Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ටියුෂන්වලට අවශ්‍ය විදියට නොව විෂය නිර්දේශය ආවරණය වන පරිදි විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමට උපදෙස් දුන්නා

ලංකින්ද නානායක්කාර -ඉමදුව සමුහ

ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ටියුෂන්වලට අවශ්‍ය පරිදි නොව විෂය නිර්දේශය ආවරණය වන පරිදි විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේ ක්‍රමයක් මේ වන විට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා (25) ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේදී පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයීය සුහුරු පන්ති කාමර සහිත තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම හා විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

අද මවුපියන්ට අමතර පන්තිවලට විශාල වියදමක් දරන්න සිදුවෙලා තියෙනවා. එක විෂයකට රුපියල් හාරදහස, පන්දහස ගෙවලා අමතර පන්ති යවන්න වෙලා තියෙනවා. මවුපියන්ට මේ බර දරන්න බැහැ.

අපි මේ ක්‍රමය වෙනස් කිරීමට සැලසුම් සකස් කරගෙන යනවා. විෂය නිර්දේශය ආවරණය වන පරිදි පමණක් ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට උපදෙස් ලබාදී තිබෙනවා. එවිට දරුවන්ට ටියුෂන් පන්ති යන්න ඕනෑ නැහැ. අපි මේ ක්‍රමය ගියවර ශිෂ්‍යත්ව විභාගයේදී අත්හදා බැලුවා. අද බැලුවාම ශිෂ්‍යත්ව විභාගයටත් පන්ති යනවා. නමුත් ඉදිරියේ දී මේ නව විභාග ක්‍රමය නිසා ශිෂ්‍යත්ව විභාගයට අමතර පන්ති ගියා කියලා වැඩක් වෙන්නේ නෑ. වර්ෂයක් පාසා එකිනෙකට වෙනස් වන ප්‍රශ්න පත්‍ර තමයි ඉදිරියේ දී ලැබෙන්නේ. ඉදිරියේ දී ලැබෙන ප්‍රශ්න පත්‍ර පොදුවේ සම්පුර්ණ විෂය නිර්දේශයම හසුවෙන ප්‍රශ්න පත්‍ර ලැබේවි. මෙවැනි විප්ලවීය වෙනස්කම් රාශියක් අපි අධ්‍යාපනය වෙනුවෙන් සිදු කර තියෙනවා.

සුරක්ෂා සිසු රක්ෂණය යටතේ රෝහල් ගතවන සිසුවකු වෙනුවෙන් දිනකට ගෙවන රුපියල් 1000ක මුදල මේ වසරේ සිට රුපියල් 3000 දක්වා වැඩි කිරීමට අපි කටයුතු කළා.

පසුගිය අවුරුද්දේ අධ්‍යාපනයට රුපියල් බිලියන එකහමාරකට වැඩි මුදලක් වියදම් කර තියෙනවා.

තම මවුපියන්ගේ ඇකයේ හිදිමින් අධ්‍යාපනය ලබන්න දරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට ට්‍රිලියන 1.5 ක් අපි වියදම් කර තියෙනවා. පසුගිය වසර හතරේ හදපු ගොඩනැගිලි තව 1500ක් තියෙනවා විවෘත කරන්න. ඒ වගේම විද්‍යාගාර 3000ක් දීලා තියෙනවා. වැසිකිළි 50000කට වඩා හදා තියෙනවා. මේ රටේ පාසල් 10194ක ප්‍රමාණයක විදුහල්පතිවරුන් හිටියේ නෑ. අපි ඒ අය අලුතින් ගත්තා. මේ දෙසැම්බර් 31 තවත් පිරිසක් ගන්නවා. හෙට අනිද්දා තවත් පිරිසක් ගන්න ගැසට් කරනවා. ඒ වගේම පළාත් සභා මගින් උපාධිධාරීන් බඳවා ගන්න කටයුතු කරගෙන යනවා. ඒ වගේම ශිෂ්‍ය උපදේශකයන් 2500 ක් ඉදිරියේ දී ගන්න සියලු වැඩ කටයුතු සුදානම් කර තියෙනවා. මේ සඳහා මනෝවිද්‍යාව හා සමාජවිද්‍යා උපාධිධාරීන් බඳවා ගත්තා.

