සිංහල සමාජය වැඩිමනත් නොදන්නා වුවද, ඇය මෙරට පුරාවෘත්තයකි. ජීවිතයේ වැඩි කලක් වර්ණ සහ රෙදිපිළි කලාව සමඟ ගැටුණු ඈ අද තරමක් අසනීපයෙනි. මුහුණට මුණ ගැසී කතා කරන්නට, අවස්ථාවක් නොලද හෙයින්, අද ඔබට බාබ්රාගේ කතාව කියන්නට සිදුව ඇත්තේ, තරමක් වෙනස් අයුරකිනි. කම් නැත. කෙසේ හෝ අපි ‘බාබ්රා’ කියවමු.
කවුද මේ බාබ්රා සන්සෝනි...
‘බෙයාර්ෆුට්’ නම් කලාත්මක ව්‍යාපාරයේ නිර්මාතෘවරිය. එහෙත් කිසිම විටෙක තමන් ව්‍යාපාරිකාවක් යැයි කියන්නට ඇය කැමැති නැහැ. කවුරුන් හෝ තමන්ව එසේ හඳුන්වනවාටත් ඇය අකැමැතියි. ‘මම ආර්ටිස්ට් කෙනෙක්; ඩිසයිනර් කෙනෙක්...’ ඒ තමයි ඇගේ සරල ම සහ ප්‍රියතම හැඳින්වීම.
මොනවද ඇය මේ රටට කර තිබෙන්නේ...
ග්‍රාමීය ආර්ථිකය සහ ගෘහාශ්‍රිත කර්මාන්ත නඟා සිටුවනු වස්, රෙදි පිළි කර්මාන්තයේ විශාල පෙරැළියක් කළ නිහඩ කාන්තාවක්. බෙයාර්ෆුට් වහලෙ යට විකිණෙන්නේ ඈත ගම්මානවල, දිවි ගෙවන අඩු ආදායම්ලාභී හෝ අසරණ අනාථ කාන්තාවන් අතින් වියෙන - ගෙතෙන - මැහෙන බෙයාර්ෆුට් නිර්මාණ.
ඒත් ඉංග්‍රිසි සමාජය හැරුණු කොට ඇය ගැන දන්නෙ, මේ රටේ අතළොස්සක පිරිසක්...
එහෙම වුණේ ඇය සිංහල සමාජයට වැඩිමනත් විවර නොවූ නිසා. කන්‍යාරාමවල දුප්පත් තරුණ - වැඩිහිටි කාන්තාවන් බොහොම ළඟින් ඇසුරු කළත් ඈ ජනමාධ්‍ය ඉදිරියට නො ආ තරම්. ඉතින්, සිංහල පුවත්පත්වල ඇය ගැන ලියැවුණේ ම නැති තරම්. ඒත් බාබ්රාගේ සිතුවිලි හරියට දේදුන්නක් වගේ විචිත්‍රවත්.
එතකොට ඇගේ පවුල් පසුබිම...
ඇගේ නිහඬ බව නිසාම, ඒ තොරතුරුත් හුඟ දෙනකුට රහසක්. බාබ්රාගේ මව් පාර්ශ්වයේ ආච්චි අම්මා, එතල් වැන් ලැන්ගර්න්බර්ග් පවුල 17 වැනි සියවසේ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඕලන්දයේ බෲගස් නගරයේ සිට. එතල් මහත්මිය සහ ඇගේ දූවරු, ‘කලම්බු ලේඩීස් ලීග්’ කාන්තා සංගමය පිහිටුවන්න විශාල දායකත්වයක් ලබා දුන් පිරිසක්. මැහුම් ගෙතුම් ශාස්ත්‍රය, ගම්බද කාන්තාවන්ට කියාදී, ගෙදර සිට ම ආදායමක් ඉපැයිය හැකි ආකාරයයි, ඔවුන් ‘ලේඩීස් ලීග්’ සංගමයෙන් කියා දුන්නේ. ඒ වගේම, මේ කාන්තාවන්ගේ නිර්මාණ විකුණාගන්නට වෙළෙඳපොළක් සකසා දුන්නෙත් මේ ලේඩීස් ලීග් සංගමයමයි. පුංචි බාබ්රා හැමදාම ඇසුවේත් දුටුවේත් තම මව් පාර්ශ්වයේ අය, අන් අය වෙනුවෙන් කුමන හෝ කලාවක් ඔස්සේ වැඩකරන ආකාරයයි.
