Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කලාකරුවාගේ දක්ෂතා මියයාමට ඉඩ නොදී රැකගත යුතුයි

Author(s): 
චමීර ඇල්ලදෙණිය

කලාකරුවාගේ දක්ෂතා නිර්මාණශිලීත්වය කලාකරුවා මියයන විට වැනසීමට නොදී ඉදිරියට ගෙන යාමට රජයක් හැටියට හා අමාත්‍යාංශය හැටියට වගකීමක් තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

මෙරට කලාකරුවා ඔවුන්ගේ හැකියාවන් නිර්මාණශීලීත්වය සමාජය වෙනුවෙන් දායාද කළ බවත් එම කලාවන් ආරක්ෂා කළ යුතු බවත් සමාජයේ මිනිසුන් නොවන මිනිසුන් සැබෑ මිනිසුන් කිරීමට කලාවට හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නෙළුම් පොකුණ රඟහලේ ඊයේ(29) පැවැති 34 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙලට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

එදත් අදත් හෙටත් සමාජයට පූර්වාදර්ශ සයමින් සමාජය යහමගට ගෙන ඒමට කටයුතු කරන මහා කලාකරුවන්ගේ පසුගිය වසරේ කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල තබන්නට ටිකක් කල් ගියා. එය අද පැවැත්වීමට කටයුතු කිරීම වැදගත් වෙනවා. කලාකරුවන් පිළිබඳ සංස්කෘතික අධ්‍යක්ෂතුමිය විශාල ලෙස කතා කළා. නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා කතා කළා. වසර දහස් ගණනක කීර්තිමත් ඉතිහාසයේ මතක සටහන් අවධි කළහොත් අපට කොතරම් දේ කලාකරුවා පිළිබද කතාකරන්නට කිබෙනවාද? අනුරාධපුර, පොළොන්නරු, කෝට්ටේ, දඹදෙණිය, යාපහුව ඓතිහාසික යුගවල කතා කරන්නට තිබෙන්නේ රසවත් වූත් ශ්‍රේෂ්ඨවූත් කලාවන් ගැනයි. මානව දයාවෙන් පිරි මානව සමාජයට දායාද කළ හැකි උතුම්ම දේ දායාද කළේ කලාකරුවායි. ගායනය, වාදනය, නාට්‍ය, ලේඛන කලාව මූර්ති කලා ඒ සියලු අංශවල බිහිවූ මහා කලාකරුවන් පිළිබද ඉතිහාසයකට අප උරුමකම් කියනවා. අද ලෝකයේ දියුණු යැයි සම්මත පිළිගන්නා වූ නව තාක්ෂණික සමාජයේ අපි දකින මහා යකඩ ගොඩවල් සිමෙන්ති කළුගල් වැලිවලින් බිහිවන්නේ හිතක් පපුවක් නැති මහා ශක්තිමත් ගොඩනැගිලි පමණයි. එහෙත් ඒ ශක්තිමත් ගොඩනැගිලිවලින් පෙන්නුම් කළ නොහැකි ශක්තියක් චින්තනයෙන් දර්ශනයෙන් කලාකරුවා සමාජය ගොඩ නැගුවා. මේ වේදිකාවේ සම්මාන දීමේ ආරම්භක අවස්ථාවේ පැමිණි කලාකරුවන්ගේ බුද්ධිමත් භාවය නිර්මාණශිලීභාවය ඔවුන්ගේ හැකියාවන්, ඔවුන්ගේ පාණ්ඩිත්වය මුළුමහත් සමාජය වෙනුවෙන් කොතරම් කැපකළාද? අද වයෝවෘද්ධ ආබාධිත කලාකරුවන් වගේම අපි ගතහොත් මෑත භාගයේ අප අතර සිට වෙන්වූ මහා කලාකරුවන් සිහිපත් කරන්න ඕන. වේදිකාවට ගෙනවිත් කලාකරුවකුට දෙන සහතිකයකට ඔහුට දෙන සුළු මුදලකට වැඩිය මේ අවධි කරන්නේ ඔවුන් සමාජයට දුන් දර්ශනය හා ඔවුන්ගේ චින්තනයයි. ඇතැමෙක් රෝද පුටුවක, ඇතැමෙක් අත්වාරුවක, තවකෙක් ඉතා අමාරුවෙන් ගමන් කරනවා. ඒ සියල්ලන් ලෝකධර්මතාව පිළිබඳ මනුෂ්‍යත්වයේ කතාව කියනවා වගේම ගුණසුවඳ තමන් සමාජයට දායාද කළ දේ සාහිත්‍යයෙන්, ගායනයෙන් කලාවෙන් කළදේ සදාතනිකව ලෝකයේ තිබෙනු ඇත. ඒ නිසා අපි සියලු දෙනාටම ගරු කළ යුතුයි. අපේ මාතෘභූමිය වෙනුවෙන් එදා මෙදා තුර යුගමෙහෙවර ඉටු කළ සියලු කලාකරුවන්ට අද දවසේ ලක්වැසි ජනතාවගේ ජාතියේ ගෞරවය හා ප්‍රණාමය පුද කරනවා. ඒ සියල්ල සඳහා යහපත් අනාගතයක් ගොඩනැගිය යුතුයි. ග්‍රාමීය සංස්කෘතියේ තිබෙන ග්‍රාමීය කලායතන දහස් ගණනක් තිබෙනවා. ඒ ග්‍රාමීය කලායතන නියෝජනය කරන්නේ බොහෝ විට පාරම්පරික කලාකරුවන්. පාරම්පරික කලාකරුවන්ගේ දක්ෂතාව හා නිර්මාණශිලීභාවය බොහෝවිට ඔවුන් මියයනවාත් සමඟ ඒ සියල්ලම මියයනවා. ඒ නිසා අපි රජයක් හැටියට සංස්කෘතික අමාත්‍යාංශය විදිහට ඒ සියල්ල පිළිබඳ අවධියෙන් සිට ඔවුන්ගෙන් රටට සමාජයට මිනිසුන්ට, මිනිසුන් නොවන මිනිසුන් සැබෑ මිනිසුන් කරන්න කලාව ගොඩනැගිය යුතුයි.

