පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කරමින් ඇමැති අකිල කියයි
රජයක් විසින් කළ යුතු පාසල්වල ගොඩනැගිලි ඉදිකිරීම් වැනි භෞතික සම්පත් සංවර්ධනය තම කරට ගෙන මිල කළ නොහැකි උදාර සේවයක් කරන පන්නිල ශ්‍රී ආනන්ද හිමියන්ට කරන ගෞරවයක් වශයෙන් රජය වෙනුවෙන් තමා අද මෙම උත්සවයට සහභාගි වූ බවද උන්වහන්සේ සඳහන් කළ පරිදි රටක අභිවෘද්ධියට ප්රමුඛ අවධානය යොමුවිය යුත්තේ අධ්‍යාපනය කෙරෙහි බවද 26දා වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ ඉදිකළ පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ උත්සවයේදී අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
දරුවන්ට නව ලෝකය සමඟ එකට ගමන් කිරීමට හැකිවන පරිදි අධ්‍යාපනය සකස්විය යුතුයි. ඒ සඳහා තමයි වරින්වර ප්‍රතිසංස්කරණ කළ යුත්තේ. අප සමඟ අද මේ එකම වේදිකාවේ සිටින චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිව සිටියදී මට මතකයි 1999 දී එතුමිය විසින් ගෙනාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. එහි ප්‍රධාන ලක්ෂණයක් වුණේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පරිවර්තනයකට භාජනය කිරීමයි. මොන ආණ්ඩුවෙන් වුණත් කරන හරි දේ අප රැකගන්න ඕනෑ. අගය කරන්න ඕනෑ යැයිද ඇමැතිවරයා පැවැසීය.
නව ලෝකය සමඟ එකට ගමන් කරන්න නම් තාක්ෂණය, ඥානය, විද්‍යාව, වෘත්තීය පුහුණුව අවශ්‍යයි. ඒ අනුව අපි විෂයමාලා සංවර්ධනය කරගෙන යනවා. අපි ළඟම පාසල හොඳම පාසල ක්‍රමය හඳුන්වාදුන්නා. ඒ යටතේ හැම අධ්‍යාපන කොට්ඨාසයකම තෝරාගත් පාසල් මේ වනවිට සංවර්ධනය කර තිබෙනවා. පාසල් 50,000 ක සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කළා. ගුරු පුහුණුවට උපාධිධාරින් බඳවාගැනීම කරගෙන යනවා. එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්න පුළුවන් මේ මොන පක්ෂයෙන් කළත් අනාගත දැක්මක් ඇතිව කරන හරි දේ අපි අගය කරන්න ඕනෑ යැයිද කී අධ්‍යාපන ඇමැතිවරයා රජයක් විසින් කළ යුතු පාසල් ගොඩනැගිලි ඉදිකිරීම් වැනි භෞතික සම්පත් වැඩි දියුණු කිරීමේ කාර්යයන් තම කරට ගෙන මේ කරන මහඟු දායකත්වයට පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන්ට කෘතගුණ පූර්වක ස්තුතිය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන බවද පැවැසීය.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත නියංගොඩ විජිතසිරි නාහිමියෝ -
පන්නිල ශ්‍රී ආනන්ද හාමුදුරුවෝ මේ වෙනකොට මේ වගේ පාසල් ගොඩනැගිලි 22 ක් ඉදිකර දී තිබෙනවා. අද විවෘත කළ ගොඩනැගිල්ලටත් ලක්ෂ 250 ක් වියදම් කරලා තියෙනවා. මම හාමුදුරුවන්ගෙන් ඇහුවා කොහොමද මේවා කරන්නේ කියලා. හාමුදුරුවෝ කීවේ මගෙ ළඟ සල්ලි නෑ. මේ සල්ලි එන්නේ විදේශ ධර්ම ප්රචාරක කටයුතුවලදී මුණගැසුණු කල්‍යාණ මිත්‍ර දානපතීන්ගෙන් කියලා. පන්නිල ශ්‍රී ආනන්ද හාමුදුරුවෝ නිසා මුළු ලෝකයේම ඇස් ලංකාවට යොමුවෙලා. සිරිසඟබෝ රජු නිසා ඉතිහාසගතවුණු අත්තනගල්ල, පන්නිල ආනන්ද හාමුදුරුවෝ නිසා නැවතත් ඉතිහාසගත වෙනවා. අත්තනගල්ල රජමහා විහාරය පූජා භූමියක් කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද මෙහදී මතක් කළ යුතු වෙනවා යැයිද විජිතසිරි නාහිමියෝ පැවසූහ.
ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියෝ -
දරුවනේ මම මේ මහල් ගොඩනැගිලි හදන්නේ ඒ දිහා බලාගෙන ආත්ම තෘප්තියක් ලබන්න නොවෙයි. මට ඕනෑ ඔබ හැමෝම ගුණ නැණ දෙකින් පෝෂිත මානව සම්පතක් ලෙස අනාගතයේ මේ රටේ බිහිවුණු දැකීමයි. මම ගුරුභවතුන්ගෙන්ද ඉල්ලා සිටින්නේ ගුරු වෘත්තියේ ගෞරවය රැකගෙන ඔබලාගේ දැනුම කුසලතා උපරිමයෙන් ඒ අරමුණ ජයගන්න කැපවන ලෙසයි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය -
ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියට පාසල් පරිසරය ඉතාමත් වැදගත් වන බවද සිසුන් ඉන්නා ප්‍රමාණයට සෑහෙන ගොඩනැගිලි නැති පාසල් දක්නට ලැබෙන බවද ඒ තත්ත්වය මඟහරවා ගැනීමට අපේ අත්තනගල්ලේ පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් කරන උතුම් මෙහෙවරට නමස්කාර පූර්වකව ස්තුති කරන බවද පැවසුවාය.
බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ, පළාත් අධ්‍යාපන ලේකම් එස්. ජී. විජයබන්දු, ප්‍රා.සභා සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර, පළාත් සභා මන්ත්‍රීන් වන උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, චන්ද්‍රසෝම සරණලාල්, ජනක කුරුප්පු, සන්ධ්‍යා සිරිවර්ධන, අධ්‍යාපන නිලධාරිහුද, පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ මෙම සත්කාර්යය සඳහා මූල්‍යමය දායකත්වය සපයන තායිවානයේ සහ මැලේසියාවේ බෞද්ධ භික්ෂුණින් වහන්සේලා ඇතුළුව ගිහි පැවිදි විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති එම්. එච්. ඩී. කුරුගම්මන මහතා පිළිගැනීමේ කතාව කළේය.
ජයවීර සුගතපාල - අත්තනගල්ල විශේෂ
ඡායාරූප - අත්තනගල්ල විශේෂ
0 Comments