Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සිදු වු‍ණේ ක්‍රමානුකූලව සහ සංවිධානාත්මකවයි

මහින්ද අලුත්ගෙදර මාතර සිට

ත්‍රස්තවාදයෙන් නිදහස් වු ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අද තිබෙන තත්ත්වයට පත් වුයේ එක්වර නොව ක්‍රමානුකූලව සංවිධානාත්මක වැඩපිළිවෙළක් යටතේ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සදහන් කෙළේ මාතර, සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී ඊයේ (30) පෙරවරුවේ පැවැති මතින් නිදහස් රටක්, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මෙසේද පැවසීය.

පාසල් දරුවා සමාජයට යහපත් පණිවුඩයක් ගෙන යන්න හොඳම පණිවුඩකරුවා වෙනවා. ඒ නිසාම මේ වර්ෂයේ පාසල් දරුවන්, රාජ්‍ය නිලධාරීන් මුල්කර ගත් විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරනවා. මත් ද්‍රව්‍ය මර්දනය හා සම්බන්ධ වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළ ප්‍රධාන වශයෙන් මෙතෙක් කර ගෙන ආ වැඩපිළිවෙළ ශක්තිමත් කරනවා සේම ඉදිරියේ දී නව වැඩපිළිවෙළවල් රාශියක්ම හදුන්වා දෙනවා.අද මතින් නිදහස් ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරමින් එහි තවත් වැදගත් අදියරක් ලෙස මාතර දිස්ත්‍රික්කයේ දී ඔබ හමුවීමට ලැබීම සම්බන්ධයෙන් මා සතුටු වෙනවා. පසුගිය වසර 4ක කාලය තුළ ජනාධිපතිවරයා ලෙස මත්ද්‍රව්‍ය නිවාරණය, පාලනය සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ ගතහැකි, ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස සිටි කාලායේ දී මත්ද්‍රව්‍ය පිළිබඳ නව නීතිරීත් සම්මත කළා. ගැසට් නිවේදන සම්මත කළා. ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළමු පනත මත්ද්‍රව්‍ය පිළිබඳව පනත වෙනවා. සිගරට් පැකැට්ටුවේ අවවාද ඡායාරූප සියයට 80ක් කරන්න ගිය වේලාවේ දුම්කොළ සමාගම් හා තවත් අය අධිකරණයට ගියා. එහිදී සියයට 60 ක් දෙන්න පුළුවන් සියයට 80 දෙන්න බැහැ කියා අධිකරණය කිව්වා. නමුත් මම ජනාධිපතිවරයා ලෙස අධිකරණ තීන්දුවේ සියයට 60 පසෙක ලා පාර්ලිමේන්තුවේ 225 ක ඡන්දයෙන් සිගරට් පැකැට්ටුවේ රූපමය අවවාදය සියයට 80 දක්වා ඉහළ නංවන්න පුළුවන් වුණා.

ඒ වගේම අද ලෝකයේ දියුණු යැයි සම්මත ඉහළම ආර්ථිකයක් සහිත තාක්ෂණික ලෝකයේ රටවල ඇතැම් වේලාවට මත්ද්‍රව්‍ය පාලනය හා නිවාරණය පිළිබඳ ක්‍රියාත්මක නොවන නීති රීති, ගැසට් නිවේදන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. මම සෞඛ්‍ය ඇමැතිවරයා කාලයේ වසරකට තුන්වරක් හතරවරක් ජිනීවාවලට යනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ රැස්වීම්වලට. ඒ ගිහින් විවේකයක් ලැබුණු පසුව ජිනීවා නගරයේ ඇවිදින්න ගියාම බස්නැවතුමක ඉන්න පුළුවන්කමක් නැහැ. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් පිළිබඳ කතා කරන මූලස්ථානය ජිනීවාවල තිබෙනවා. නමුත් සිගරට් නොබොන කෙනකුට ජිනීවාවල බස් නැවතුමක ඉන්න බැහැ. මුළු බස්නැවතුමම සිගරට් දුමෙන් වැහිලා. අපේ රටේ තිබෙන නීති රීත් නැහැ. අපේ රටේ අද මහජනතාව ගැවසෙන ස්ථානවල දුම් බොන්න බැහැ. බස් රථවල දුම් බොන්න බැහැ. ඒ නීති අපි සම්මත කෙළේ පසුගිය වසර කිහිපය තුළයි. අද මෙහි වැදගත් කම ඔබ දන්නවා. මෙහිදී කතා කළ පාසල් දරුවන් සහ වෛද්‍යවරයා බොහෝ මතකයන් අවධි කලා කියා මම හිතනවා. මෙය මගේ කාර්යයක් නොව ඔබේ කාර්යයක්. මෙය මගේ කාර්යයක් නොව දෙමාපියන්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යයක්.

