Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඕෂද ලකුණු දහසයි - තරිඳු කඩුලු පනහයි

නිරෝෂාන් ප්‍රියංකර

අන්තර් සමාජ පළමු පෙළ ‘ඒ’ ශ්‍රේණියේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ දෙවැනි සතිය නිමාවනවිටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැක ගැනීමට සී.සී.සී. ක්‍රීඩා සමාජය සමත්ව සිටී.

සුපිරි අට වටය ආරම්භයේදී ජයග්‍රහණ 2ක් සමගින් ඉදිරියෙන් සිටි සී.සී.සී පිල පසුගිය සතියේ පැවැති තරගයෙන් ද්‍රවිඩ සංගම් පිල හමුවේ පළමු ඉනිමෙන් පරාජයට පත්වුවත්, පළමු සතියේදී යුද හමුදාවට එරෙහිව කඩුලු 6ක් ජයක් අත්කරගෙන තිබිණි. මේ වනවිට ඔවුන් තරග 5කින් 3ක් ජයගෙන ලබාඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 64.56කි.

ද්‍රවිඩ සංගම් පිල ලකුණු 59.72ක් සමග දෙවැනි තැනම රැදී සිටින අතර එන්.සී.සී පිල සැරසන්ස් කණ්ඩායම හමුවේ කඩුලු 6කින් පරාජයට පත්වීමෙන් තෙවැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා පහත වැටුණි. එස්.එස්.සී පිල යුද හමුදා කණ්ඩායමට එරෙහිව ලබාගත් ජය හේතුවෙන් තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය. 6 වැනි ස්ථානයේ සිටි සැරසන්ස් කණ්ඩායමට සිවුවැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට හැකිවූ අතර එන්.සී.සී., හලාවත සහ යුද හමුදා කණ්ඩායම් සුපිරි අට වටයේ දී තවමත් ජයග්‍රහණ හිමිකරගෙන නොමැත.

පිතිකරුවන් අතර පෙරමුණේ සිටි හලාවත මේරියන්ස් කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු එම ස්ථානය රැක ගත්තේ පසුගිය සතියේ ලකුණු 343ක් රැස් කරමිනි. ඊට විශිෂ්ට ද්විත්ව ශතකයක් සහ ශතකයක් ඇතුළත් විය. ඒ සමග මෙවර තරග වාරයේ ලකුණු 1000 පසුකළ පළමු පිතිකරු බවට පත්වීමට ද ඔහුට හැකිවිය.

තරග 8කට සහභාගිවූ ඕෂද මේ වනවිට ශතක 6ක් සහ අර්ධ ශතක 3ක් සමග රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1121කි. පසුගිය සතියේ මෙවර තරගවාරයේ සිය දෙවැනි ද්විත්ව ශතකය වාර්තා කළ එස්.එස්.සී පිලේ කෞෂාල් සිල්වා ලකුණු 924ක් සමගින් දෙවැනි තැනට පිවිසි අතර ලකුණු 805ක් සමගින් ප්‍රියමාල් පෙරේරා (කෝල්ට්ස්) තෙවැනි තැන සිටී.

පන්දු යවන්නන් අතර පෙරමුණ ගනිමින් පසුගිය සතියේ කඩුලු 50 සීමාවට පිවිසි සී.සී.සී ක්‍රීඩා සමාජයේ මාලින්ද පුෂ්පකුමාර තවත් කඩුලු 4ක් කඩුලු මල්ලට එක්කරගත් අතර එස්.එස්.සී කණ්ඩායමේ තරිඳු රත්නායක යුද හමුදාවට එරෙහිව කඩුලු 9ක් බිඳ දමමින් කඩුලු 50 සීමාවට පිවිසියේය.

තෙවැනි තැන සිටි රාගම පිලේ අමිල අපෝන්සු (43) සිවුවැනි තැනට දැමූ සැරසන්ස් ක්‍රීඩා සමාජයේ චාමිකර එදිරිසිංහ එන්.සී.සී පිලට එරෙහිව කඩුලු 8ක් දවා ගනිමින් තෙවැනි ස්ථානයට පත්වූයේ කඩුලු 43ක් දවා ගනිමිනි.

අද ආරම්භ වන තරග

එන්.සී.සී - එස්.එස්.සී (පී.සරා)

හලාවත - සී.සී.සී (කෝල්ට්ස්)

ද්‍රවිඩ සංගමය - කෝල්ට්ස් (එස්.එස්.සී)

යුද හමුදාව - සැරසන්ස් (කටුනායක)

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();