ඒ කාරණාව තවදුරටත් පැහැදිලි කරනවා නම් මෙහෙමයි...
ආතර් වැන් ලැන්ගර්න්බර්ග් නම් එකල මෙරට සිටි ප්‍රකට පියානෝ වාදකයා, ඉංග්‍රිසි නාට්‍ය නිෂ්පාදකයා, වේදිකා නළුවා, බාබ්රාගේ මවගේ සහෝදරයෙක්. මාමාට වගේම, බාබ්රාගේ මවට තිබුණෙ වෙනස් විදියේ කලා හැකියාවන් සමූහයක්. ආච්චි අම්මාගේ උරුමයක් ලෙස අම්මාට ලැබුණු ගෙත්තම් කිරීමට සහ ඇඳුම් මැසීමට තිබූ අපූරු හැකියාවේ බොහෝ මිශ්‍රණයන්, ඇයටත් ලැබුණෙ ලේ උරුමයක් ලෙසින්. ඉතින්, නටන - ගයන වයන - රඟන, මහන - ගොතන පවුලක, ඇය අඳින සහ විඳින කෙනෙක් වුණා.
එතකොට, බාබ්රාගේ පවුලේ හැම දරුවකුට ම මේ හැකියාවන් තිබුණ ද... මට වගේ ම ඔබටත් හිතේවි...
පැට්‍රික් බාබ්රාගේ ලොකු අයියා. ඊළඟට බාබ්රා. ජෑන්, මේරි සහ සැලී නංගිලා ඊට පස්සෙ. මේ අයට තිබුණෙ වෙනස් වෙනස් හැකියාවන්. මඩකලපුවේ සෙන්ට් ඇන්තනීස් කොන්වන්ට් එකේ කන්‍යා සොයුරියන්, දුප්පත් අසරණ කාන්තාවන් වෙනුවෙන් පවත්වාගෙන ගිය මැහුම් ගෙතුම් පාඩම්වල වැඩවලට උදව් වෙන්න යද්දි, අම්මා එක්ක ගියේ පුංචි බාබ්රාව. කන්‍යා සොයුරියන්ගේ ඒ වැඩවලට, කරුණාවන්ත සහ සමාජශීලී බාබ්රාගේ අම්මා, උදව් කළේ ඉතාම කැමැත්තෙන්. පුංචි කාලෙ පටන් බාබ්රා හැදුණෙ වැඩුණෙ, මෙහෙම දේ නිතර දැකපු පසුබිමක.
පුංචි දරුවෙක් කොහොමද එහෙම අත්දැකීමක් ලබන්නෙ. ඔබට හිතේවි. ඒ කතාවෙ පසුබිම ගැන, ඈ කියා තිබුණෙ මේ විදියට...
ආර්.වයි. ඩැනියෙල් මගේ තාත්තා, ආණ්ඩුවෙ ඒජන්ත හැටියට රට වටේම සේවයකළා. ඒ හැම තැනකම අපි ගියේ පවුලක් හැටියට. එහෙම හිටපු පළාත් අතරින් මාතරට මං හුඟක් කැමැතියි. ඒ, 1939 අවුරුද්ද. දෙවැනි ලෝක යුද්දෙ පටන් ගත්තා. අපි හිටියෙ මාතර. ඒ දවස්වල මං හුඟක් ආසා කළා මාතර කොටුවෙ හිටපු මිසිස් ෆෙල්සිංගර්ගෙ ගෙදරට මියුසික් ඉගෙන ගන්න යන ගමනට. මොකද, බක්කි කරත්තයෙන් යන නිසා. අනෙක් කාරණාව තමයි, ඒ ගෙදරදි ඒ ළමයින්ගේ බර්ත් ඩේ පාටිවලදි අපිට හම්බවෙන රේන්බෝ සැන්ඩ්විචස් සහ පැටිස් නිසා. මොකද, ඒ සැන්ඩ්විච් එකේ පාට පිරිලා.
එතකොට ඈ පාසල් ගියේ...
