Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුපර්සන් පිල විනිසුරු සමඟ ගැටී පාපන්දු තරගය වර්ජනය කරයි

ප්‍රින්ස් ගුණසේකර

චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ කොළඹ සුගතදාස පිටියේ පැවැති රිනවුන් - බේරුවල සුපර් සන් අතර තරගයේදී සුපර් සන් ක්‍රීඩකයන් හා විනිසුරු අතර පැවැති උණුසුම් ගැටුම්කාරී තත්ත්වයකින් අනතුරුව සුපර් සන් ක්‍රීඩකයෝ තරගය වර්ජනය කොට පිටියෙන් ඉවතට ගියහ. තරගයේ 70වැනි මිනිත්තුවේදී රිනවුන් පිලේ සුරාජ් පීරිස් එල්ල කළ ගෝලය ‘ඕෆ් සයිඩ්’ ගෝලයක් බවත් එය නීති විරෝධී ලෙස ප්‍රකාශ කරන ලෙසත් සුපර් සන් ක්‍රීඩකයෝ විනිසුරුගෙන් ඉල්ලීම් කළද එය නොසලකා සිටීමෙන් තරග විනිසුරු පිළිබඳ විශ්වාසය ගිළිහී ගියබවට චෝදනාකර සුපර් සන් පුහුණකරු ඔගස්ටින් ජෝර්ජ් මහතා හා ක්‍රීඩකයෝ පිටියෙන් ඉවතට ගියහ.

මේ හැසිරීම විනය විරෝධී බව පවසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් අද දින විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, සුපර් සන් ගෝල් කීපර්ට හා ක්‍රීඩකයන් කිහිපදෙනකුට චෝදනා ගොණුවී ඇතැයි වාර්තා වේ. ගෝල් කීපර් තරග විනිසුරුට පහරදීමක් හා ක්‍රීඩකයන් කිහිපදෙනකුගේ සැලසුමක් අනුව රිනවුන් පුහුණුකරු මොහොමඩ් අමුනුල්ලා මහතාට බෝතලයකින් පහරදීමක් චෝදනා අතර වේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තරග ප්‍රතිඵල සඳහන් කරමින් ඊයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය අනුව තරගය අතහැර දමූවා සේ සඳහන් වුවද ගැටුම්කාරී තත්ත්වය ඇතිවෙද්දී ගෝල් 3-2කින් ඉදිරියෙන් සිටි රිනවුන් පිලට ජයග්‍රහණය පිරිනමුණු ඇතැයි සම්මේලන ආරංචි මාර්ග පවසයි.

මේ අතර ලකුණු සටහනේ ඉහළින් සිටි කළුතර බ්ලූස්ටාර් පිල පරාජය කිරීමට සෝන්ඩර්ස් පිල සමත්වීම සති අනතයේ පෙරැළිකාරී සිදුවීමක් විය. කළුතර වර්නන් ප්‍රනාන්දු පිටියේ පැවැති මේ තරගයේදී ගෝල් 2-1ක් ලෙස සෝන්ඩර්ස් ඉදිරියෙන් සිටි අතර එන්. සී. අබේසේකර හා මොහොමඩ් කුර්ෂීඩ් ජයග්‍රහී ගෝල් රැස් කළහ. බ්ලූස්ටාර් එකම ගෝලට එන්. යූ. සන්ඩේ එක් කළේය.

කොළඹ සුගතදාස පිටියේ පැවැති රත්නම් හා පෙළිකන්ස් අතර තරගයේදී රත්නම් පිලට ගෝල් 3-1ක පහසු ජයක් අත්විය. තරගයේ පළමු භාගය නිමාවෙද්දී රත්නම් පිලේ පී. එස්. මධුරංග හා පෙළිකන්ස් පිලේ නයිජීරියානු ක්‍රීඩක බී. ආබ්ඩේල් ගෝල් වාර්තා කොට දෙපිල සම තත්ත්වයක සිටියද, දෙවැනි භාගයේදී රත්නම් පිලේ නයිජීරියානු ක්‍රීඩක සී. බී. අබ්ඩේල් හා මොහොමඩ් අකීල් ගෝල් වාර්තා කිරීමෙන් රත්නම් ජය තහවුරු විය.

සිටිලීග් පිටියේ නිමාව දුටු කොළඹ පාපන්දු සමාජය හා වෙන්නප්පුව නිව් යංග්ස් අතර තරගයේදී ගෝල් 3-2ක ජයක් කොළඹ පිලට හිමි විය. නිව් යංග්ස් පිලේ නයිජීරියානු ක්‍රීඩක බී. එස්. නිමෝ කොළඹ පිලට ප්‍රබල තර්ජනයක් ගෙන දෙමින් ගෝල් 2ක් රැස්කළ අතර කොළඹ පිලේ මොහොමඩ් අකීබ්, කේ. ද සිල්වා හා මොහොමඩ් ෆසාල් ගෝල් ලබා ජය මාවත විවර කළහ.

වැලිසර නාවික හමුදා පිටියේ පැවැති නාවික - අප්කන්ට්‍රි ලයන්ස් අතර තරගයෙන් ගෝල් 2-1ක ජයක් නාවික හමුදාව සතුවිය. නාගූර් මීරා හා ධනුෂ්ක මධුසංඛ නාවික හමුදාව වෙනුවෙන් හා නයිජීරියානු ක්‍රීඩක එම්. එස්. අෂ්ෆාක් අප්කන්ට්‍රි ලයන්ස් වෙනුවෙන් ගෝල් වාර්තා කළහ.

ගුවන් හමුදාව හා රෙඩ් ස්ටාර් අතර සුගතදාස පිටියේ පැවැති තරගයෙන් ගුවන් හමුදාවට ගෝල් 1-0ක ජයක් හිමිවූ අතර කවිදු ඉෂාන් එම ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය. දිගන පිටියේ පැවැති ක්‍රිස්ටල් පැලස් හා මාතර සිටි අතර තරගයෙන් මාතර පිලට ජය අත්විය. මාතර පිල වෙනුවෙන් ලාබී ප්‍රින්ස් හා ජී. ආර්. වික්‍රමනායක ගෝල් ලබාගත් අතර ක්‍රිස්ටල් පැලස් වෙනුවෙන් අයිසැක් අබා ගෝලයක් ලබා ගත්තේය. කැලණිය පාපන්දු සංකීර්ණ පිටියේ පැවැති යුද හමුදාව හා නිගම්බු යූත් අතර තරගයත්, අනුරාධපුර බන්ධනාගාර පිටියේ පැවැති සොලිඩ් - ජාවාලේන් ක්‍රීඩා සමාජ අතර තරගයත් ගෝල් 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();