හාමුදුරුවන් ධර්ම දේශනා කරන විටත් අනෙකුත් ආගමික පූජකවරුන්ගේ දේශනා තුළත් මත්ද්‍රව්‍ය ගැන කොතෙක් දේශනා කරනවාද. බුදුන්ගේ පන්සිල් පදවල සුරාමේරය කරන්නට බුදුන් වහන්සේ කාලය තුළ සිදුවූ යේ ඇයි. මීට වසර 2600 ට එහා තිබූ සමාජයේත් මත්ද්‍රව්‍ය ප්‍රබල ප්‍රශ්නයක් වු නිසයි. ඉංග්‍රීසීන්ගේ පාලනය තුළ අපේ රටේ ධර්මපාල තුමා වැනි ශ්‍රේෂ්ඨයින් මත්ද්‍රව්‍ය පාලනය, මර්දනය සම්බන්ධයෙන් පුළුල් නායකයින් වුණා. බෞද්ධ භික්ෂූන් වහන්සේලා මත්ද්‍රව්‍ය පාලනයට ගෙන තිබෙන නායකත්වය සඳහන් වෙනවා. පසුගිය සතිය ජනවාරි 21 - 28 මත්ද්‍රව්‍ය මර්දනය, පාලනය සම්බන්ධයෙන් සතියක් ප්‍රකාශයට පත් කළා. ඒ සතියේ දිවයින පුරා පාසල්වලට වෛද්‍යවරු, හමුදා නිලධාරීන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්, විද්වතුන් දේශනවලට යොමු වුවා. ඒ දරුවන් ඇසූ ප්‍රශ්න සම්බන්ධයෙන් මට වාර්තා වුණා. මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් 2015 වසරේ පටන් ගත් මේ වැඩසටහනේ දී එදා පාසල්වලට ගියපසුව දරුවන් ඇසූ ප්‍රශ්න ඒ ආකාරයෙන්ම දරුවන් අසා තිබෙනවා.

මේ වැඩේ සතියකින් කරන්න පුළුවන් ද කියා රත්නපුර සීවලී විද්‍යාලයේ දරුවෙක් අසා තිබෙනවා. තවත් දරුවෙක් අසා තිබුණා එහෙමනම් ආණ්ඩුව අරක්කු, සිගරට් විකුණන්න ඉඩදෙන්නේ ඇයි කියා අසා තිබෙනවා. ඒ තවත් දරුවෙක් කියා තිබුණා ආණ්ඩුවට එන බදු නිසා නේද කියා. මේ කියන සෑම කතාවකම, ප්‍රශ්නයකම සාධාරණ සත්‍යයක් තිබෙනවා. සාධාරණ යුක්ති සහගත තත්ත්වයක් තිබෙනවා. මානවයාගේ ආරම්භයේ සිටම අපි හිතන්නේ මත්ද්‍රව්‍යත් ආරම්භ වුණා කියාලයි. නමුත් එදා මෙදා තුළ වෙනස අද නව තාක්ෂණය බරපතළ විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය හා බෙදා හැරීමට පාව්චිචි කරනවා. අරක්කු සිගරට්වලට විරුද්ධව මේ රට් ගෙනගිය මතය ඔබ දන්නවා. අපි එහි ජයග්‍රහණයන් රාශියක් ලබා ගත්තා. නමුත් ඒවා යටපත් කරගෙන මත්පෙති, මත්කුඩු වැනි ඉතා විෂ මත්ද්‍රව්‍ය අද සමාජයට ගලා ගෙන එන්න පටන්ගෙන තිබෙනවා. විශ්වවිද්‍යාලවල දරුවන්ට ඇතුළට ගිහින් නොමිලේ බෙදා හරිනවා. පාසල්වලට, දරුවන්ට මත්ද්‍රව්‍ය නොමිලේ බෙදා දෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉන්නවා. අපේ පොලිසියේ නිලධාරීන් මා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට පාසල් දරුවන් ගෙවල්වල මත්ද්‍රව්‍ය හදාගෙන සාක්කුවල දාගෙන පාසලට එනවා.