ඉන්දියාවෙ කෝඩිකනල් කන්‍යාරාමයට. ඇගේ එක් සහෝදරයෙක් සහ සහෝදරියකුත් මේ පාසලේ ඉගෙන ගත්තා. තුන්දෙනාම ගෙදර ගියේ බොහෝ විට අවුරුද්දකට සැරයක්. බාබ්රා, අම්මා - තාත්තා එක්ක රට වටේ යන ගමන්වල යෙදුණෙ එහෙම ගිය නිවාඩුකාලවල. ඈ අන්තිම අවුරුද්ද ඉගෙන ගත්තෙ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ. ලංකාවට ඇවිත් 1947 දී ඈ නැවත එංගලන්තයේ ‘චෙල්සියා ස්කූල් ඔෆ් ආර්ට්’ උසස් පාසලට යනවා. ඒ පස් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාවකට. ජේ.ඩී. පෙරේරා, මහාචාර්ය අමරසිංහ, ඇගේ ශ්‍රී ලාංකේය චිත්‍ර ගුරුවරු.
ඇගේ ජීවිතේ හමුවූ සුවිශේෂීම චරිතය ගැන ඇහුවොත් ඔබ පුදුම වේවි...
ඒ තමයි, මොන්ටිසෝරි අධ්‍යාපනය ලොවට හඳුන්වා දුන්, මාරියා මොන්ටිසෝරි. වයස 11 දි ඇයට මාරියා මොන්ටිසෝරි මුණගැහෙන්නේ ඉන්දියාවේදි. ‘ගණන් හදන්න අකැමැති නම් - කියවන්න අකැමැති නම් චිත්‍ර අඳින්න. ඕන දෙයක් අඳින්න...’ මාරියගේ මේ වදන් ඇගේ පුංචි හදවතේ ගැඹුරෙම තැන්පත් වුණා. ‘ඉතින්, ටිකෙන් ටික ලොකු වෙද්දිත් ලියනවා වෙනුවට මං කළේ අඳින එක. හැම දේම චිත්‍රයට නැඟුවා. ලියනවාට වඩා මට ලේසිවුණේ අඳින එක. මගේ ජීවිතය සම්පූර්ණ වුණේ. මං කවදාවත් නතර නොකරපු ඒ ඇඳීම නිසා... අදටත් මාරියා මොන්ටිසෝරිගෙන් උගත් දේ මගේ ජීවිතය පුරාම භාවිත වනවා...’ පුංචිම කාලෙ දුටු මාරියා ගැන බාබ්රා කියන්නෙ එහෙමයි.
බාබ්රාට, තමන්ගෙ පරපුර ගැන, ඒ උරුමයන් ගැන තිබෙන්නේ මහා අභිමානයක්...
මීට අවුරුදු නවයකට දහයකට විතර උඩදි ඇගේ සැමියා, ඩොක්ටර් ලෙව්කොක්, ඇයව ඕලන්දයේ බෲගස් නගරෙය් ඇති ඉපැරැණි ආසන දෙව්මැදුරකට එක්ක ගියා. ඒ දෙව්මැදුරේ කිරිගරුඩ ඵලකයක ලියා තිබුණු ‘වැන්ඩර් ස්ට්‍රාටන්’ පවුලේ විස්තරය ඇගේ නෙත ගැටුණා. ඇයට දැනුණෙ, ඇගේ ආච්චි අම්මා ඒ මොහොතේ ඇය ළග ඉන්නවා වගේ. ‘සියවස් තුනක් ගතවෙලා. ඒත් මේ අහඹු හමුවීම මොනතරම් අපූරුද...’ ඒ හැඟීම මොන තරම් බරද... ඒ ඵලකය.. දෙව්මැදුර, ඇයට දැනුණේ හරියට, ඒ මොහොතෙ සියවස් තුනක් යා කළ පාලමක් වගේ.
චිත්‍රවල පාට, වියන රෙදිවලට දෙන්න හිතුණු දවස තමයි, මේ බෙයාර්ෆුට් කතාවේ හැරවුම් ලක්ෂ්‍යය...
