මේ රට රැකගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කළ කැප කිරීම් මහත්ය. මහා වාර්ගික යුද්ධයක් අවසන් කළ මේ වික්‍රමාන්විත පිරිස තවමත් මේ රටේ ජීවිතය වෙනුවෙන් කරන මෙහෙයුම් හමාර කර නැත. සයුර වටා ආරක්ෂා තර කිරීමට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට මෙරට සංවර්ධන ව්‍යාපෘති මෙන්ම සාගරය වටා ගොඩබිම, සත්ත්ව ප්‍රජාව සුරැකීමේ මෙහෙයුමක නිරතව සිටී. 2018 වසරේ දී පමණක් මියයෑමට ආසන්න සතුන් 10,000කට ආසන්න ප්‍රමාණයක් බේරාගැනීමට සමත්ව ඇත.
දියේ ගිලෙමින් සිටි සතුන් මෙන්ම ගංවතුර ඇතුළු ජල ගැලීම්වලට ලක්ව දින ගණන් ආහාර නැව සිර වී සිටි සතුන් එලෙස බේරාගැනීම විශේෂත්වයකි. පසුගිය දෙසැම්බර් මාසයේ යාන්ඔය ප්‍රදේශයේ සිදු වූ විශාල ජලගැල්මට හසුව සිටි වන සතුන් රැසක්ම ඔවුහු නිරුපද්‍රිතව බේරාගත්හ. කළුතර සහ රත්නපුර ප්රදේශවලදීද එවැනිම මෙහෙයුමක ඔවුහු නිරත වූහ. බේරාගත් සතුන් අතර වන අලි, මුවන්, වඳුරන්, ඉත්තෑවන්, සර්පයන් ඇතුළු සත්ත්ව විශේෂ රැසක් වෙති.
ශ්‍රී ලංකාවේ කැස්බෑවන් බිත්තර දමනු ලබන සෑම වෙරළ ප්‍රදේශයකම නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතීන් ක්‍රියාත්මකය. විශේෂයෙන් දකුණු සහ නැගෙනහිර මෙන්ම ගිනිකොන දිග වෙරළ තීරයේ ඔවුහු එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරති. පසුගිය දෙවසර තුළ කැස්බෑ පැටවුන් 7,000ට වැඩි සංඛ්‍යාවක් සංරක්ෂණයෙන් පසු මුහුදට මුදාහැර තිබිණි. මේ ව්‍යාපෘති සඳහා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යටතේ පුහුණුව ලද නාවිකයන් යොදවා තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව කඩොලාන සිටුවිමේ ව්‍යාපෘති රැසක් කලපු හා කඩොලාන පරිසර පද්ධතීන් ආශ්‍රිතව ක්‍රියාත්මක කරගෙන යති. විශේෂයෙන් උතුරු, උතුරු මැද, වයඹ සහ ගිනිකොන නාවික ප්‍රදේශ ආශ්‍රිතව එම වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක කරමින් පවති.
වර්ෂ 2015 අග භාගයේ සිට 2018 අග භාගය අතර කාලය තුළ ශ්‍රී ලංකාව පුරා කලපු ආශ්‍රිතව ඔවුන් සිටවු කඩොලාන පැළ ප්‍රමාණය ලක්‍ෂය ඉක්මවා ඇත. තවද නාවික හමුදාව, සිවිල් සංවිධාන සහ ආයතන එක්ව මුහුදු තීරයන්හි කොරල් පර නැවත වගා කිරීමේ ව්‍යාපෘති අරඹා තිබේ.
පසුගිය 2017 වසරේ කෝකිලායි ප්‍රදේශයට අයත් කෝක්කුතුඩුවායි මුහුදු ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමලය, රවුන්ඩ් දුපතට සහ කෙවුලියා තුඩුව අතර වූ මුහුදු ප්‍රදේශයේ ගසාගෙන යමින් සිටි වන අලින් කිහිප දෙනෙකු බේරාගැනීමට නාවික හමුදාව සමත් විය.
යාන් ඔය ජලාශය ඉදි කිරීමේ කටයුතු ක්‍රියාත්මක වීමෙන් පසු ඒ ආශ්‍රිතව සිටි සත්ත්වයන් බේරාගැනීමේ මෙහෙයුම සඳහා ද වන ජිවි දෙපාර්තමේන්තුවට නාවික හමුදාව සෘජු දායකත්වයක් සැපයීය. එහිදී ඔවුහු එම පරිසර පද්ධතිය තුළ ජීවත් වූ උරගයන්, කෘමින් ඇතුළු වන සතුන් විශාල ප්‍රමාණයක් බේරාගත්හ.
සාගරික සම්පත් මෙන්ම සත්ත්ව සම්පතෙහි වටිනාකම් හඳුනාගනිමින් නාවික හමුදාව පාසල් ළමයින්, සිවිල් ප්‍රජාව හා නාවික පුද්ගලයන් ඉලක්ක කොටගෙන දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරති. එමඟින් සාගරික සම්පත සහ සත්ත්ව සම්පත සුරැකීම සඳහා සාමාජය නැඹුරු කරවීමට මහඟු පිටිවහලක් සැපයෙනු ඇත.
from silumina sithmalyaya
0 Comments