Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පන්දු යැවීමේ පරීක්ෂණයට අකිල චෙන්නායි යයි

ෆවුස් මොහොමඩ්

ශ්‍රී ලංකා පිලේ පිටදඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් නීතිවිරෝධී බවට තහවුරු වීමෙන් පසුව අයි.සී.සී.ය මගින් ඔහුට පනවා ඇති තාවකාලික ජාත්‍යන්තර තරග තහනම ඉවත් කරගැනීමේ අදහසින් ලබන පෙබරවාරි මස 2 වැනිදා ඉන්දියවේ චෙන්නායි නුවරදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් නැවත පරික්ෂණයකට ලක් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා පිලේ වඩාත්ම සාර්ථක පන්දු යවන්නකු බවට පත්ව සිටි 25 හැවිරිදි අකිල ධනංජයගේ පන්දුයැවීමේ ඉරියව් නීතිවිරෝධී බවට එංගලන්ත පිලේ පසුගිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී තරග විනිසුරුවරුන් පැමිණිලි කර තිබුණු අතර පසුව ඔහු ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී පන්දු යැවීමේ පරීක්ෂණයකට පෙනී සිටීමට සිදුවිය.

ජාත්‍යන්තර ක්‍රිකට් නීතියට අනුව යම්කිසි පන්දු යවන්නකුට පන්දු යවන අත අංශක 15 ඉක්මවා යා නොහැකි වන අතර අකිලගේ පන්දු යැවීම එම සීමාව ඉක්මවන බව ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී පසුගිය මාසයේ සිදු කළ පරීක්ෂණයෙන් තහවුරු කෙරිණි. ඔහුගේ පන්දුයැවීමේ ඉරියව් නැවත නිවැරැදි කරගැනීමට මේ වනවිට ඔහු පුහුණුවීම්වල නිරතවෙමින් සිටින අතර ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් මේ වනවිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ද වාර්තා වෙයි. ඒ අනුව චෙන්නායි නුවරදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂා කිරීමෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට ඔහුට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.

ඔහු මේ වනවිට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් අන්තර් සමාජ පළමුපෙළ ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින අතර සාර්ථකව දස්කම් දක්වමින් සිටී.

ශ්‍රී ලංකා පිලේ එළැඹෙන දකුණු අප්‍රිකානු සංචාරයට පෙර ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් නිවැරැදි බවට තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුණ වී ඇත. ඒ අනුව ඔහු පෙබරවාරි මස 1 වැනිදා චෙන්නායි නුවර බලා පිටත්වයාමට නියමිත බවත්, රාමචන්ද්‍ර විශ්ව විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත එම පරික්ෂණය නිමාවු සැනින් නැවත ශ්‍රී ලංකාව බලා පැමිණෙනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 5ක් සහ විස්සයි20 තරග 3ක් ඇතුළත්ව පෙබරවාරි 13 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරයට සංචාරයට අකිල සහභාගි කරගැනීමට ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුව වී තිබේ.

එක්දින හා විස්සයි20 තරග බිමේදී මෙන්ම ටෙස්ට් තරග බිමේදිත් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පසුගිය කාලය තුළ විශිෂ්ඨ දායකත්වයක් ලබාදුන් අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් දකුණු අප්‍රිකානු සංචාරයට පෙර නිවැරැදි බවට තහවුරු කරගැනීම මේ වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගමාලාවේදි ශ්‍රී ලංකා පිලට දස්කම් අතරට පිවිසීමට ප්‍රබල සාධකයක් වනු ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();