Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ජාතික කළමනාකරණ කමිටුව විසුරුවයි

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ජාතික පාපන්දු කළමනාකරණ කමිටුව විසුරුවා හැරීමට විධායක සභාව තීරණය කළ අතර එහි සියලු බලතල පාපන්දු සභාපති අනුර ද සිල්වා මහතා යටතට පවරා ගෙන ඇත. වසර දෙකකට අධික කාලයක් ජාතික පාපන්දු කළමනාකරණ කමිටුව ක්‍රියාත්මක වූ අතර එහි සභාපතිවරයා ලෙස මේජර් ජනරාල් අතුල කොඩිප්පිලි හා උප සභාපති ලෙස රෝහිත ප්‍රනාන්දු යන මහත්වරු කටයුතු කළහ.

මේ ජාතික පාපන්දු කළමනාකරණ කමිටුව මගින් ජාතික පාපන්දු කණ්ඩායම හා පාපන්දු සම්මේලනය අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකළ අතර පසුගිය වසරේ බංග්ලාදේශයේදී නිමාවට පත්වූ දකුණු ආසියා පාපන්දු තරගාවලියෙන් පසු කමිටුවේ ක්‍රියාත්මක භාවය ගිලිහී ගොස් තිබිණි.

ජාතික පාපන්දු කළමනාකරණ කමිටුව විසුරුවීම පිළිබඳ පාපන්දු සභාපති අනුර ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී පැවැසූවේ එම කමිටුවේ කටයුතු තමන් යටතේ ක්‍රියාත්මක කිරීම සුදුසු බව විධායක සභාව තීරණය කළ බවයි. පාපන්දු ක්‍රීඩාවේ දියුණුවට ඉදිරි සැලැසුම් රාශියක් ඇති හෙයින් ජාතික පාපන්දු කළමනාකරණ කමිටුවේ කාර්යන්ද පුළුල් විය යුතු බව විශ්වාස කරන්නේ යැයි සිල්වා මහතා පැවැසීය.

“දැනට වයස අවුරුදු 23න් පහළ සංචිතය පිහිටුවා ක්‍රීඩකයන් 80ක් පුහුණුව ලබමින් සිටිනවා. හෙට අනිද්දා වෙද්දී එය ක්‍රීඩකයන් 50ක් දක්වා අඩු කරනවා. ඒ ක්‍රීඩකයන් ආසියානු පාපන්දු සම්මේලනයේ ලියාපංදිචි කොට ආසියානු මට්ටමේ තරගවලට සූදානම් කරනවා. සැප්තැම්බර් මාසයේ දකුණු ආසියා පාපන්දු තරගාවලිය පැවැත්වෙන හෙයින් අපට එය වැදගත් තරගාවලියක් වෙනවා. ඉන් පසුවයි ජාතික කණ්ඩායම හා 23න් පහළ දක්ෂයන් එක් තැනකට ගෙනත් පුහුණුවීම් ආරම්භ කරන්නේ. එවිට ශ්‍රී ලංකාවේ හොඳම කණ්ඩායම අපට සකස් කළ හැකියි” සිල්වා මහතා සඳහන් කළේය.

මෙයට අමතරව සමාජ ජාලා වෙබ් අඩෙවි හා සමාජ මාධ්‍ය ඔස්සේ පාපන්දු සම්මේලනයට අගතියක්වන පරිදි කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගතයුතු බවටද පාපන්දු විධායක සභාව තීරණය කොට ඇත. එවැනි ප්‍රකාශ කරන ඕනෑම පුද්ගලයෙක් පාපන්දු සම්මේලනයේ විනය කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කොට දඬුවම් පැනවිය යුතු බවට විධායක සභිකයන් කිහිපදෙනකු කළ ඉල්ලීම් සලකා බලා මේ තීරණය ගෙන ඇත. පාපන්දු ව්‍යවස්ථාව අනුව සෑම කණ්ඩායමක නිලධාරියෙක්, ක්‍රීඩකයෙක් පාපන්දු සම්මේලනයේ නිලධාරීයෙක් ලෙස සැලකෙන බැවින් පිටත සිට පාපන්දු සම්මේලනය හෝ නිලධාරීන් විවේචනය කිරීමේ අයිතියක් නොමැති බව පාපන්දු සභාපතිවරයා සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();