1958 අවුරුද්දේ දවසක, ‘ගුඩ් ෂෙපඩ්’ කොන්වන්ට් බාර ප්‍රධාන කන්‍යා මව්තුමිය බාබ්රාගෙන් ඉල්ලීමක් කරනවා. ‘අපේ ළමයි හැමදාම ලූම් හතරකින් රෙදි වියනවා. ඒ වුණාට කිසි කලඑළියක් නැහැ. මේකට මොනවා හරි කරන්න පුළුවන්ද...’ ඒ වෙලාවෙ තමයි මේ සුදු පැහැ රෙදි වර්ණ ගන්වන්න ඕනේ කියන සිතිවිල්ල බාබ්රාගෙ හිතට නැඟෙන්නේ. පාට ගළපන්න ඇයට තිබුණෙ අපූරු සියුම් හැකියාවක්. දීප්තිමත් බැබළෙන වර්ණ ඇය රෙදි විවීමේ කලාවට එකතු කළේ, ඉතාම සුන්දර ගැළපීමකින්.
සියල්ල වෙනස් වෙන්නෙ එතැනින්...
වියන රෙදිවලට දුන් වර්ණවලින්, ලස්සන රෙදි නිමවෙලා එනවිට, බාබ්රාට අලුත් සිතිවිල්ලක් එනවා. ‘අපි අලුත් මේස රෙදි හදමු; කර්ටන් බෙඩ් ෂීට් මේ ඕන දෙයක් අපිට පුළුවන් මේ විදියට දීප්තිමත් වර්ණවලින් නිර්මාණය කරන්න...’ එහෙම කියන ඈ වැඩකරන අයට මේ ශිල්පය නොමසුරුව දුන්නා විතරක් නෙවෙයි, ඔවුන්ට මඟ පෙන්වන පහන් ටැඹ වුණා. “හැමවිටම අලුත් දෙයක් හිතන එකයි වැදගත්. ඒකෙන් ඔබේ මොළය වර්ධනය වෙනවා. හැම වෙලාවෙම සතුටින් වැඩ කරන්න“. බාබ්රා රෙදිවියන ළඳුන් දිරිමත් කළේ එවැනි වදන්වලින්.
ඒ විතරක් නෙවෙයි, ඇය රෙදි විවීමේ කර්මාන්තයට සොබා දහමේ ලස්සනත් එකතු කළා...
ඒ වන විටත් කැලෑවල, වන ලැහැබවල, ඈත ගම්මානවල, තේවතු, කඳුවළලු, දිය ඇලි... මෙකී නොකී සෑම තැනකම දැක ඇවිද තිබූ බාබ්රා, ඒ ලස්සන දසුන් රෙදි විවීමේ කලාවට එකතු කළා. අවසානයේ එසේ වියූ රෙදි දෙස බලන විට, කෙනකුට පෙනුණේ, කඳු වළල්ලක සිරි ගත් විවීමේ ක්‍රමයක්. නැතිනම් හෙල්මැලි ක්‍රමයට හෝ තේ වත්තක තට්ටු ක්‍රමයට නිමැවුණු රෙද්දක්. ඒවාට ඈ ‘හිල් ටෙරසස්, යාල සන්ෂයින්....’ වැනි අපූරු නම් දුන්නා. එතෙක් රෙදි පිළි කලාවේ නොදුටු අංගයක් වූ මෙයට, බොහෝ දෙනකුගේ ආකර්ෂණය ලැබුණා. හොඳ ඉල්ලුමකුත් නිර්මාණය වුණා.
1964 Barefoot ව්‍යාපාරය පටන් ගන්න කලින්, ඈ මේ ළඳුන්ගේ නිර්මාණ විකිණුවේ තමන්ගේ බම්බලපිටියෙ ගෙදර තියාගෙන...
ඉහළ සමාජයේ මේ නිර්මාණවලට හොඳ වෙළෙඳපොළක් හැදුණෙ ඇගේ ඒ, පුංචි පියවරෙන්. තවත් තැන් දෙකකට විතර පස්සෙ, අද Barefoot කලාගාරය තිබෙන බම්බලපිටියට, ව්‍යාපාරයක් ලෙස ඔවුන් සංක්‍රමණය වුණා.
චිත්‍රවලට ආදරේ කළාට ඒ තුළම ජීවත් වුණාට 1952 අවුරුද්දේ බාබ්රා විවාහ වුණේ ටෙනිස් ක්‍රීඩකයෙක් එක්ක... මේ ඒ ගැන ඈ තැබූ සටහනක්...