මා හිතවත් සජිත් ප්‍රේමදාස මහතා අසනීප තත්ත්වයෙන් පසුවන නිසා මේ උත්සවයට සහභාගීනොවන බව ඔබ දන්නවා. වර්තමාන රජයේ සිටින දක්ෂ අවංක කාර්යශීලී ගුණයහපත් ඇමැතිවරයෙක්. සංස්කෘතික අමාත්‍යාංශය ලැබුණේ ලැබෙන්න තිබෙන හොඳම ඇමැතිවරයාට කියා මා විශ්වාස කරනවා. ඒ නිසා ඔහු ඉක්මනින් සුව වේවා කියා නිරෝගි වේවා කියා ප්‍රාර්ථනා කරනවා. සජිත්ට මම කිහිප දවසක් කිව්වා පැය විසිහතරම දුවන්න එපා කියා. ඇතැම් වේලාවට සජිත් ඇමැතිතුමා කැබිනට් මණ්ඩලයට එන්නෙ නැතුව දුර ගිහින් වැඩ කරනවා. රෑ ගමන් බිමන් කරනවා. මම එතුමට කිව්වා රෑ 10න් පස්සෙ ගමන් බිමන් යන්න එපා කියා. එතුමා අසනීප වුණේ වැඩියෙන් වැඩ කළ නිසයි. එවැනි නිහතමානී නායකයකුගේ නායකත්වය තුළ මේ අමාත්‍යාංශය තිබීම ගැන මම සතුටු වෙනවා. එතුමාගේ අඩුව මහා අඩුවක් ලෙස දැනෙනවා. ඔබ සියල්ලන්ටම සුබ පතනවා.

නිවාස හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත මහතා-

නිවාස අමාත්‍යාංශය හරහා අප සිදු කරන්නේ ජනාවාසකරණයයි. එය නිවාස ඉදිකිරීමෙන් ඔබ්බට ගිය කාරණාවක්. මේ ඉදිකරණ ගම්මානවලට අදාළ යටිතල පහසුකම්, පාසල්, ඔසුසල් වැනි සියලුමදේ ඇති කරනවා. එමඟින් ජනාවාසකරණයක් සිදු වෙන්නේ. එම ජනාවාසකරණයෙන් ශිෂ්ටාචාරයක් බිහිවෙනවා. ශිෂ්ටාචාරය හාරහා සංස්කෘතිය බිහිවෙනවා. ඒ බිහිවන ශිෂ්ටාචාරයට සංස්කෘතිය ඉතාම වැදගත් වෙනවා. සංස්කෘතිය සුරක්ෂා කිරීමට මෙන්ම කලාකරුවා සුරක්ෂිත කිරීමට ඇමැතිවරයා ලෙස සජීත් ප්‍රේමදාස මහතා විශාල කැපකිරීමක් කරනවා. මේ සඳහා ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම හා අගමැතිවරයාගේ උපදෙස් මත අප ක්‍රියාකරනවා. එමඟින් කලාකරුවා මෙන්ම සංස්කෘතියට සුබඅනාගතයක් ඇති කළ හැකියි.

තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති අබ්දුල් හලීම්, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේෂ් රාගවන්, සංස්කෘතික මණ්ඩලයේ සභාපති ආරියරත්න කළුආරච්චි, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා ගෝකුල මහත්ම මහමත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප- සුදත් මලවීර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();