මේ තත්ත්වය ඉතාම නරක තත්ත්වයක්. අපේ රටේ මත්ද්‍රව්‍ය පිළිබද සාමාන්‍ය තත්ත්වය ගත්විට 1505 දී පළමු ආක්‍රමණයත් සමඟ විදේශිකයන් මුහුදු බඩ අයට පුරුදු කළා. නිකං දුන්නා. ඒ වගේම ඒ තත්ත්වය වරින් වර වර්ධනය වුණා. ඉංග්‍රීසි ආණ්ඩුව කාලයේ අලුත් පනත් ඒ කාලෙත් හදා තිබෙනවා මත්ද්‍රව්‍ය මර්දනයට. පසු කාලීනව 80 දශකයේ ලංකාවේ ඉතාමත් විෂ නීති විරෝධී මත්ද්‍රව්‍ය පළමුවරට රෝගියෙක් හමු වුණේ 1983. 80 දශකයේ මුල් භාගයේ. හසීස්, කොකේන්, අයිස්, ගංජා, සින්තටික් වැනි දේවල් අද සමාජය වෙලාගෙන යනවා. දකුණු පළාත ලංකාවේ ඉතිහාසයේ බොහොම කීර්තිමත් පළාතක්. රාජ රාජ මහාමාත්‍යවරුන් බිහිකළ පළාතක්. කීර්ති කුමාරයා, මහා විජයබා රජතුමා දකුණෙන් බිහි වුණා. මෑත භාගය ගත්විට ලංකාවේ පළාත් නවයෙන් අධ්‍යාපන මට්ටමින් අනෙක් සියලු පළාත් අභිබවා අංක එකට එන්න දකුණු පළාත සමත්ව තිබෙනවා. පළාත් අධ්‍යාපන ඇමැතිවරයා ගෙන ගිය වැඩපිළිවෙළ ඔබ දන්නවා. විශාල පිරිසක් ඊට සහාය දුන්නා. ඒ අයට මෙහි ගෞරවය හිමිවෙනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්ත ද නිදහස් සෞඛ්‍ය සේවායේ විශිෂ්ඨ, ගුණාත්මක තත්ත්වක් පෙන්නුම් කරනවා. ආර්ථීක වශයෙන් මාතර දිස්ත්‍රික්කය ඉතාම වැදගත් දිස්ත්‍රික්කයක්. ස්වාභාවික සම්පත්වල තිබෙන විශ්මිත වටිනාකම, වැවිලි කර්මාන්තය, සංචාරක, ධීවර කර්මාන්තය තුළ මාතර දිස්ත්‍රික්කය අනෙකුත් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව ඉදිරියෙන් සිටිනවා. ඒ සියල්ල ගැන අපි සතුයටු වෙනවා. නමුත් ඉතාම කණගාටු තත්ත්වයක් ද තිබෙනවා. පසුගිය මාස කිහිපය තුළ විෂ මත්ද්‍රව්‍ය වැඩිපුරම අත්අඩංගුවට ගත්තේ වැටලීම්වලින් දකුණු පළාතේ. අද මේ වැඩසටහන දකුණු පළාතේ මාතර තියන්න හේතුව කුමක් ද. මෙවැනි වැඩසටහන් රාශියක් අපි දිස්ත්‍රික්ක මට්ටමින් ගෙනයනවා. ඒ සියල්ල සමඟ මේ දිස්‍ර්තික්කයේ මීට කලින් ද මෙවැනි වැඩසටහන් කර තිබෙනවා. මාතරට මේ වැඩසටහන මේ වසරේ දෙවැනි වැඩසටහන. මේ වසරේ මත්ද්‍රව්‍ය ජාතික සතිය අපි පටන් ගත්තේ උතුරෙන්. යුද්ධයෙන් පීඩාවට පත් අසරණ ජනතාවක් ජීවත්වන උතුරේ අද මත්ද්‍රව්‍ය ව්‍යාප්ති තත්ත්වය ඉතාම බරපතළයි. මත්ද්‍රව්‍ය නිසා අපරාධ වැඩිවෙමින් තිබෙනවා. නමුත් කණගාටුවෙන් වුවත් මා කිවයුතුයි. ඒ මහා විශිෂ්ඨකම් පෙන්වන මාතර දිස්ත්‍රික්කය අද දවස ගත්විට මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නයේ දී මත්ද්‍රව්‍ය වැඩිපුරම භාවිතා කරන, වැඩිපුරම හසුවන, වැටලීම්වලින් සොයා ගන්නා ප්‍රධාන දිස්‍ර්තික්කයක් බවට මාතර පත්ව තිබෙනවා.