‘ඒ මගේ පළමු විවාහය. මං එංගලන්තයෙ ඉගෙන ගෙන ලංකාවට ආ අලුත හිල්ඩන් සන්සෝනි එක්ක මං විවාහ වුණා. මං හිල්ඩන්ව බඳිනවා කිව්වම, මගේ දෙමවුපියෝ පුදුම වුණා. මොකද, මගේ හිත ගිය හිල්ඩන්, දික්කසාද වෙච්චි කෙනෙක්. මගේ වයස වගේ දෙගුණයක් වැඩිමල්. ඒත් අපි ලස්සන ජීවිතයක් ගත කළා. අපේ පුත්තු දෙන්නා සයිමන් සහ ඩොමිනික්. හුඟක් පුංචි කාලෙත්. ඒ හැම ගමනක් ම ගියේ ඒ දෙන්නව අරන්. අපි හතර දෙනා ඇති තරම් ඇවිද්දා. වැඩිපුරම ගත කළේ යාල. නැත්නම් විල්පත්තු. ත්‍රිකුණාමල වරායේ යාත්‍රා කරන්න, මූදෙ පිහිනන්න.. කැලේ ඇවිදින්න කඳු අතරෙ ඇවිදින්න අපි නොගියෙ කොහෙද... ඇත්තටම අපි හතර දෙනා වැඩියෙන් ම සොබා දහමට ළං වුණේ ඒ ලස්සන අතීතයේදී...’
ඒ වගේම, ඇගේ චිත්‍ර තුළ තිබුණෙ ඇයට ම ආවේණික ශෛලියක්...
ඇගේ චිත්‍ර කලාව විටෙක ගෘහ නිර්මාණ ශිල්පය හා බැඳුණක්. ගහකොළ - වනය - සතා සීපාවා, විතරක් නෙවෙයි, ඈත ගම්මානවල ජන ජීවිතයත් ඇෙග් චිත්‍රයට නැඟුණා. යුගයක් එකලු කළ සශ්‍රීකත්වය මෙන්ම, මෙරට මිනිසුන්ගේ එදා සරල දිවි පෙවෙතත් ඈ, දුටු අයුරින් ම චිත්‍රයට නැඟුවා.
ඔබ දන්නවද, අද දකින්නවත් ඉතිරිව නැති ඒ සමහර දේ ඇගේ පොත්වල පමණක් ඇති බව...
Vihares and Vearandas, Architecture of an Island, යන පොත් දෙකම ඇගේ architectural Drawings වලින් හැඩ වූ වටිනා පොත්. සිය මිත්‍ර ගෘහනිර්මාණශිල්පීන් සමඟ ලංකාවේ ඈත ගම්දනව් පීරමින් ඇය මේ පැරැණි වළව්, පැරැණි ගෙවල්, පැරැණි පල්ලි - පංසල් සොයා ගියේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ. අද ඒ ඇතැම් තැන් ඉතිරිව ඇත්තේ, ඇගේ චිත්‍රවල පමණයි.
ඇය මේ රටේ හෝටල් කර්මාන්තයටත් වෙනසක් එක් කළ කාන්තාවක්...
අපේ රටේ යුගයක් එකලු කළ, ජෙෆ්රි බාවා, ලකී සේනානායක, උල් රිප්‍රෙස්නර් යන ඇගේ මිත්‍ර ගෘහ නිර්මාණ ශිල්පීන් නිර්මාණය කළ සංචාරක හෝටල් බොහෝමයක, ඇඳ ඇතිරිලි, තිර රෙදි නිම වුණේ බාබ්රාගේ හෑන්ඩ් ලූම් වලින්. දීප්තිමත්, ගැළපෙන වර්ණ රටා ඒ හෝටල්වලට එක් කළේ අමුතුම සුන්දරත්වයක්.
ඒ වගේම ප්‍රශ්නවලට විසඳුම් හොයන හැටි, ඈ නිතර පෙන්වුවේ ආදර්ශයක් ම වෙලා...
