ගුරු සෙනෙහස
විදුහල්පතිවරයා මාරු වී යන බව ඇසූ දින මා දෑස පෙඟුවේ ය.
ඔහු පාසලට සමු දුන් මොහොතේ ඔහු ගැන මෙන් ම ඔහුගෙන් පාසලට සිදු වූ ඉමහත් සේවාව ගැන වදනක් හෝ කතා කිරීමට කෙනකු නොවීම මගේ හිත තදින් පෑරූ දෙයක් විය. ගමේ කවුරුන් හෝ වෙහෙසුණා නම් ඔහු පාසලේ තව දුරටත් රඳවා ගැනීමට හැකියාව තිබුණු බව මගේ විශ්වාසය විය. ඔහු සිය දරු පවුල සමඟ බඩු ද පටවා ගත් වාහනයක නැඟී ගිය බව ආරංචි වූ මොහොතේ පුංචි මා හිතට ඇති වූයේ දරාගත නුහුණු වේදනාවකි.
අප පාසලට අලුතින් පත් ව ආ කඩවසම් විදුහල්පතිවරයා කෙරෙහි මගේ සිත ඇදී ගියේ ය. මා ඉගෙන ගනිමින් සිටියේ පහළ පන්තියක ය.
කැපී පෙනෙන සිසුවකු වූ මට ඔහුගේ හිත දිනා ගැනීම අමාරු නොවී ය.
ඔහු සිය දරු පවුල හා නතර වූයේ පාසලේ ගුරු නිවසේ ය. ඔහුට පුත්තු දෙදෙනෙක් ද එක් දියණියක් ද වූහ.
විදුහල්පතිවරයා හා අප පවුලේ අය අතර කිට්ටු මිතුදමක් පැවතීම මගේ සතුට වැඩි කරන්නක් විය. මම ඔහුගේ දරුවන් සමඟ ඇසුරට වැටී සිටියෙමි.
පහේ පන්තියෙන් පසු මට වෙනත් පාසලකට යෑමට සිදු විය. එතැන් පටන් විදුහල්පතිවරයා ගේ යම් දුරස් වීමක් සිදු වුව ද ඔහු ඉඳ හිට මා ගැන සොයා බලන බව මට දැනිණ.
විදුහල්පතිවරයා මාරු වී යන බව ඇසූ දින මා දෑස පෙඟුවේ ය. ඔහු පාසලට සමු දුන් මොහොතේ ඔහු ගැන මෙන් ම ඔහුගෙන් පාසලට සිදු වූ ඉමහත් සේවාව ගැන වදනක් හෝ කතා කිරීමට කෙනකු නොවීම මගේ හිත තදින් පෑරූ දෙයක් විය. ගමේ කවුරුන් හෝ වෙහෙසුණා නම් ඔහු පාසලේ තව දුරටත් රඳවා ගැනීමට හැකියාව තිබුණු බව මගේ විශ්වාසය විය. ඔහු සිය දරු පවුල සමඟ බඩු ද පටවා ගත් වාහනයක නැඟී ගිය බව ආරංචි වූ මොහොතේ පුංචි මා හිතට ඇති වූයේ දරාගත නුහුණු වේදනාවකි.
‘අනේ මට සර්ගෙ ඇඩ්රස් එකවත් ඉල්ල ගන්ඩ බැරි වුණා නේ’යි සිතමින් මම ළතැවුෙණමි.
“ප්‍රින්සිපල් සර්ල ගියේ කොහෙද?” මම ගමේ අයගෙන් විමසීමි.
“මොරටුව පැත්තට ගියා කියලයි ආරංචිය” ගම්මු කීහ.
අනතුරු ව කෙටි කලක් මම හිත තද කරගෙන සිටියෙමි. බැරිම තැන තාත්තා ළඟට ගියෙමි.
“තාත්තෙ, මොරටුව තියෙන්නෙ කොහෙද?” මම ඔහු ගෙන් ඇසීමි.
“කොළඹට ටිකක් එහා. ඇයි චූටි පුතේ එක පාරටම මොරටුව මතක් වුණේ?” තාත්තා ඇසුවේ ය.
“ප්‍රින්සිපල් සර්ල මාරුවෙලා ගිහිං තියෙන්නෙ මොරටුවටනෙ. ඉතිං අපි යමුකො බලන්ඩ.”