ඒ වගේම අධ්‍යාපනයේ සුවිශේෂී වෙනස්කම් කිහිපයක් කර අපි, තව වැඩිකල් යන්න කලින් සාමාන්‍ය පෙළ විෂයන් 9 වෙනුවට විෂයන් හයක් වෙනවා. එක එක කාලවල එල්ලපු විෂයන් අපි අයින් කරනවා. විෂය යාවත්කාලීන කර ගුරුවරයෙකුට වසරකින් විෂය නිර්දේශය අවසන් කරන්න පුළුවන් ආකාරයට මේ යාවත්කාලීන කිරීම සිදුකරනවා. අපි ඉතාම ඉක්මනින් ඒ වෙනස්කම් කරනවා. ඒ වගේම විෂය මාලාව සඳහා නීතිය , ලිංගික අධ්‍යාපනය, දුෂණය පිටුදැකීම වගේ විෂයන් අපි විෂය මාලාවට ඇතුළත් කරනවා. මේ වන විට අධ්‍යාපන පරිපාලන සේවයේ සහ විදුහල්පති සේවයේ විදුහල්පතිවරුන්, අධ්‍යාපනඥයන් විශාල ප්‍රමාණයකට විදේශ පුහුණුවීම් ලබා දී තියෙනවා.

මේ කලාප කාර්යාල 98 වෙනුවට කලාප කාර්යාල 200 ක් පිහිටුවනවා. කොට්ඨාස අධ්‍යාපාන කාර්යාල අහෝසි කරනවා. ඒ නව කාර්යාල සඳහා මුල්‍ය බලතල ඇතුළු සියලු බලතල දෙනවා. එවිට ඒවායේ පරිපාලනය පහසු වේවි. ඒ වටා ගුරු සංචිතයක් ඇති කරනවා. අද වන විට ගුරුවරුන් දෙලක්ෂ පනස් දහසක් පමණ ගුරුවරුන් හිටියට වසරකට දස දහසක් ප්‍රස්‍රත නිවාඩු යනවා. අනිත් නිවාඩු වර්ග ටික තව දසදහසක් විතර ගන්නවා. එතකොට බැලුවාම සමහර වෙලාවට ළමයින්ට ඉගෙන ගන්න ගුරුවරුන් නෑ. ඒකට විසඳුමක් ලෙස අපි ගුරු සංචිතයක් ඇති කරන්න කටයුතු කරමින් යනවා. හැම කලාපයකටම විෂයන් අනුව ගුරු සංචිතයක් දානවා. ඒ වගේම සුරක්ෂා රක්ෂණ ක්‍රමයේත් මේ වසරේ සිට ගෙවීම් වැඩි කළා. ඒ වුණාට අපි මේවා කොච්චර කිව්වත් කළත් මේවා පත්තරවල දාන්නේ නෑ. අපි මෙතන කොච්චර කිව්වත් මේවායින් දාන්නේ පොඩි කෑල්ලක් විතරයි.

අද මම ඉන්න මේ සංඝමිත්තාවේ දරුවන් හරි වාසනාවන්තයි. ඒ වගේම මේ රටේ විභාග ප්‍රතිඵලවලින් හොඳම ප්‍රතිඵල පෙන්වා තියෙන්නෙත් කාන්තාවන්. 2018 උසස් පෙළ ප්‍රතිඵල අනුව ඒ - 3 සාමාර්ථ ගත් පිරිමි සිසුන් 1775 ක් ඉන්න විට කාන්තා සිසුන් 3535 ක් ඉන්නවා. විශ්ව විද්‍යාලයට පිරිමි සිසුන් 5703 ක් සුදුසුකම් ලබන විට සිසුවියන් 109703 සුදුසුකම් ලබනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපේ පද්ධතිය කාන්තාවන් විසින් අක්‍රමණය කරලා. මට පත්වීම් දෙද්දී පිරිමි ගුරුවරු හම්බවෙන්නේ හරිම කලාතුරකින්. අද මම මෙතන සංඝමිත්තා විද්‍යාලයේ විශ්ව විද්‍යාලයට තේරුණු දරුවන්ට තෑගි දෙන්න ගියා නම් මට හවස් වෙනකම් ලබා දෙන්න වෙනවා. ඒ තරම් උසස් ප්‍රතිඵල තියන පාසලක් සංඝමිත්තාව කියන්නේ.