රටේ නූල් හිඟයක් ඇති වුණේ, බාබ්රා හෝටල්වලට ඩිසයින් කරන ඔය කාලේ. ඇය කළේ තනිව පිටකොටුවට කාර් එක පදවාගෙන ගිහින්, බොම්බයි ලූනු බහාලන ගෝනි මිලදී ගෙන, ඒවා එකිනෙක ලෙහා ගෙන, ඒ ඒ ‘ජූට්’ නූල්වලින් මෝස්තර වියන්න ගැනීම. තවත් අවස්ථාවක, තරාලෙ දෙවැනි වීවින් සෙන්ටර් එක පටන් ගත්විට, එතැනට යන්න පාලමක් තිබුණෙ නැහැ. බාබ්රා පූගොඩට වෙනකල් කාර් එක පදවාගෙන ගිහින්, එතැන් සිට වීවින් සෙන්ටර් එකට ගියේ පාරුවෙන්. දුෂ්කරයි; කරදරයි; නැහැ බැහැ කියලා ඇය ප්‍රශ්න මග හැරියේ නැහැ. ‘පිළියමක් හොයන්න...’ ඇය තමන් එක්ක වැඩ කරන හැමෝටමත් කිව්වෙ ඒ දේ.
1960 දශකය කියන්නෙ, ඒ යාන් හිඟය නිසා ඈ හුඟක් කරදර විඳි කාලයක්...
ඒ කාලය තුළ ඇයට සිදුවුණා, ඩඩ්ලි සේනානායක, එන්.එම්. පෙරේරා, ඩබ්. දහනායක වගේ දේශපාලකයින් හමුවී මේ ප්‍රශ්නය කතා කරන්න. ඒ හැම ගමනක් ම ඇය ගියේ රෙද්ද හැට්ටෙ ඇඳලා, කොණ්ඩ ගෙඩියක් බැඳලා, නියම සිහල කුල කතක් සේ හැඩවීගෙන. ඒ හැම විටෙකම, උත්තර ලැබෙනතුරු ඈ සිය උත්සාහය අත් හැරියේ නැහැ.
වැඩිය ඉගෙන නොගත් අයගේ රැකියාවක් ලෙස සමාජගතව තිබෙන රෙදි විවීමේ කර්මාන්තය ගැන බාබ්රාට තිබුණේ බොහොම අභිමානවත් හැඟීමක්...
රෙදි විවීම සරල නැහැ. එය ඉස්තරම් කර්මාන්තයක්. මොළේ වර්ධනය වන රැකියාවක්. ‘problem solving’ එහෙමත් නැතිනම් ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට ඇති හැකියාව, රෙදි වියන අයගේ සුවිශේෂම දක්ෂකමයි. යාන් බන්ඩලයක් අරන්, නූලෙන් නූලට අදින එකේ පටන් එක බීම් එකකට ගේන එක, අතරමගදි නූල් කැඩුණොත් ගැටුණොත් - පැටළුණත් ආපහු ගැටයකින් සම්බන්ධ කර ගන්න එක... වගේ පියවර ගණනාවක සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. මේ එකක්වත් ලේසි නැහැ. හොඳ ඉවසීමක් වගේම, හොඳ නුවණක් තියෙන්නත් ඕනේ. මේ ප්‍රශ්න විසඳාගෙන නූල් ගොඩකින් කරන මේ විස්කම කරන්න.
බාබ්රා සන්සෝනිට අනුව, වීවින් ශිල්පියකුගේ මොළය පරිගණකයක් හා සමානයි...
ඇය එහෙම කියන ප්‍රබල ම හේතුව තමයි, වැඩිය උගත්කමක් නොවූ කාන්තාවන්, නූල් ගොඩක් හා බැඳුණු ප්‍රශ්න විසදා ගනිමින් ලස්සන ගෙත්තමක් කරන සියුම් විලාසය. තමන්ගේ වියමනට එන හැම බාධකයකටම ඔවුන් තනිව විසඳුම් හොයා ගන්නවා. අඟලට දශමෙට ගණන් හදමින් කරන රෙදි විවීම, සිහිනුවණින් සහ සංයමයකින් කළ යුත්තක්. මොන සමාජ පරිසරයකින් ආවත්, කාන්තාවක් මේ තැනට නංවන එකයි, බාබ්රා කළේ.
ඇය මේ වෙනුවෙන් හුඟක් මහන්සි වුණේ, අපේ කාන්තාවො මැදපෙරදිග යන්න ගත්තු අවධියේ....
