දශක හයක් මුළුල්ලේ රසිකයන් පිනවූ සිංහල චිත්‍ර කතා වංශ කථාවේ මහා සිත්තරා බන්දුල හරිශ්චන්ද්‍ර අභිනන්දන උලෙළ මේ මස 31 වැනි බ්‍රහස්පතින්දා සවස 4.30 ට කොළඹ මහජන පුස්තකාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. චිත්‍ර ශිල්පී වසන්ත ශ්‍රීනාත් කුරුකුලසූරිය, ප්‍රමුඛ චිත්‍ර ශිල්පීන් පිරිසක් සංවිධානය කරන මෙම උලෙළට මූල්‍ය දායකත්වය දරන්නේ රන්පත් පේපර්ස් අධිපති නිරුන් බුද්ධසිරි ය. මෙම ලිපිය පළ කරනු ලබන්නේ බන්දුල හරිශ්චන්ද්‍ර අභිනන්දන උලෙළ නිමිත්තෙනි.
එය 40 දශකයේ මුල් භාගය විය. අසු පිට නැඟී සන්ධ්‍යා චාරිකාවේ යෙදෙන අයකුට පාර අයිනේ වැලි මිදුලේ ඉරටුවකින් සත්ත්ව රූප අඳින කොලු ගැටයෙක් නිතර දෙවේලේ දැක ගත හැකි විය. ඔහු සිය අසු මඳක් නතර කර මෙම චිත්‍ර දෙස ඕනෑකමින් බලා සිටින්නට පුරුදු වූයේ සැබැවින් ම එම සත්ත්ව රූප සජීවී රූප තරමට ම සමීප වූ නිසා ය. ඔහු මෙම දරුවාගේ හිස අත ගා දරුවාගේ මවට ද කතා කර දරුවාගේ චිත්‍ර අගය කිරීමට අමතක නොකළේ හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් දුටු නිසා ය. එදා අසු පිට නැඟී පාරේ යනෙන අතරවාරයේ චිත්‍ර දෙස බලා සිටියේ සුසන්ත ෆොන්සේකා මන්ත්‍රීවරයා ය. එදා වැලි මිදුලේ චිත්‍ර ඇන්දේ දොම්පගේ බන්දුල හරිශ්චන්ද්‍ර පීරිස් ය. නැතිනම් ලොකු පොඩි හැමදෙනා හොඳින් හඳුනන බන්දුල හරිශ්චන්ද්‍ර ය. දශක හයක් තිස්සේ රසිකයන් පිනවූ සිංහල චිත්‍ර කතා වංශ කතාවේ මහා සිත්තරා යන විරුදාවලියෙන් හැඳින්වෙන බන්දුල හරිශ්චන්ද්‍ර, බොහෝ දෙනකු විසින් හැඳින්වූයේ ‘බන්දුල මාස්ටර්’ ලෙසිනි.
චිත්‍ර ඇඳීමේ උපන් හපන්කම් ඇති බන්දුල හරිශ්චන්ද්‍රයන් පාසල් වියේදීත් සිය ශක්‍යතාව ප්‍රදර්ශනය කළේ වරක් දෙවරක් නොවේ. පාණදුර කෙසෙල්වත්ත ශ්‍රී ජන ධර්මදාන බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ ඉගෙනුම ලැබූ බන්දුල හරිශ්චන්ද්‍ර දිනක් පන්තියේ උගන්වන වේලාවේ පාසල් කළමනාකරුගේ චිත්‍රයක් ඇඳ පන්ති භාර ගුරුතුමියට හසු විය. චිත්‍රය රැගත් ගුරුතුමිය කෙළින් ම ගියේ විදුහල්පති හමුවීමට ය.
එම චිත්‍රය දෙස විමතියෙන් බලා සිටි විදුහල්පතිවරයා බන්දුල දරුවාට ඔහු හමුවන ලෙස දැන්වීය. උගන්වන වේලාවේදී චිත්‍රයක් ඇඳීමේ වරදට දඬුවම් කිරීමට කැඳවනු ලැබී යැයි සැවොම සිතුව ද සිදුවූයේ අනෙකකි. එනම් විදුහල්පතිවරයා බී.පී. ජයවර්ධන චිත්‍ර ශිල්පියා මුණගැසෙන ලෙස දන්වමින් බන්දුල දරුවාට ලියුම් කරදාසියක් ලබාදීමයි. බී.පී. ජයවර්ධන චිත්‍ර ශිල්පියා මාපලගම විපුලසාර හිමියන්ගේ ගෝලයෙකි. ඔහු මෙම දරුවාට නොමිලේ චිත්‍ර ශිල්පය ඉගැන්වීමට තීරණය කළේ එවකට 13 හැවිරිදි වියේ පසුවූ බන්දුල හරිශ්චන්ද්රයන්ගේ සහජ හැකියාව අවබෝධ කරගත් බැවිනි.