ලංකාවේ අනෙක් දිස්ත්‍රික්කවලට වැඩිය මාතර දිස්ත්‍රික්කයේ ඇස්වල කඳුළු පිරුණු අම්මලා වැඩි ඇති කියා මම හිතනවා. සිගරට් අරක්කුවලින් සිදුවන හානිය ඔබ දන්නවා. නමුත් ඊටත් වඩා විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නිසා අද දරු පවුල් විනාශ වීම, දරුවන්ගේ අධ්‍යාපනය, දෙමාපියන්ගේ ආර්ථිකය විනාශ වීම, සමාජය ප්‍රතික්ෂේප කිරීම, පිළිකුල් කිරීම, නින්දා අපහාසවලට ලක්කිරීම ආදිය සියල්ලට උරුමකම් කියනවා. මාතර දිස්ත්‍රික්කය වහා වහා මේ මහා උවදුරෙන් බේරා ගතයුතු වෙනවා. ඒ සඳහා සියලු දෙනාම දරුවන් සමඟ නායකත්වය ගතයුතු වෙනවා. මෙය සුළු පටු දෙයක් නොවේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෝකයේ ආණ්ඩු පෙරලනවා. දේශපාලඥයන් විනාශ කරනවා. පිලිපීනය මත්ද්‍රව්‍යවලින් විනාශ වුණා. ඉන්න ජනාධිපතිවරයා ගත්තේ සියයට 39ක් පමණ ඡන්ද ප්‍රතිශතයක්. එතුමා අතට ගත් පළමු දෙය තමයි පිලිපීනයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන අය පමණක් නොව විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය ඉවර කර දැම්මා. පිලිපීනය මේ වනවිට 28,000ක් ඒ ඉරණමට ලක්ව තිබෙනවා. මම සිංගප්පූරුවට ගියා ඒ වැඩසටහනට අමතරව මත්ද්‍රව්‍ය ගැන සාකච්ඡා කරන්න.

පිලිපීනයේ විෂ මත්ද්‍රව්‍ය අලෙවි කරන අයට දඩුවම් දෙන්නේ විදුලි පුටුවෙන්. ඉන්දියාවේ මරණ දඩුවම දෙනවා. අමෙරිකාවේ මරණ දඩුවම දෙනවා. මමත් මරණ දඩුවම ළඟදීම දෙනවා. මේ රට බේර ගන්න ඕනෑ. ලෝකයේ ථෙරවාදී බෞද්ධ ධර්මයේ මූලස්ථානය. අපේ රටට විරුද්ධව නොයෙක් විදෙස් බලවේග ක්‍රියාත්මක වෙනවා. ථෙරවාදී බෞද්ධ ධර්මයට විරුද්ධව එක්තරා භික්ෂූන් වහන්සේලා පිරිසක් වැරැදි අර්ථකථන කරමින් පොත් බෙදා හරිනවා. ඒ පිටුපස සිටින්නේ ඒවාට සල්ලි දෙන්නේ රාජ්‍ය නොවන සංවිධානයි. කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව මේ රටේ උරුමය. වසර දහස් ගණනක අපේ රටේ වැදගත් ලිය කියවිලි අප විසින් ආරක්ෂා කළ, සුරක්ෂිත කළ කිසිවකුට නොදුන් දේ පසුගිය දිනවල එහි අධ්‍යක්ෂවරිය රජයේ කිසිඳු අනු දැනුමක් හෝ අනුමැතියක් නොමැතිව විදේශ රටකට ඒ සියල්ලම දී තිබෙනවා. ඒ නියෝජිතයන් පැමිණ ඡායාරූප ගෙන, ස්කෑන්කර රැගෙන ගොස් තිබෙනවා. එක් පැත්තකින් බෞද්ධ දර්ශනය විකෘති කරන්න කරන කුමන්ත්‍රණයක්. තවත් පැත්තකින් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වැනි අපේ උරුමයන් අපේ මහා සංස්කෘතිය සමඟ ගොඩනැඟුණු ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ වටිනාකම් විනාශ කරනවා.