තමන්ගෙ දරුවොත් බලාගෙන, ගෙදර වැඩටිකත් කරගන්නා ගමන් ආදායමක් උපයාගන්න අවස්ථාව හදා දෙන්න, බාබ්රා හැම වෙලාවෙම හිතුවා. රෙදි වියන, ඩයි කරන, මහන ගොතන වැඩ හැම දේම අතින් මිස මැෂින්වලින් නොකරන්න, ඒකත් එක හේතුවක්. මැහුම ගෙතුම ලස්සනයි වගේ ම මේවා අතින් කරන තරමට රස්සා වැඩි වුණා. අදටත් මේ බෙයාෆුට් ඇඳුම් සහ නිර්මාණ 80% ක් නිම වෙන්නේ, අතින්.
බෙයාෆුට් අදටත් විශාල ෆැක්ටිරියක් නෙවෙයි...
ඔබ දන්නවද, ෆැක්ටරි කියන වචනයටත් ඇය තරයේ විරුද්ධයි. ඇගේ වචනය, ‘විවීන් සෙන්ටර්ස්’. ඇයට ඉන්නෙ සේවකයොත් නෙවෙයි, ‘ළමයි’. ‘ටාගට්’ මෙහෙ නැහැ. නිදහසේ සුහදව සියලු මැහුම් වැඩ, අතින් කරන ළමයි පිරිසකුයි, අදටත් ඇයට ඉන්නේ.
බාබ්රා, තවමත් වැඩිපුර ඉන්නෙ පිටරට...
1979 හිල්ඩන් සන්සෝනි ඇගේ පළමු සැමියා මිය ගියාට පසු, ඇය විවාහ වන්නේ, ඕස්ට්‍රේලියානු ජාතික මහාචාර්යවරයකු සහ ගෘහනිර්මාණශිල්පියකු වන රොනල්ඩ් ලිව් කොක් සමඟ. ඇය සිය මහාචාර්ය සැමියා සමඟ පිටරට ජීවත් වන විට, ඒ විශ්ව විද්‍යාලවල බොහෝ අවස්ථාවන්ට සහභාගි වුණා. ඇගේ චිත්‍ර, එනම්, architectural Drawing ඇඳීමේ හැකියාව, ඒ තැන්වලදීත් බොහෝවිට උපකාරී වුණා. ඒ නිසාම, ඇය ඇමෙරිකානු සහ එංගලන්ත විශ්වවිද්‍යාලවල පිළිගැනුණු චරිතයක් බවට පත් වුණා. 1970 දි ඇයට ජේ.ඩී. රොකෆෙලර්, ජාත්‍යන්තර සම්මානය පිරිනැමුණා. 1974 - 75 කාලයේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) ක්‍රාෆ්ට් ඇඩ්වයිසර් ලෙසත් කටයුතු කළ ඈ 2001 වසරේ හාවඩ් යුනිවර්සිටියේ දේශකවරියක් ලෙසත් කටයුතු කළා.
බාබ්රා ඇරැඹූ රෙදිපිළි කලාව, අද ජාත්‍යන්තරයටත් ගිය ව්‍යාපාරයක්...
මේස රෙදි, වර්ණවත් රෙදි පිළි, ලස්සන් පුංචි රෙදි, සතුන් කොරියාව, ජපානය සහ එංගලන්තයට යැවෙන බෙයාර්ෆුට් නිර්මාණ අතරින් කිහිපයක්. හය සියයකට ආසන්න කාන්තාවන් පිරිසක් මේ සියල්ල සඳහා දායක වනවා.
1964 ඇරැඹූ බෙයාෆුට් ව්‍යාපාරය, අදටත් මහා පරිමාණව නොවිහිදෙන්නේ ඇයි...
‘පුංචියට තියෙන තරමට වටිනාකම වැඩි නිසා. මේක කලාවත් එක්ක යන දෙයක්. අපි මෝස්තර නිර්මාණ කරන්නෙ අපේ නියමිත වෙලාව අරන්. කස්ටමර්ගෙන් ඉල්ලීම් තිබුණට අපිදෙන්නෙ අපේ යෝජනාවට අනුව, අපිට කරන්න පුළුවන් ලස්සනම දේ. නොගැළපෙන වර්ණ යොදන කිසිවක් අපි බාර ගන්නෙ නැහැ. එකම මෝස්රතරය එකම වර්ණය දිගින් දිගට ම වියන්න ගත්තොත්, වියන කෙනාගෙ හිස කැක්කුම එනවා. ඒ වගේ ම, ඒක ඩිසයින් කම්පැනි එකකට ගැළපෙන්නෙත් නැහැ. ඒක ෆැක්ටරියකට කරන්න පුළුවන් වැඩක්.’ බාබ්රා කියන්නෙ එහෙමයි. ඇගේ කැමැත්ත, කුසලතාවෙන් පිරි මිනිසුන්ට මිස යන්ත්‍ර සූත්‍ර වගේ හිතන පතන අයට නෙවෙයි. වඩුවන්, ගොවීන්, ධීවරයින් වැනි කුසලතා පූර්ණ රැකියා කරන අය, ඇය නිරන්තරයෙන් අගය කළා. හැමෝටම කරන්න බැරි ඒ රස්සා ඈ හුඟක් අගයකළා.