එම පාසලෙන් ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සමත් වූ ප්‍රථමයා ඔහු වූ නිසාත් ජාතික කලා පෙරමුණේ පැවැති චිත්‍ර තරගවලින් සහ 1956 වසරේ ලංකාදීප පුවත්පත අනුග්‍රහයෙන් පැවැත්වූ බුද්ධ ජයන්ති රිය සැරසුම් තරගයේදීත් ජයග්රහණයන් ලබා පාසලට ගෞරවයක් රැගෙන දුන් නිසාත් බන්දුල හරිශ්චන්ද්රයන්ට කලක් එම පාසලේම ස්වේච්ඡා ගුරුවරයකු ලෙස සේවය කිරීමට අවස්ථාව ලැබිණි. විදුහල්පතිවරයා විසින් මාසික දීමනාවක් ඔහුට පිළියෙල කර දෙනු ලැබූව ද එය ඔහුගේ පවුල නඟා සිටුවීමට ශක්තියක් වූයේ නැත. කුඩා වියේදීම පියා මිය ගිය බැවින් ආර්ථික දුෂ්කරතා රැසක් කරපින්නා ගෙන සිටි ඔහුට වැඩිමහල් සොහොයුරාගේත් නැගණියගේත් මවගේත් ජීවිත සුරක්ෂිත කිරීමේ වගකීම් රැසක් තිබිණි. පුවත්පතකට චිත්රකතාවක් ඇඳීමෙන් වැඩි ආදායමක් උපයා ගත හැකි වේ යැයි ඔහු සිතුවේ එබැවිනි.
‘වීදිය බණ්ඩාර’ කතාව සිතුවමට නඟා ‘දවස’ පත්‍රයට තැපැල් කළ බන්දුල හරිශ්චන්ද්රයන්ට ‘දවස’ පත්‍රයේ විශේෂාංග කර්තෘ පියල් වික්‍රමසිංහ හැරෙන තැපෑලෙන් දැන්වූයේ ඔහු මුණගැසෙන ලෙසට ය. බන්දුල හරිශ්චන්ද්‍ර තරුණයා ඔහු හමුවීමට ගියේ ය. එම අවස්ථාවේදී එක දවසකින් අවසන් වන චිත්‍ර කතා අඳින ලෙස ඔහු බන්දුල හරිශ්චන්ද්රයන්ට දැන්වීය. බන්දුල හරිශ්චන්ද්‍රයන් පානදුර ලලිත කලායතනයේදී දැන හඳුනා ගත් හෙන්රි තෙන්නකෝන් හමුවීමට ගියේ එක දවසකින් අවසන් වන චිත්‍රකතා සඳහා පාදක කර ගත යුතු කතා ගැන දැන ගැනීමට ය. හෙන්රි තෙන්නකෝන් බන්දුල හරිශ්චන්ද්‍ර තරුණයාව කැටුව ලේක්හවුස් ආයතනයට පැමිණ එවකට දිනමිණ පත්‍රයේ කර්තෘ ධූරය හෙබවූ එම්.ඒ. ද සිල්වා හමු විය. එක දවසකින් අවසන් වන චිත්‍රකතා අඳින ලෙස එම්.ඒ. ද සිල්වා ත් ඔහුට පැවසූ අතර ඒ සඳහා ජාතක කතා පාදක කර ගැනීම වඩා සුදුසු බව ඔහුගේ අදහස විය.
