ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීම පිණිසය. ඒ ජපානයේ සිටය. ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘ඉකසුචී’ නෞකාවේ පැමිණි ඔවුන්ගේ සුහද සංචාරයට මෙරට දායකත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවය.
සාමාන්‍යයෙන් සාගරයට සම්බන්ධ වූ විවිධ ආරක්ෂක කණ්ඩායම් මේ අයුරින් එක් එක් රටවල්හි සංචාරය කරයි.
‘ඉකසුචී’ නෞකාව හම්බන්තොට වරායට සේන්දු වූයේ පසුගිය 15 වැනිදා ය. නෞකාවේ මෙහෙයුම් භාර නිලධාරි වශයෙන් කටයුතු කළේ නාවික කපිතාන් රොයොකෝ ඉසුමා මහත්මියයි. එලෙස නෞකාවක් බාරව කාන්තාවක කටයුතු කිරීමද විශේෂත්වයකි. මෙය නෞකාවේ කාර්ය මණ්ඩලයෙන් සැලකිය යුතු පිරිසකගේ ප්‍රථම ලංකා ගමනය විය.
එවැනි ආරක්ෂිත නෞකාවන් සාමාන්‍යයෙන් පැමිණෙන්නේ ආරක්ෂාව වෙනුවෙන් යමක් උගැන්මටය. නැති නම් උගනීමටය. පිරිස හම්බන්තොට ධීවර වරාය අසලට පළමුවෙන්ම ගමන් කළහ. ධීවර වරායෙන් ඔබ්බෙන් වූ වෙරළ තීරය සම්පූර්ණයෙන්ම කුණු ගොඩකි. දේශීය සංචාරකයන් ගෙනැවිත් දමා තිබුණු වතුර බෝතල් සිලි සිලි මලු ඇතුළු බොහෝ නොදිරන අපද්‍රව්‍ය අවට ප්‍රදේශයේ අපායක් නිර්මාණය කර තිබිණි. ඒ දෙස මඳ වේලාවක් බලා සිටි ජපාන කපිතාන්වරිය තමන් සමඟ පැමිණි 50කට අධික නිලධාරීන් සහ සෙසු නිලයන් ඇමතුවාය.
“ලංකාව ලස්සන රටක්... ඒ රටේ ලස්සන තියාගන්න අපට පුළුවන් දෙයක් කරලා යන එකයි හොඳම දේ... අපි මේ වෙරළ සුද්ද කරමු.’
ඇය ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවටද ආරාධනා කර සිටියාය. පිරිස වහාම වෙරළ තීරය සුද්ද පවිත්‍ර කිරීම ඇරැඹූහ. නොහික්මුණු මිනිසුන් වෙරළ තීරය පුරා විසි කර දමා තිබූ අපද්‍රව්‍ය සියල්ලම මේ පිරිස එකතු කළහ. ට්‍රැක්ටරයක් ගෙන්වා ගෙන මේ අපද්‍රව්‍ය සියල්ල පැටවූහ.
දියුණු පරිකල්පනාවක් සහිත මේ විශ්වීය මිනිසුන් අපේ දූපත් වාසීන්ට හැදෑරීම සඳහා පාඩමක් නොව පාඨමාලාවක් ඉතිරි කර ගොස් තිබුණේ එසේය.
එම තීරයේ දරුණු ලෙස ඛාදනය වී තිබිණි. වෙරළ තීරය දුටු ඔවුහු එම වෙරළ තීරය ඛාදනය වීව වැළැක්වීම සඳහා උපරිම ක්‍රියා මාර්ග ගන්නා ලෙසද ඉල්ලා සිටියහ. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සියලු වගකිව යුතු අයගේ ඇස් ඇරිය යුතු බවද ඔවුහු පෙන්වා දුන්හ.
‘සාගර සම්පත අපට නොපෙනන දෙයක්, එසේ වුණත් අපේ වෙරළ තීරය ඛාදනය වුණාට පසුව තමයි අපට මේ විපත ගැන තේරෙන්නෙ, ඒක නිසා දැන්ම මේ කටයුත්ත ගැන අවධානය යොමු කරන එක ඉතාම වැදගත්,
‘ලංකාව වගේ සංචාරකයන් වැඩි අවධානයක් යොමු කරන රටක වෙරළ තීරය විතරක් නෙමෙයි පරිසරයම අපද්‍රව්‍යවලින් තොරව තියා ගන්න එකයි වැදගත්ම දේ’ කපිතාන් රොයොකෝ ඉසුමා මහත්මිය පෙන්වා දුන්නාය.
අප අපගේ රටේ වටිනාකම දන්නේ නැත. එවන් රටක ජීවත් වන අසංවර මිනිසුන්ට පරිසරය රැක නොගැනීමේ විපාකය නුදුරේදීම අත් විඳින්නට සිදු වනු ඇත.
අප අවට පරිසරයේ විශ්වීය වටිනාකම පිළිබඳ ප්‍රායෝගික පාඩමක් උගන්වා ගිය ජපාන දූත පිරිස ප්‍රදේශයේ ජනතාවගේ පැසසුමට හා ගෞරවයට ලක් විය. එහෙත් ඒ පැසසුම හෝ ගෞරවයේ කිසිදු ප්‍රායෝගික වටිනා කමක් නැත. අප පාඩම් ඉෙගනගන්නා ජාතියක් නොවේ.
මුහුදු වෙරළේ ටොන් එකකට ආසන්න ප්ලාස්ටික් හා පොලිතින් තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිනපතා එකතු කරනු ලබයි.
මේ අපරාධයට ජීවිත කාලය තුළ අපි එක් වරක් හෝ වගඋත්තර කරුවන් වී නැත්තෙමුද? හදවතට තට්ටු කර අප අපෙන්ම ප්‍රශ්න කරගත යුතුය.
from silumina sithmalyaya
0 Comments