පාටවලට කැමැති බාබ්රා, අදත් බත් පිඟානෙ හොයන්නෙ ලස්සන පාටවල්...
‘මැල්ලුමේ ලස්සන කොළ පාට විනාශ කරන්න එපා. රතු පාට මාළු කරිය... කහ පාට එළවළු... බත් එකට මොන තරම් ප්‍රිය බවක් ගේනවද. අපි ඉස්සරවෙලාම ඒ කෑම එක විඳින්නේ ඇස් දෙකෙන්...’ ඈ නිතරම කියන දෙයක්. කෑම මේසයේ රෙද්ද... ටේබල් මැට්.. මේ හැමදේම ඈ නිර්මාණයකළේත් ආහාර රුචිය ඇතිවන වටපිටාවකට ගැළපෙන වර්ණවලින්.
වයස 80 විතර වෙනකල් බෙයාෆුට් ‘චීෆ් ඩිසයිනර්’ වුණේ බාබ්රා...
1928 අප්‍රේල් 22 දා උපන් ඇගේ වයස දැන් 91 ක්. ගිය දෙසැම්බරයේ ඇය සිය සැමියා සමඟ ලංකාවට ආවෙ පිටරට ඉඳන්. ඇමෙරිකාවෙදි වුණත් ඇගේ කෑම වේලට කැකුළු හාලේ බත් කොළ මැල්ලුම් වැරදුණේ නැහැ. අපේ රටේ වැවෙන පලතුරුයි, ඈ නිතර ආහාරයට ගන්නේ. ඇගේ දීර්ඝායු ලැබීමේ රහස අතරට, චිත්‍ර කලාව වගේම, දේශීය ආහාර රටාවත් එකතු වෙනවා.
ඇගේ ජීවිතයෙන් ඔබට ගන්න පුළුවන් හොඳ ම දේ කුමක් ද...
එකක් දෙකක් නෙවෙයි, ඇගේ ජීවිතය පුරාම තිබෙන්නෙ ආදර්ශය. තමන්ගෙ රටේ දේ අගය කළ දේශීය කර්මාන්තයක් රැක ගත් ඇය තරම් චිත්‍ර ශිල්පිනියක් තවත් නැහැ කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. රටේ පෙහෙකම්හල් වැහිලා යද්දි, වැල්ලවත්ත රෙදි මෝල මිය පරලොව යද්දි, ඈ දේශීය රෙදි විවීමේ කර්මාන්තය අදටත් පවත්වාගෙන යනවා. ඇගේ රෙදිපිළි වර්ණවලින් පොහොසත්; ප්‍රභාවත්. තැඹිලි පාටට ඉතා ප්‍රිය බාබ්රා මැවූ වර්ණ සංකලනවලට සීමාවක් නැහැ.
රට රටවලින් මොනතරම් නම්බු නාම ලැබුවත් ඇයට වටින්නේ මේ Barefoot කලාගාරය එක්ක ඉන්න එක...
ශ්‍රී ලංකාවේ පුරාවෘත්තයක් බඳු බාබ්රා සන්සෝනි පිළිබඳ මේ සටහන තබන්නේ ඉතාමත් ගෞරවයෙන්. ඇගේ චිත්‍ර කලාව, රෙදිපිළි කලාව... ලේඛනය... කාටුන් ශිල්පය.. මීටත් වඩා මේ රටේ නිර්මාණකරුවන් ව්‍යවසායකයන් අතරට යා යුතුයි. බාබ්රාගේ ව්‍යවසායකත්වයේ ආදර්ශය අපේ ව්‍යාපාර ලෝකයට ලබා දිය යුතුයි.
from silumina
0 Comments