මේවා අප විසින් තේරුම් ගතයුතුයි. මේ මත්ද්‍රව්‍ය ගැන මෙවැනි තත්ත්වයක් මේ රටේ ඇතිව තිබෙන්නේ එය එක්වර නොව ක්‍රමානුකූලව ක්‍රියාත්මක වුණු පැහැදිලි සංවිධානාත්මක වැඩපිළිවෙළක් මේ රට විනාශ කරනවා. මේ නිසා අපි මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පසුගිය වසර කිහිපය තුළ ආයතනවල ක්‍රියාත්මක කළයුතු වැඩසටහන් ගැන චක්‍රෙල්ඛ නිකුත් කළා. මෙවැනි සාකච්ඡා, සම්මන්ත්‍රණ කෙතරම් තිබුණාද. ඒ චක්‍රලේඛ අනුව උපදෙස් අනුව ක්‍රියාත්මක කළ වැඩසටහන් සැබෑ ලෙසම රටේ සාර්ථක ලෙස ක්‍රියාත්මක කළා නම් මත්ද්‍රව්‍ය මර්දන සතියේ පාසල් දරුවන් අහන ප්‍රශ්නය අහන්නේ නැහැ. ඒ වැඩසටහන සමහර තැන්වල හරියට ක්‍රියාත්මක කළා. සමහර තැන්වල නැහැ. ඒ වැඩසටහන හරියට ක්‍රියාත්මක කළා නම් අප දී තිබෙන උපදෙස් අනුව සෑම දෙපාර්තමේනතුවකම සෑම පාසලකම, අමාත්‍යාංශයකම මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයක් හැදෙන්න ඕනෑ. සෑම ග්‍රාම දෙස්වා වසමකම මත්ද්‍රව්‍ය නිවාරණ ඒකක හැදෙන්න ඕනෑ. ග්‍රාම නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමියන් සෑම අයෙක්ම වෛද්‍ය, දිසා ලේකම්වරුන්ගේ උපදෙස් අනුව ඒ වැඩසටහන් ඉතා සාර්ථකව මේ රටේ ප්‍රදේශ රැසක කර තිබෙනවා.

නමුත් එහි අඩුපාඩුකම් නිසා දරුවන් ප්‍රශ්න කරනවා. ඒ නිසා මේ දුර්වලතා මඟහැර යායුතුයි. මේ ප්‍රශ්නයට අපි මුහුණ දෙන්න ඕනෑ. අපි සෑම අයෙක්ම ඒ උපදෙස් අනුව ක්‍රියාත්මක වීම අවශ්‍ය වෙනවා. මත්ද්‍රව්‍ය මර්දනය සඳහා ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ ශක්තිමත් කරනවා වගේම අද මාතර මෙය අවසානය නොව පසුගිය වසර හතරක් ගෙන ගිය වැඩසටහනේ තවත් ප්‍රබල ගමනක ආරම්භයක් කියා කියනවා. පාසල් දරුවා සමාජයට යහපත් පණිවුඩයක් ගෙන යන්න හොඳම පණිවුඩකරුවායි. ඒ නිසා අපි මේ වර්ෂයේ විශේෂයෙන්ම පාසල් දරුවන්, රාජ්‍ය නිලධාරීන් මුල්කර ගත් විශේෂ වැඩසටහන් කිහිපයක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරනවා. මේ වැඩසටහන්වලට නොයෙක් ආකාරයේ අපහාස කරන අයත් ඉන්නවා. මට මාධ්‍ය පිළිබද වාර්තා එනවා. අද එක් වාර්තාවක මේ වැඩසටහන අවඥාවට නම් කර තිබෙනවා. කුමන මුහුණුවරකින් පෙනී සිටියත් ඒ අය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සම්බන්ධයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල මුදලක් මේ සඳහා වැය කරනවා. ඔවුන් කොතරම් ප්‍රබලය කියා ඔබ දන්නවා.