අපි 2015න් පස්සේ සෑම පාසලකමටම මුල්‍යමය ආධාර ලබා දුන්නා. ඉස්සර මවුපියන්ගෙන් මුදල් එකතු කරපු එක අපි නවත්වලා තියෙනවා. අදත් එකතු කිරීම් තියෙනවා. නමුත් එය අපි පාලනය කර තියෙනවා. දැන් එහෙම මුදල් එකතු කරනවා නම් අවසරයක් ගත යුතුයි. අපි ඒ ආකාරයෙන් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කර ආරක්ෂා කරන්න කටයුතු කර තියෙනවා.

උගත් බුද්ධිමත් කෙනෙක් කිසිදිනක අනාථ වෙලා නෑ. කිසි දවසක පාරට වැටිලා නෑ. ලංකාවේ නැති වුණොත් පිට රටක හරි ගිහිල්ලා ඉන්න පුළුවන්. ඒ නිසා අපිට දෙන්න පුළුවන් හොඳම සම්පත අධ්‍යාපනයයි. දැනුම කියන එකයි. මේ හැම මවුපියන්ගේම අරමුණ තමන්ගේ දරුවන්ට හොඳ අනාගතයක් ලබා දෙන්නයි.

එක එක උප සංස්කෘතීන්ට යන්න හදන්න එපා. එක එක තරගකාරී පැතිවලට යන්න එපා. අරයා යනවා මෙයා යනවා කියලා තරගකාරී විදියට දරුවන් උස්සන් යන්න හදන්න එපා. හැමෝම දොස්තරලා කරන්න බෑ. සමහර පුංචි දරුවෝ පුංචි කාලේ දුර්වල වුණාට ඔවුන් යම් ස්ථානයක දී ජීවිතය දිනනවා. ශිෂ්‍යත්ව පාස් වන අයගෙන් 12% යි විශ්වවිද්‍යාලයට යන්නේ. විශ්ව විද්‍යාලයට ගියා කියලාම ජීවිතය දිනන්නේ නෑ. ජීවිතය දිනන්න විශ්ව විද්‍යාලයට යා යුතුමත් නෑ. ජීවිතය දිනන දරුවන් තමයි අපි අද සෑදිය යුත්තේ. හොඳ හදවතක් තියන ප්‍රායෝගික ලෝකයට මුහුණ දෙන්න පුළුවන් පරපුරක් අපි බිහිකර යුතුයි. ඒ සඳහා ගුරුවරුන්ට විශාල කර්තව්‍යයක් තියෙනවා.

සෑම දරුවෙක්ම තමන්ගේ දරුවෙක් යැයි සලකා ගුරුවෘත්තීයේ යෙදෙන්න. බටහිර රටවල ගරුවරුන්ට පන්ති කාමරයට ඇතුළු වෙන්න බෑ. තමන් උගන්වන විෂය සම්බන්ධයෙන් උපාධියක් හෝ පශ්චාත් උපාධියක් නැත්නම්, ඒ වගේම යාවත්කාලීන විය යුතුයි. එසේ වී ඒ සඳහා ලයිසන් එකක් ගත යුතුයි. අපිත් අපේ අධ්‍යාපන ක්‍රමය ඒ තැනට ගෙන ආ යුතුයි. ඒ සඳහා තමයි මේ ඩිජිටල් පන්ති කාමර හදන්නේ. අපි එළියට දාන දරුවා විශ්වයටම ගැළපෙන දරුවෙක් විය යුතුයි.

අපි ටැබ් පරිගණක දෙද්දී අපිට විවේචන තිබුණා. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා පරිගණකය හඳුන්වා දෙන කොට එදා විරෝධතා ආවා. නමුත් අවශ්‍ය දේ කළ යුතුයි.