1962 අප්‍රේල් මාසයේ සිට බන්දුල හරිශ්චන්ද්‍රයන් චිත්‍ර කතා ශිල්පියකු වූයේ ඒ ආකාරයට ය. ඔහු ‘දිනමිණ’ පුවත්පතට සුලසා ජාතකයෙන් ඇරඹි චිත්‍ර කතා කලාව අඛණ්ඩව ජාතක කතා 38 ක් මුල් කර ගනිමින් ඇඳීම දක්වා දුර ගියේ ය. ඉන්පසු සද්ධර්මරත්නාවලිය සහ සද්ධර්මාලංකාරයෙන් උපුටා ගත් චිත්‍ර කතා 34කින් දිනමිණ පත්‍රය චිත්රණය විය.
“අපි දෙන්නාම දිනමිණ පත්තරේ වැඩ කරන කාලේ එක කාමරේ එකට වැඩ කළේ. මට තිලක් කියලා කතා කළා. මම බන්දුල කියලා කතා කළා. අපි දෙන්නාම ඒ දවස්වල භද්‍ර යෞවනයේ හිටියේ. ඒත් කවදාවත් උඹ, බං මචං වැනි වචනවලින් අපි කතා කළේ නැහැ. ඒකට හේතුව බන්දුලගේ තිබුණු ශික්ෂාකාමී බව. ඔහු හරියට තාපසයෙක් වගෙයි. ඔහු කේන්ති ගත් දවසක් මම කවදාවත් දැකලා නැහැ. ඒ වගේ ම තමයි ඔහු තුළ තිබුණු චිත්‍ර ඇඳීමේ හැකියාව. ඔහු පටන් ගත්තේ ජාතක කතා චිත්රකතාවලට නැඟීමෙන්. අරාබි නිසොල්ලාසයෙන් උපුටා ගත් කතා ඇසුරෙන් කස පහර, සින්බෑඩ් වැනි චිත්‍ර කතා ඇන්දා. මහා භාරත කතා ඇසුරෙන් නල දමයන්ති, සකුන්තලා චිත්රකතාවලට නැගුවා. ග්‍රීක වීර කාව්‍ය ඇසුරෙන් රහස් හස්න, පෙරික්ලීස්, හෙලන් චිත්‍ර කතාවට නැඟුවා. ඒ සෑම අවස්ථාවකදීම ඊට අදාළ පරිසරය, ගෘහ නිර්මාණ, ඇඳුම් පැළඳුම් බන්දුල සිතුවම් කළේ පොතක් හෝ ඒ රටට අදාළ කිසිම දෙයක් බලන්නේ නැතිව. හැබැයි ඔහු ඇඳුපු දෙවල් හරියටම හරි. ඒ කතාවට අදාළ ඇඳුම් පැළඳුම්, පරිසරය හැම දෙයක්ම අඳින්න ඔහුට පුදුම අවබෝධයක් තිබුණා” යනුවෙන් බන්දුල හරිශ්චන්ද්‍රයන් ගැන සඳහන් කළේ ඔහුගේ සමකාලීන මිතුරකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර ය.
ලේක්හවුස් ආයතනයේ දිනමිණ, සිළුමිණ, සතුට යන පුවත්පත්වලට චිත්‍රකතා නිර්මාණය කළ බන්දුල හරිශ්චන්ද්‍රයන් අවුරුදු 13 ක් සේවය කළේ රු. 300.00 මාසික වැටුපට ය. සේවය ස්ථිර කළ පසුව ඔහුගේ වැටුප රු. 1,200 ක් විය. නල දමයන්ති, බේබද්දා, හෙලෝ, කසපහර, සත්වෙනි දවස, පෙතිගෝමර, පෙනිලෝපා, තනි තරුව, මංගලා, නයනා වැනි ඔහු සිතුවම් කළ චිත්‍ර කතාවලින් එදා ලේක්හවුස් පත්තර විචිත්‍රවත් විය. ප්‍රථම වර්ණ චිත්‍ර කතාව ඇඳීමේ ගෞරවය හිමි වන්නේ ද බන්දුල හරිශ්චන්ද්රයන්ට ය. ඒ, දිනමිණ කර්තෘ පදවිය හෙබවූ ධර්මපාල වෙත්තසිංහයන්ගේ කාලයේ සිතුවම් කළ ‘නල දමයන්ති’ චිත්‍ර කතාවය. එම චිත්‍ර කතාව නිසා එදා පුවත්පතේ අලෙවිය ඉහළ ගිය අතර එනිසාම බන්දුල හරිශ්චන්ද්රයන්ට විශේෂ පාරිතෝෂිත මුදලක් ද හිමි විය.