මත්ද්‍රව්‍යවලින් අධිකරණය ඉදිරියේ වැරැදිකරුවන් වූ අයට මරණීය දණ්ඩනය ලබා දෙන්න මම අවුරුද්දක් තිස්සේ ලිපිගොනු සොයනවා. හිරගෙදර ඉන්නවා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරැදිකරුවන් වූ අය. ගාල්ල හිරගෙදර ඉන්න අයගෙන් සියයට 65 ක් මත්ද්‍රව්‍යයට සම්බන්ධයි. ඒ අයගේ පවුල් ජීවිතය, දරුවන් බිරිය විනාශ වෙනවා. ඒ නිසා අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළ ප්‍රධාන වශයෙන් මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළ ශක්තිමත් කරනවා මෙන්ම ඉදිරියේ දී අපි නව වැඩපිළිවෙළ රාශියක්ම හදුන්වා දෙනවා. ඇතැම් පාස්ලවල තත්ත්වය ඉතාම නරකයි. මම පාසල්වල නම් කියන්නේ නැහැ. සති දෙකකට පෙර ලංකාවේ ඉතාම ජනප්‍රිය පාසලක තරුණ දැරියක් සියදිවි නසා ගත්තා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පාස්වුණ ගමන් තාත්තා ගෙනත් දුන්න තෑග්ග ජංගම දුරකතනයක්. ජංගම දුරකතනය අද අන්තර්ජාලය තුළ මත්ද්‍රව්‍ය භාවිතයට ආකර්ෂණය කර ගැනීමේ වැඩසටහන් රාශියක් යනවා. ඒවා දැක්කම මෙවැනි සතුටක් ලැබෙනවා නේ කියා සිතෙනවා. ඒ තෘප්තිය විද ගන්න බලනවා. අන්තර්ජාලය තුළ තිබෙන වැදගත්, යහපත් දේ දන්නවා. දැනුමට, බුද්ධියට නව තාක්ෂණය, විද්‍යාව, කලාව වැනි වැදගත් කරුණු තිබෙනවා.

එහෙත් ඒ පිටු පෙරලනවාට වඩා තරුණයින් පෙරලන්නේ නරක පිටු තමයි. අන්තර්ජාලයේ වැරැදි පැත්ත මේ රටේ සියදිවි නසා ගැනීම් වැඩිකර තිබෙනවා. මේ රටේ ප්‍රධාන පාසල් ගණනාවක දරුවන්ගේ වාර්ෂික සියදිවි නසා ගැනීම ක්‍රමයෙන් වර්ධනය වී තිබෙනවා. විශේෂයෙන්ම ගැහැණු දරුවන්. සොයා බැලුවාම අංක එක ජංගම දුරකතනයයි. ජංගම දුරකතනය හරහා වැරැදි මඟ පෙන්වීම්, වැරැදි තොරතුරුවලට හසුවී තිබෙනවා. ඒ නිසා මත්ද්‍රව්‍ය නිවාරණ, පාලනය, මර්දනය කියන කාරණයේ දී ජංගම දුරකතනය අභියෝගයක් කියන එක අමතක කරන්න එපා. දෙමාපියින් දරුවන් පිළිබඳව සොයා බැලිය යුතුයි. මේවා ගැන දෙමාපියන් මීට වඩා සැලකිලිමත් විය යුතු වෙනවා. කිසිඳු හේතුවක් නිසා දරුවන් අත්හරින්න පුළුවන්කමක් නැහැ. දරුවාට ආදරයක් තිබෙනවා නම් හොඳ රටක්, සමාජයක් හදන්න දරුවා පසුපස දෙමාපියන් නිතර සොයා බැලිය යුතුයි. මේ වැඩසටහනට එක්වන්න ලැබීම ගැන මම අද සතුටු වෙනවා. මතින් නිදහස් රටක් ගොඩනැඟීමේ පුළුල් ජාතික වැඩසටහනට ඔබේ දරුවා බේරා ගන්නා වැඩපිළිවෙළට ඔබ නායකත්වය දෙන්න. ඔබේ නායකත්වය පසුපස අපි එනවා. ඊට අවශ්‍ය සහාය ආණ්ඩුව ලබාදෙනවා. මෙහි නායකත්වය ගත යුත්තේ ඔබයි. දෙමාපියන්, රාජ්‍ය නිලධාරීන් නායකත්වය ගතයුතුයි. මෙහි තිබෙන බැරෑරුම් තත්ත්වය, මේ මහා ජාතික ඛේදවාචකය මර්දනය කරන්න, අවසන් කරන්න ත්‍රස්තවාදීන් විනාශ කෙළේ කෙසේද එසේම මම ඒ අයට මේ වගකීම පවරා දී තිබෙනවා .මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විනාශ කරන්න කියලා.

මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක ,තංගල්ල මහ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ධනුජ මහේෂ් , මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්, ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද සිල්වා, නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර, චන්ද්‍රසිරි ගජධීර, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, පොලිස්පති පූජිත් ජයසුන්දර, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();