සංඝමිත්තා විද්‍යාලයේ විදුහපතිනී චාන්දනී උඩකුඹුර මහත්මිය-

සඟමිත් විදුපියසේ උගත් බුද්ධිමතුන් පමණක් නොව සමබර පෞර්ෂයකින් හෙබි ලොව දිනන කාන්තාවන් සමාජගත කිරීම උදෙසා බාහිර විෂය සමගාමී ක්‍රියාකාරකම් අතර ක්‍රීඩාවන් 13 ක් හා විෂය සමගාමී ක්‍රියාකාරකම් 32 කින් ද පාසල ජාත්‍යන්තර ජයග්‍රහණ පවා ලබා ගනිමින් විද්‍යාලයීය කීර්ති නාමය බබලවා තිබෙනවා.

මෙවන් ජයග්‍රහණ ලබා ගැනීම සඳහා විද්‍යාලයීය උන්නතිය වෙනුවෙන් ඇපකැප වී ක්‍රියාකරන සංඝමිත් ආදි ශිෂ්‍යාවන්,ගුරු මණ්ඩලය, ඇතුළු සියලු දෙනාත් අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු සියලු දෙනාත් කෘතවේදීව සිහිපත් කරනු කැමැත්තෙමි.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා-

සමාජයේ විවිධ පුද්ගලයන් එකිනෙක කාරණා නිසා අභිමානයට පත්වෙනවා. මේ කොයි අභිමානය වුවත් ස්වභාවධර්මයට පුළුවන් එක මොහොතකින් ඒවා නැති කරන්න. නමුත් පාසලෙන් ඔබ ලබන ශාස්ත්‍ර අභිමානය කිසිවෙකුට නැති කරන්න බෑ.

තරුණ ඇමැතිවරයෙක් විදියට අපේ අකිල ඇමැතිවරයා අද සෑම විදුහලකටම වගේ භෞතික සම්පත් විශාල වශයෙන් ලබාදීලා තියෙනවා. ළඟම පාසල හොඳම පාසල සංකල්පය ඉතාම සාර්ථක වැඩ සටහනක් ලෙස රට පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම එතුමා අභීත තීරණ ගන්නවා. ඒක තමයි ඔහුගේ විශේෂත්වය. එතුමා වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කළා. ගණිතය අසමත් කියා අද පාසල් අධ්‍යාපනය නැවැත්විය යුතු නෑ. ඒ වගේම සුරක්ෂා රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම සුවිශේෂී අවස්ථාවක්. වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපනයට සුවිශේෂී දේවල් හඳුන්වා දුන්නා.

ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා-

ලක්ෂ 1000ක මුදලක් සංඝමිත්තා විද්‍යාලය වෙනුවෙන් 2016 සිට මේ දක්වා ලබා දී තියෙනවා. ගාල්ල කියන්නේ ලංකාවේ සුවිශේෂී නගරයක් .මේ අධ්‍යාපන කලාපයේ ජාතික පාසල් 17 ක් තියෙනවා. සංඝමිත්තාවේ විදුහල්පතිනිය චාන්දනී උඩකුඹුර මහත්මිය පන්දහස් හයසිය ගණනක් වු සංඝමිත්තාවන්ට අද සුවිශේෂී නායකත්වයක් ලබා දෙමින් තියෙනවා. ගාල්ල නගරයට අද තවත් ජාතික පාසලකට අවශ්‍යතාව දැනෙමින් පවතිනවා. වසර එකහාරමක් ඇතුළත අපි ගාල්ලට විශාල පිරිසක් අසුන්ගත හැකි සම්මන්ත්‍රණ ශාලාවක් සැකසීම සිදුකරනවා.අපි ඒ සඳහා දැනට ඉඩමක් ලබා ගෙන එහි ක්‍රීඩා පිටියක් ඉදිකරමින් යනවා.

මෙහි දී ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ රුපියල් ලක්ෂ 289ක් වැයකර සුහුරු පන්ති කාමර, පුස්තකාලය සහ ආපනශාලාව වෙනුවෙන් ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත හා විද්‍යාලයීය බටහිර සංගීත ඒකකයට මුල්ගල් තැබීම ඇමැතිවරුන් අතින් සිදු කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනුෂ නානායක්කාර, විජේපාල හෙට්ටිආරච්චි මහත්වරුද සංඝමිත්තා විද්‍යාලයීය ගුරු මණ්ඩලය , ආදි සිසුවියන්, මවුපියන් , සිසු දරුවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();