1978 දක්වා ලේක්හවුස් ආයතනයේ සේවය කළ බන්දුල හරිශ්චන්ද්‍ර චිත්‍ර ශිල්පියා ඉන් සමුගෙන මල්ටි පැක්ස් ආයතනයට සම්බන්ධ වූයේ රු. 3000.00ක මාසික වැටුපකට ය. ඒ වනවිට ඔහු ‘සත්වෙනි දවස’ චිත්‍ර කතාව සිළුමිණ පුවත්පතට ඇඳ තිබුණේ කොටස් 12ක් පමණි.
“බන්දුල මා ළඟට ඇවිත් කිව්වා එයා අස් වෙන නිසා සත්වෙනි දවස චිත්‍රකතාව මට දිගටම අඳින්න කියලා. ඊට පස්සේ කොටස් 200ක් විතර, කතාව අවසන් වනතුරු චිත්‍ර ඇන්දේ මමයි. හැබැයි ඒ වගේ ම සිද්ධියක් දිනමිණේ අපි වැඩ කරන කාලේ සිද්ධ වුණා. මම දිනමිණට ඇඳගෙන ගිය ටී.බී. ඉලංගරත්නගේ මංගලා චිත්‍ර කතාව මම කෑලි 10ක් විතර ඇඳලා නැවැත්තුවා. ඊට පස්සේ ඒ කතාව දිගටම ඇන්දේ බන්දුල. මම නවත්වපු කතාව එයා ඇන්දා. එයා නවත්වපු කතාව මම ඇන්දා” යනුවෙන් ප්‍රවීණ චිත්‍ර ශිල්පී තලංගම ජයසිංහ පැවසුවේ සිනාසෙමිනි.
මල්ටි පැක්ස් ආයතනයේ වසර 2ක් පමණ සේවය කළ බන්දුල හරිශ්චන්ද්‍ර ප්‍රවීණ චිත්‍ර ශිල්පියා මද විරාමයක් ලබා නැවතත් 1986 සිට කැමිලස් ප්‍රකාශන ආයතනයට සම්බන්ධ විය. එහි ප්‍රධාන චිත්‍ර ශිල්පී ලෙස කටයුතු කළ බන්දුල හරිශ්චන්ද්‍ර, ‘ස්වර්ණ’ චිත්‍රකතා පත්‍රයේ සංස්කාරක විය.
“බන්දුල 2000 වන තුරු අපි එක්ක වැඩ කළා. මුලින් ම සිත්තර පත්තරේට චිත්‍ර කතා ඇන්දා. මම ස්වර්ණ පත්තරේ පටන් ගත්තේ බන්දුලට කර්තෘත්වය භාරදෙන අදහසින්ම යි. මොකද බන්දුලට චිත්‍ර ඇඳීම වගේ ම අනෙක් අය සමඟ හොඳින් කටයුතු කිරීමේ හැකියාවත් තිබුණා. ආධුනික චිත්‍ර ශිල්පීන් අපේ ආයතනයට පැමිණි විට මම කෙළින් ම භාරදුන්නේ බන්දුලට. ඔහු ඒ අයට උපදෙස් දුන්නේ තාත්තා කෙනෙකු වගෙයි. ඒ හැමෝටම උදව් කළා. ඔහු තුළ තිබුණු සත්පුරුෂ ගති ගැන විස්තර කරන්න මට වචන නැහැ.” යනුවෙන් සඳහන් කළේ කැමිලස් පබ්ලිකේෂන් අධිපති ප්‍රවීණ චිත්‍ර ශිල්පී කැමිලස් පෙරේරා ය.
2000 න් පසුව ඔහු ඉරිදා ලක්බිම පුවත්පතේ කටයුතු කළේ ය. ලේක්හවුස් ආයතනයෙන් චිත්‍ර කතා ලොවට පා තැබූ බන්දුල හරිශ්චන්ද්‍ර ප්‍රවීණ චිත්‍ර ශිල්පියා සිය චිත්‍ර කතා ගමන් මග අවසාන කළේ ද ලේක්හවුස් ආයතනයෙනි. ඒ 2018 වර්ෂයෙනි. ඉන්පසුව ඔහු චිත්‍ර ඇඳීමට නැවතීමේ තිත තැබුවේ ය.