“හරියකට තැනක් දන්නෙ නැතුව අපියි කියල කොහොම හොයන්ඩද?”
මම ගල් වීමි.
“අපි එයාල ඉන්න දිහෑ දන්නෙ නැති වුණාට අපේ ඇඩ්රස් එක එයාල දන්නවනෙ. කවද හරි එයාල ඔයාට ලියුමක් එවයිනෙ. එතකොට බලමුකො” තාත්තා කීවේ මා සනසන්නට විය යුතුයි.
එතැන් පටන් කාලය ගෙවී ගියේ ය. ඔවුන් ගැන කිසිදු තොරතුරක් නොවී ය. කොහේ දී හෝ ඔවුන් මුණගැසේ යැයි සිතූ බැවින් අනුරාධපුර, කතරගම, මහනුවර වශයෙන් අප ගිය ගමන්වල දී දුටු මහා ජන සමූහයා අතර ඔවූහු සිටිත් දැයි මම විමසිලිමත් වීමි.
මගේ තනිකඩ දිවිය ද හමාර විය. විවාහ දිවිය එළඹියේ ය. කාලයේ වැලිතලාවේ යට ව පැවැති ගුරුවරයා සොයා ගැනීමේ ආසාව විටින් විට මතු ව ආයේ ය. බැරිම තැන මා ඔහු ගැන මුහුණු පොත ඔස්සේ සොයන්නට පටන් ගන්නා විට මා දෙදරු පියකු බවට පත්ව තිබිණ.
පුදුමයකට මෙන් මට එමඟින් විදුහල්පතිවරයා ගේ පුතකු හමුවිය හැකි විය. ඒ වන විට මගේ සිහිනයට වසර හතළිහ පැන තිබිණ.
ඉන් පසු මම විදුහල්පතිවරයා ගේ දරුවන් ගේ උපකාරයෙන් ඔහු සමඟ දුරකථනයෙන් කතා කළෙමි. එතැන් පටන් විටින් විට ඔහුත් මාත් දුරකථනය මඟින් කතාබහේ නිරත වීමු.
ඉන් පසු දිනෙක මම ඔහු හමු වීමට පිටත් ව ගියෙමි. මා ගෙදරින් ගමන පිටත් වූ මොහොතේ සිට ඔහු විටින් විට මා අමතමින් ඒ වන විට මා සිටින්නේ කොහිදැයි විමසුවේ ය. මට ඔහු හමුවීමට මෙන් ම ඔහුට මා හමුවීමට ද බලවත් ආශාවක් තිබෙන බව පැහැදිලි විය.
පැය කිහිපයකට පසු මා ඔහු ගේ නිවෙසට ළංවන විට ඔහු මා අපේක්ෂාවෙන් පෙර මඟට වී බලාසිටිනු පෙනිණ. මා රියෙන් බැස ඔහු ඉදිරියට ගොස් දෙදණ නමන විට ම වහා මවෙත නැමුණු ඔහු මා තරයේ වැලඳ ගත්තේ ය.
ඒ අයුරින් ම මොහොතක් ගෙවී ගියේ ය. අප එසේ බදා වැලඳගෙන සිටියේ අප දෙදෙනා පමණක් නොවේ. දශක ගනණාවක් පුරා පැතිරුණු සුවිශාල අතීතයක් අපේ අත් හතරින් වට වී තිබිණ.
කඳුළු කැට කිහිපයක් මගේ ළය මත වැටෙනු දුටු මම ඔහුගේ මුහුණ දෙස බැලුවෙමි. වියපත් එහි කඳුළු පිරී තිබිණ.
“මගේ ජීවිතේ අන්තිම කාලෙ හරි මගෙ පුතා ආයෙ මට ලැබුණ. දැන් මට හුඟක් සතුටුයි“ කී ඔහු සිය දෑතින් මා දෑත තරයේ අල්ලා ගත්තේ ය. අපි හෙමි හෙමිහිට ඔහු ගේ නිවසට පිය නැඟුවෙමු. ඔහු සිය දෑත ළිහිල් කළේ නිෙවසට පා තැබූ පසු ය.
නිකහැටිකන්ද ප්‍රාථමික විද්‍යාලය පෝෂණය කළ බී. ටී. පීරිස් විදුහල්පතිතුමාණන් ගේ ආයු බෝ වේවා!
නිකහැටිකන්දේ චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.
from silumina sithmalyaya
0 Comments