දේශීය ගොල්ෆ් තරග බිමේ ආධුනික සහ ප්රවීණයන්ගේ දස්කම් මුවහත් කෙරෙන 131 වැනි ශ්‍රී ලංකා ආධුනික ගොල්ෆ් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට එම්.යූ.චානක පෙරේරා සමත්වෙයි. කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා පිටියේ පසුගියදා පැවැති මේ තරගාවලියේ දී ජී.පී.සිසිර කුමාර පරාජය කරමින් 24 හැවිරිදි චානක පෙරේරා පිරිමි ශූරතාව දිනාගනිද්දී මෙරට ගොල්ෆ් තරග බිමේ වර්තමානයේ විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙස සැළකෙන ටානියා බාලසූරිය කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ කයිලා පෙරේරා පරාජය කරමිනි.
දෙස් විදෙස් තරගකරුවන් සහභාගි වන ශ්‍රී ලංකා ආධුනික ගොල්ෆ් තරගාවලියේ පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට හිමිවූයේ වසර 5කට පසුව වීම විශේෂත්වයකි. මීට පෙර අවසන් වරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු ආධුනික ගොල්ෆ් ශුරතාව දිනාගනු ලැබුවේ 2012 වසරේදීය.
ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ මෙහෙයවීමෙන් පැවැති මේ තරගාවලිය ලොව පැරැණිතම දෙවැනි ගොල්ෆ් තරගාවලිය ලෙස සැළකෙන අතර යුරෝපයේ ප්‍රමුඛතම ටයර් වර්ගයක් වන කොන්ටිනෙන්ටල් ටයර් හී දේශීය නියෝජිත ඩග්ලස් ඇන්ඩ් සන්ස් මෙවර තරගාවලියට අනුග්‍රාහකත්වය ලබාදී තිබිණි.
තරගාවලිය සඳහා දෙස් විදෙස් තරගකරුවන් 100කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ අතර ඊට ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ තායිලන්තය නියෝජනය කරමින් ද තරග කරුවෝ එක්වී සිටියහ. එහි කාන්තා තරගාවලිය සඳහා එක්වූ ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව 30කට අධික විය.
0 Comments