මෙරට ඉදිවන ශ්‍රී ලංකා කොරියන් ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ විප්ලවීය හැරවුමක් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ බිහිවන විශාලතම කාර්මික පුහුණු ආයතනය මෙය බව පෙන්වාදෙන ඒ මහතා විවිධ පාඨමාලාවන් හදුන්වාදෙමින් ඉතා ඉහළ තාක්ෂණ ඥානයක් මේ හරහා රටට පිරිනමන බවද මෙය නිපුණ ශ්‍රම හිඟයට දැවැන්ත සහයෝඟයක් ලබාදෙන බවද පෙන්වා දෙයි.
නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පළමුවරට ඉදිවන ශ්‍රී ලංකා කොරියන් ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිරිකිරීම් කටයුතු නිරීක්ෂණ්ය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ඉදිකරන මේ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 16.85ක පමණ මුදලක් වෙන්කර තිබෙන අතර, කොරියානු එක්සිම් බැංකුව ප්‍රතිපාදන සපයයි.
කොරියානු ආර්ථික හා තාක්ෂණීක විශේෂඥ දැනුම භාවිතා කරමින් 21 වැනි සියවස සඳහා අවශ්‍ය නිපුණ තාක්ෂණඥයන් බිහිකිරීම වෙනුවෙන් කොළඹ නගරයේ අංග සම්පූර්ණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම මෙහි අභිලාෂය වී තිබෙන අතර ශ්‍රී ලාංකික තරුණ තරුණියන් උදෙසා වෘත්තීය පාඨමාලාවන් රැසක් මෙමඟින් හඳුන්වාදීමට නියමිතය.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා පෙන්වා දුන්නේ මේ රටේ බිහිවන විශාලතම කාර්මික පුහුණු ආයතනය වන මෙය එළඹෙන මාර්තු 31 වනවිට ඉදිකිරීම් කටයුතු අවසන් කොට පළමු ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීමට පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා කොරියානු තාක්ෂණ අභ්‍යාස ආයතනය ලෙස නම් කරන බවත්ය.
විවිධ පාඨමාලාවන් මෙහිදී හඳුන්වාදෙමින් ඉතාම ඉහළ තාක්ෂණ ඥානයක් මේ රටට පිරිනමන බව පෙන්වාදුන් ඒ මහතා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සතුව පවතින විශාලතම පුහුණු මධ්‍යස්ථානය බවට මෙය පත්වන බවද මේ වනවිට ජර්මන් හා ජපන් තාක්ෂණ ආයතනයන්ට ශ්‍රී ලංකාව තුළ විශාල ඉල්ලුමක් පවත්න අතර එවැනිම වූ දැවැන්ත ඉල්ලුමක් මේ සඳහා දැනටමත් පවතින බවද පෙන්වා දුන්නේය.
නව ඉගෙනුම් සංස්කෘතියකින් මෙය ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ විප්ලවීය හැරවුමක් ගෙනන අභ්‍යාස ආයතනයක් බවට පත්වන බවද වැඩ ලෝකයේ මේ වෙනුවෙන් දේශීය සහ විදේශීය වශයෙන් විශාල ඉල්ලුමක් පවතින බවද සඳහන් කළ නියෝජ්‍ය ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ පවතින විශාලතම ගැටළුව නිපුණ ශ්‍රම හිඟය බවද කීවේය. කර්මාන්ත, පරිගණක ඇතුළු ක්ෂේත්‍ර රැසකට නිපුණ ශ්‍රම හිඟයක් පවතින අතර මේවායින් මුදා හරින්නේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියක්, දැනුමක්, කුසලතාවක් සහිත ශිල්පීන් බවද මේ අයට වැඩ ලෝකයේ ඕනෑම තැනක රැකියාක් ලබාගැනීම ගැටළුවක් නොවන බවද පැවසීය.
මේ තුළ ක්‍රියාත්මක පාඨමාලා සියල්ල මේ වනවිට ජාත්‍යන්තර මට්ටමින් සකස්කර තිබෙන අතර ලබාගන්න NVQ සහතිකය මුළු ලෝකයම පිළිගන්නා බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මේ පුහුණු මධ්‍යස්ථානය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1,260 දෙනෙකුට පුහුණු වියහැකි වන අතර පූර්ණ කාලීනව 540 දෙනෙකුට සහ අර්ධකාලීනව 720 දෙනෙකුට විවිධ පාඨමාලාවන් හැදෑරීමේ අවකාශ සැලසෙයි. පුහුණු මධ්‍යස්ථානය ඉදිකිරීම හා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම, අවශ්‍ය උපකරණ සැපයීම, පුහුණු කාර්ය මණ්ඩල හා කළමනාකරණ කාර්ය මණ්ඩල සංවර්ධනය, අවශ්‍ය තාක්ෂණික පෙළ පොත් සංවර්ධනය සහ කොරියානු තාක්ෂණික දැනුම ලබාදීම මේ ව්‍යාපෘතිය යටතේ සිදුවන අතර එමඟින් කොරියානු භාෂාව, ඉංග්‍රීසි භාෂාව, පරිගණක සාක්ෂරතාවය, මෘදු කුසලතා සංවර්ධනය එමඟින් සිදුකෙරේ.
පාඨමාලා රැසක් මේ මධ්‍යස්ථානයෙන් හදුන්වා දෙන අතර මෝටර් රථ තාක්ෂණය, ශීතකරණ හා වායු සමීකරණ තාක්ෂණය, පෑස්සුම් තාක්ෂණය, CNA තාක්ෂණය, විදුලි තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය, Automation and Robotic තාක්ෂණය සහ Dnumatic and Hydrolic තාක්ෂණය ඒ අතර වෙයි.
0 Comments