ජයග්‍රහණයේ ඉඩෝරයට හසුවී දැඩි පීඩාවට පත්ව සිටි සී.ආර්.ඇන්ඩ් එෆ්.සී.ක්‍රීඩා සමාජය උත්සාහක දිනුම් වර්ෂාවකින් යුද හමුදා ක්‍රීඩා සමාජය තෙමා දමා ලකුණු 53-33කින් අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.
පෙරේදා පස්වරුවේ සී.ආර්.පිටියේ පැවැති මේ තරගයේ ජයග්‍රහණය සුපිරි හතරේ වටයට සුදුසුකම් ලැබීම සඳහා අතිශය තීරණාත්මක වූ අතර පසුගිය සති කිහිපය තුළ පෙරළිකාර දස්කම් දක්වමින් සිටි යුද හමුදා පිල ආරම්භයේ සිටම මෙල්ල කරගත් සී.ආර්.ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් අටක්ම වාර්තා කළහ. ඉන් 5ක්ම ගෝල බවට පත්වූ අතර එම ලකුණු සංඛ්‍යාවට දඬුවම් පහරක් ද එක්විය. සී.ආර්.පිලේ ක්‍රීඩා විලාශයෙන් අන්දමන්ද වූ යුද හමුදා පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝල් 4ක් සහ උත්සාහක දිනුමක් පමණි.
තරගයේ ආරම්භයේදීම 55 වැනි තත්ත්පරයේදී පන්දුව රැගෙන පැති සීමා ඉර ආසන්නයෙන් ප්‍රතිවාදී සීමාව වෙත දිව ගිය ජනිඳු ඩිල්ෂාන්ගෙන් පන්දුව ලබාගත් රීසා රෆායිඩීන් සී.ආර්.පිලේ පළමු උත්සාහක දිනුම තැබීමට සමත්විය. එහෙත් ඊට මිනිත්තු 5කට පසුව සුදාරක දික්කුඹුර තැබූ උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 5-5කින් සමකර ගැනීමට යුද හමුදා පිල සමත්විය.
ඉන් පසුව දැඩි ආරක්ෂක වළල්ලකින් ශක්තිමත්ව තරගයට පිවිසි යුද හමුදා පිලේ සීමාවට පිවිසීම දුෂ්කර කාර්යයක් වූවත් එම ආරක්ෂක වළල්ල බිඳ දමා ඉදිරියට දිව ගිය ශෙමාල් වීරසේකරගෙන් පන්දුව ලබාගත් චමෝද් ප්‍රනාන්දු තැබූ කදිම උත්සාහක දිනුමකින් ලකුණු 10-5කින් පෙරමුණ ගැනීමට සී.ආර්.පිලට හැකිවිය. ඉන් අනතුරුව තරගයේ පාලනය සියතට ගත් සී.ආර්.පිල ඕමල්ක ගුණරත්න පිරිනැමූ පන්දුවෙන් රීසා රෆායිඩීන් සිය දෙවැනි උත්සාහක දිනුමත් තැබීම නිසා ලකුණු 17 දක්වා ඉදිරියට ගියේ එම උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කිරීමට ස්ටීවන් සෙල්වරාජ් සමත්වීමත් සමගය.
ඉන් නොනැවතුණු සී.ආර්. ඊට මිනිත්තු කිහිපයකට පසුව කෙවින් ඩික්සන් තැබූ අනගි උත්සාහක දිනුමක් ස්ටීවන් සෙල්වරාජ් ගෝලයක් බවට පත් කිරීමෙන් ලකුණු සංඛ්‍යාව 24-5ක් ලෙස ඉහළ දමාගත්තේ යුද හමුදා පිලට දැඩි අභියෝගයක් එල්ල කරමිනි. මොහොතකට පසුව සුදාරක දික්කුඹුර සිය දෙවැනි උත්සාහක දිනුම තබමින් යුද හමුදා පිලේ පීඩනය දුරු කළ අතර ඉසුරු මැදගෙදර එය ගෝලයක් බවට පත් කිරීමෙන් යුද හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගියේය.
