Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තනතුරේ ගෞරවය ආරක්ෂා නොකළ සාක්කිකරුට අධිකරණය අවවාද කරයි

Author(s): 
කුමුදු හෙට්ටිආරච්චි

ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් ලක්ෂ තුන්සිය තිස් නවයක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට පවරා ඇති නඩුවේ පළමු විත්තිකරු වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අධිකරණය තුළදී අතට අත දී පිළිගෙන ආචාර සමාචාර කළ පැමිණිල්ලේ සාක්කිකරුවකු වන පතල් හා භූවිද්‍යා කාර්යාංශයේ සභාපති ඩබ්.එම්.ඒ.එස්.ඉද්දෙවෙල මහතාට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (25) අවවාද කළේ ය.

තම වෘත්තීය ගරුත්වය රැකගෙන මින්පසු අධිකරණය තුළදී කටයුතු කිරීමට වගබලා ගන්නා ලෙසටද විනිසුරු මඩුල්ල අවවාද කර සිටියේ ය.

එම නිලධාරියා අධිකරණයට කැඳවා ඇත්තේ පැමිණිල්ලේ සාක්කිකරුවකු ලෙසට නඩුවේ සාක්කි ලබාදීමට මිස අධිකරණයට පැමිණෙන විත්තිකරුවනට අතට අතදී සතුටු සාමීචියේ යෙදීමට නොවන බව පෙන්වා දෙමින් නඩුවේ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීමක් සලකා බැලූ විනිසුරු මඩුල්ල සාක්කිකරු හට එසේ අවවාද කළේ ය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07කට එරෙහි නඩුව පසුගිය 22 වැනිදා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේ අධිකරණ ශාලාවේ වාඩි වී සිටි අසුනින් නැගිට විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා අසලට ගොස් ඔහුට අත දී ආචාර සමාචාර කළ සාක්කිකරුගේ එම ක්‍රියා කලාපය පැමිණිල්ල කිසිසේත්ම අනුමත නොකරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය.

තමා මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවීමේදී කිසිවිටෙකත් විත්තිකරුවන්ගේ හෝ සාක්කිකරුවන්ගේ තාන්න මාන්න සලකා කටයුතු නොකරන බව පවසා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සාක්කිකරු තම තනතුරේ ගරුත්වය ආරක්ෂා නොකර ලැජ්ජා සහගත අයුරින් කටයුතු කරයි නම් ඒ බව අධිකරණයට පෙන්වාදීම‍ට තමා ද පසුබට නොවන බවද පැවසීය.

තමා එලෙස කටයුතු කළේ නොදැනුවත්කමට බවට සාක්කිකරු ඊයේ (25) අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ ය.

එම සාක්කිකරු දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් සිය නීතිඥවරයා මඟින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෞද්ගලික සංචාරයක් සඳහා ලබන මස 02 සිට 04 වැනිදා දක්වා ඉන්දියාවට යෑමට අවසර ලබා දුනි.

තවද මෙම නඩුවේ තුන්වන සාක්කිකරු වූ ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රොහාන් ‍‍ සෙනෙවිරත්න මහතාට ද ලබන මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා ජපානයට යෑමට අවසර ලැබුණි.

නඩුවේ පැමිණිල්ලේ 53 වන සාක්කිකරු වූ ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂ සුරේෂ් බණ්ඩාර අතපත්තු මහතා රුපියල් ලක්ෂ පහළොව බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනෙකුගේ ඇප මත ඔස්ට්‍රියාවට යාමට අවසර ලබාදුන් විනිසුරු මඩුල්ල අධිකරණය දැන් වූ විට පැමිණිල්ල වෙනුවෙන් සාක්කි ලබාදීමට අධිකරණය හමුවේ පෙනී සිටීමට අවවාද කෙරුණි.

සාක්කිකරුවන්ගේ විදේශගතවීම සඳහා කරන ලද ඉල්ලීම පිළිබඳ සලකා බැලීම සඳහා මෙම නඩුව ඊයේ (25) දින කැඳවුණු අතර විත්තිකරුවනට ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටීම අනවශ්‍ය බවට අධිකරණයෙන් දන්වන ලදී.

ඒ අනුව නඩුව යළි මෙම මස 31 වැනිදා කැඳවේ.

සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();