දර්ශ­න­වාර කිහි­ප­යක්ම කර තිබෙ­නවා. කැලණි විශ්ව­වි­ද්‍යා­ලයේ ආචා­ර්ය ­ම­හා­චා­ර්ය­වරු, විශේ­ෂ­යෙන්ම ඉලේකා මිස් නැත්නම් අපි ගැන දන්නේ වල­පනේ අයම පම­ණයි. ඒ වගේම වල­පනේ ප්‍රාදේ­ශිය ලේක­ම්තුමා ඇතුළු බොහෝ අය අපට උදවු කළා. ඌව වෙල්ලස්ස අර­ග­ල­යට වසර දෙසී­යක් පිරීම නිමි­ත්තෙන් පැවැති උත්ස­ව­යේදි අපට ජනා­ධි­පති සම්මා­නය ලැබුණා. කැල­ණිය විශ්ව විද්‍යා­ල­යෙන් අප ඇග­යී­මට ලක් කළා. මේ චිත්‍ර­ප­ටය අර­ගෙන ලංකාවේ ඕනැම තැන­කට යන්න අප සූදා­නම්. මෙය නැරඹූ අය අපට බොහෝ යහ­පත් ප්‍රති­චාර දක්වා තිබෙ­නවා. ඔවුන්ගේ අගය කිරීම නිසාම මම මේ චිත්‍ර­ප­ටයේ දෙවන කොට­සත් කරන්න හිතා­ගෙන ඉන්නේ.”

ඔහු කුඩා මිනි­සෙකි. එන­මුදු ඔහුගේ හිත හයිය ය. ඔහුට තම රට ගැන රටේ අභි­මා­නය ගැන මෙන්ම අතීත විරු­වන් ගැන අභි­මා­න­යක් ඇත.

වල­පනේ සටන අපූ­රුය. ඒ අපූරු යැයි යළි යළිත් කිය­න්නට සිතුණේ චිත්‍ර­ප­ටය නැර­ඹි­මෙන් පසු ලද රසය මුල් කර­ගෙ­නය. මේ චිත්‍ර­ප­ටයේ ඇතැම් නළුවෝ වෘත්ති­යෙන් ආර­ක්ෂක සේවයේ නියුතු වුවෝය ඇතැ­මෙත් ගුරු­ව­රුය. ඇතැ­මෙක් රාජ්‍ය සේවයේ විශ්‍රා­මි­ක­යෝය. ඇතැ­මෙක් ගමේ රා පොළේ සිටි­න්නෝය; ගොවි­යෝය. විවිධ තරා­ති­රමේ මිනි­සුන් එකට එක් කර­මින් නිමැ­වුණ ‘වල­පනේ සටන‘ ලාංකික සිනමා ක්ෂේත්‍රයේ නව පිටු­වකි. විචා­ර­ක­යන් බොහෝ දේ කිය­න්නට පුළු­වනි. එහෙත් ලංකාවේ ප්‍රථම වරට සිදු කරන ලද මේ චිත්‍ර­ප­ටය ගැන මෙන්ම මේ නිමැ­වු­ම්කරු ගැනද මීට වඩා කතා­බ­හක් අව­ශ්‍යව ඇත.

ඡායා­රූප - තුෂාර ප්‍රනාන්දු



from silumina sithmalyaya

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();