මේ වනවිට චිත්‍ර කතා 170ක් පමණ නිර්මාණය කළ බන්දුල හරිශ්චන්ද්‍රයන් අතින් හැඩවූ පොත් පිටකවර ගණන 1000කට අධිකය. ඔහු නිර්මාණය කළ මුද්දර සහ පෝස්ටර් ප්‍රමාණය ද අති විශාල ය. අම්බලන්ගොඩ කළුවඩුමුල්ලේ ශ්‍රී මහා විහාරයේත් බොරැල්ල ශ්‍රී ලංකාරාමයේත් චිත්‍ර නිර්මාණය වූයේ බන්දුල හරිශ්චන්ද්‍ර ප්‍රවීණ චිත්‍ර ශිල්පියාගේ සුරතිනි. ‘දීපා’ චිත්‍රකතා පොත ඔහුගේ සංස්කරණයෙන් පළ වූවකි. බන්දුල හරිශ්චන්ද්‍රයන් කාටුන් චිත්‍ර ශිල්පියකු නොවුවද ඔහු විසින් අඳිනු ලැබූ කාටුන් සිතුවමක් ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සතුව තිබේ. ඒ ඔහුගේ විවාහ මංගල උත්සවය නිමිත්තෙන් අඳිනු ලැබූ චිත්රයකි.
බන්දුල හරිශ්චන්ද්රයන්ගේ චිත්‍ර කතා අතර ‘සද්දන්ත’ චිත්‍ර කතාව සුවිශේෂී කතාවක් ලෙස හැඳින්විය හැකි ය. ඊට හේතුව රසායනික වෙනස්වීමකට භාජනය වූ කුහුඹු රැළකගේ ශීඝ්‍ර වර්ධනය අළලා මෙම කතාව නිර්මාණය වී තිබීමයි. පසුකාලීනව ඔහු සඳහන් කළේ ඔහු සුද්දකු වී ‘සද්දන්ත’ කතාව නිර්මාණය කළේ නම් සමහර විට එය ‘ඉන්ක්‍රෙඩිබල් හල්ක්’ කතාව විය හැකි බව ය.
බන්දුල හරිශ්චන්ද්රයන්ගේ චිත්‍රකතා අතරින් කීපයක් සිනමාවට ද නැඟිණ. පෙතිගෝමර, සත්වෙනි දවස සහ තනි තරුව කතාව ඇසුරෙන් නිර්මාණය වූ ‘සිටු කුමරියෝ’ ඊට නිදසුන් ය.
‘බන්දුලට රූපරාමු ඥානය ගැඹුරින් ම තිබුණා. ඔහුට කතාව දුන්නාම රූපරාමුවලට කඩා ගන්නේ හරියට චිත්‍රපටයක වගෙයි. ඒ රූපරාමු නාට්‍ය ජවනිකා වගෙයි. අවශ්‍ය වෙලාවට සමීප රූප රාමු, දුර රූප රාමු, මධ්‍යම රූප රාමු වශයෙන් ඇන්දා. දෙබස් ප්‍රාණවත්. නාටකීය ගුණය තිබුණා. ඔහුගේ චිත්‍රකතා ජනප්‍රිය වෙන්න හේතු වුණේ මෙම නාටකීය ගුණ ය. ඔහුගේ චිත්‍රකතාව තුළ තිබුණු සිනමාත්මක බව නිසාම වෙන්න ඇති ඔහුගේ චිත්‍රකතා සිනමාවට නැඟුණේ” යනුවෙන් ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර පැහැදිලි කළේ ය.
කුඩා වියේ පටන් චිත්‍ර කලාවේ පෙළහර පාමින් නොමැකෙන නාමයක් සටහන් කළ බන්දුල හරිශ්චන්ද්‍ර ප්‍රවීණ චිත්‍ර ශිල්පියා දැන් 78 වැනි විය සපුරා සිටියි. අද පානදුර හොරණ පාරේ සිය නිවහනට වී සිය බිරිය කුසුම් මංගලිකා සහ එකම දියණියගේ පවුලේ අය සමඟ විවේකී සුවයෙන් කල්ගත කරන බන්දුල හරිශ්චන්ද්රයන්ට නිදුක් නිරෝගී සුවය සමඟ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.
පුස්තකාල ඡායාරූප පිටපත් කිරීම - රංජිත් අසංක
හර්ෂා සුගතදාස
from silumina sithmalyaya
0 Comments