අනතුරුව කදිම උත්සාහක දිනුමක් තැබූ ධනුෂ්ක තලවත්ත යුද හමුදා පිල ඉහළට ඔසවා තැබුවේ මැදගෙදර එය ගෝලයක් බවට පත් කිරීමෙනි. ලකුණු පරතරය 24-19කින් අඩු කරගැනීමට යුද හමුදා පිල සමත්වූවත් පළමුභාගය නිමාවට පෙර තව දුරටත් ඉදිරියට යාමට සමත්වූ සී.ආර්.පිල ජොයෙල් පෙරේරා තැබූ උත්සාහක දිනුමක් ස්ටීවන් සෙල්වරාජ් ගෝලයක් බවට පත් කිරිමෙන් ලකුණු සංඛ්‍යාව 31-19කින් ඉදිරියට රැගෙන ගියේය.
දෙවැනි භාගයේ ආරම්භයේ සිටම දෙපිලම තරගයේ පාලනය සියතට ගැනීමට දැඩි උත්සාහයක නිරතවූ අතර ඕමල්ක ගුණරත්න තැබූ උත්සාහක දිනුමත්, තරින්ද රත්වත්තගේ දඬුවම් පහරත් නිසා මිනිත්තු කිහිපයක් ඇතුළත ලකුණු සංඛ්‍යාව 39 දක්වා ඉහළ දමාගත් සී.ආර්.පිල තරගයේ පාලනය සියතට ගත්තේය. මොහොතකට පසුව ගැමුණු චේතිය තැබූ අගනා උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළ තරින්ද රත්වත්ත සී.ආර්.පිල ලකුණු 46-19කින් ඉහළට ඔසවා තබමින් යුද හමුදා පිල පීඩනයට හසු කර දැමුවේය.
ඊට මිනිත්තු කිහිපයකට පසුව නාලන් ප්‍රේමනාත් තැබූ උත්සාහක දිනුමත්, අවසන් මොහොතේ චමීර සිල්වා තැබූ විශිෂ්ට උත්සාහක දිනුමත් ගෝල බවට පත් කිරීමට ගයාන් සාලින්ද සමත්වූවත් සී.ආර්.පිලේ අටවැනි උත්සාහක දිනුම වාර්තාවීමත් සමග ඔවුන්ගේ පරාජය තහවුරු විය.
මහනුවරින් උත්සාහක දිනුම් 9ක්
උත්සාහක දිනුම් 4කින් සිය කණ්ඩායම වර්ණවත් කළ ෆුල් බෑක් ක්‍රීඩක තිළිණ විජේසිංහ නාවික හමුදා ක්‍රීඩා සමාජය සමග පෙරේදා නිත්තවෙල පැවැති තරගයෙන් මහනුවර ක්‍රීඩා සමාජයට ලකුණු 63-31ක ජයක් හිමිකර දීමට සමත්විය. තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 28-14කින් පෙරමුණ ගත් මහනුවර පිල තරගය පුරා උත්සාහක දිනුම් අටක් සහ පැනල්ටි ට්‍රයි පහරක් රැස් කළ අතර නැවියන්ට ලබා ගත හැකිවූයේ ගෝල් 3ක් සහ උත්සාහක දිනුම් 2ක් පමණි.
මහනුවර පිල වෙනුවෙන් ජේසන් දිසානායක, ලවංග පෙරේරා, ධනුෂ්ක රන්ජන් සහ හේෂාන් කල්හාර සෙසු උත්සාහක දිනුම්වලට හිමිකම් කීහ.
නාවික හමුදා පිල වෙනුවෙන් මොහොමඩ් අබ්සාල් උත්සාහක දිනුම් 2ක් තැබූ අතර සාලිය හඳපාන්ගොඩ, බුද්ධිම පියරත්න සහ චතුර සෙනෙවිරත්න උත්සාහක දිනුම බැගින් තැබූහ. තිළිණ වීරසිංහ උත්සාහක දිනුම් දෙකක් ගෝල බවට පත් කළේය.
සී.එච්.පිල ජය ගනී
මේ අතර පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 38-25ක ජයක් වාර්තා කිරීමට සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත්විය. පොලිස් පිටියේ පෙරේදා පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 18-14කින් පෙරමුණ ගැනීමට පොලිස් පිල සමත්වූවත් දෙවැනි භාගයේදී දැඩි ආක්‍රමණශීලී තරග රටාවක නිරතවූ සී.එච්.පිල තරගයේ වාසිය සියතට ගත්තේය.
සී.එච්.පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝල් 5ක් සහ දඬුවම් පහරක් ඇතුළත් වූ අතර පොලිස් පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝල් 2ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2ක් පමණි.
0 Comments