Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පසුගිය වස‍රේ බිලියන 17ක ඉලක්කයට යා හැකි වුණා

2013 වසරේ අපනයන ආදායම බිලියන 13යි

ගත වූ වසර තුනේ දී අප රජය සිදුකළ කටයුතුවල ප්‍රගතිය දෙස ආපසු හැරී බැලුවොත් 2013 දී රුපියල් බිලියන 13ක්ව තිබූ අප රටේ අපනයන ආදායම 2018 වන විට රුපියල් බිලියන 17 දක්වා වැඩි කරන්න අපට හැකි වුණා. මේක 27% ක වැඩිවීමක්. අපේ ඉලක්කය 2019 දී රුපියල් ඩොලර් බිලියන 20ක් දක්වා අපනයන ආදායමක් ලබා ගැනීමයි. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර අපනයන වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර ජයමහ මහතා පෙරේදා (28) කෑගල්ලේ දී පැවැසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ නව අපනයන‍කරුවන් 2000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන පිළිබඳ සබරගමුව පළාත් ව්‍යවසායකයන් දැනුම්වත් කිරීම සඳහා පළාත් මට්ටමින් පවත්වන 5වැනි සම්මන්ත්‍රණය පෙරේදා (28) කෑගල්ල අඹන්පිටිය ෆැක්ටරි උත්සව ශාලාවේ දී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

මෙහි දී අපනයන කර්මාන්ත සඳහා තාක්ෂණික සේවා ප්‍රදර්ශනය විවෘත කිරීම, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම, නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර, මහා මාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක ඉන්දිරා මල්වත්ත යන මහත්ම මහත්මීන් අතින් සිදුවිය.

මෙහි දී තවදුරටත් අදහස් දැක්වූ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා,

අපේ රටේ සංවර්ධන ඉලක්කයන් කරා ගමන් කරද් දී ඒවා සපුරා ගන්න නම් අපේ අපනයනකරුවන් ශක්තිමත් කළ යුතුයි. අපේ අපනයනයන් වැඩිකළ යුතුයි. ඒ තුළින් තමයි රටක ආදායම් තත්ත්වය ඉහළ නංවන්න පුළුවන් වී තිබෙන්නේ. අපට පුළුවන් වුණා ඒ තත්ත්වය ඔප්පු කර පෙන්වන්න.

අපි 2015 දී බලයට පත්වන විට රැකියා ලක්ෂ 10ක් ගැන කථා කළා. සමහරු කියනවා කොහෙද ඒ රැකියා නිර්මාණය වෙලා තිබෙන්නේ කියලා.

රජය ජන සංඛ්‍යා ලේඛන තොරතුරු ගත්විට අපි පැහැදිලිවම පෙන්වා දෙනවා. මේ ගතවූ වසර තුනහමාර ඇතුළත රැකියා ලක්ෂ 5ක් නිර්මාණය වෙලා තිබෙනවා. රජයේ සහ පෞද්ගලික අංශයේ සමහරු හිතාගෙන ඉන්නවා මේ රැකියා ලක්ෂ දහයම රජයේ ආයතනවල කියල. අපි එහෙම කියලත් නෑ. එහෙම රජයේ රැකියා නිර්මාණය කිරීමේ හැකියාවක් කිසිම රටක රජයකට බෑ. ඒ නිසා වැඩි වැඩියෙන් අපනයනකරුවන් නිර්මාණය කිරීමට අවශ්‍ය මෙන්න මේ කාරණයටයි.

අපි මුලින්ම මේ වැඩසටහන යාපනයේ ආරම්භ කරද් දී විශාල පිරිසක් එතනට එකතු වුණා. අපි එතනින් සිය දෙනකු හඳුනාගෙන ඔවුන්ගෙන් දසදෙනෙක් සෘජු අපනයනකරුවන් බවට පත් කළා. ඒ අය අද අමෙරිකානු ඩොලර් 16600ක් රටට උපයා ගත්තා.

ඊළඟට අපි මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කළා. එයින් 98 දෙනකු හඳුනාගෙන ඔවුන්ගෙන් 14ක් සෘජු අපනයනකරුවන් බවට පත් කර ගත්තා. එයින් අපට අමෙරිකානු ඩොලර් 14, 900ක පමණ ආදායමක් ලබා ගන්න හැකි වුණා.

දකුණු පළාතේ මාතර දී හඳුනාගත් සියදෙනාගෙන් විසිදෙනෙක් සෘජු අපනයනකරුවන් බවට පත් වුණා. ඒ වගේම හතරවැනි වරට කුරුණෑගල දී හඳුනාගත් ව්‍යවසායකයන් සිය දෙනාගෙන් හත්දෙනකු සෘජු අපනයනකරුවන් බවට පත් වුණා. අද වන විට ඒ අයත් අමෙරිකානු ඩොලර් 175000 ක පමණ ආදායමක් ලබා ගන්නවා.

මීට අමතරව ඒ ඒ පළාත්වල දී වක්‍ර ආදායම්කරුවන් 40ක් පමණ හඳුනා ගත්තා. අද ඔවුන් ද අමෙරිකානු ඩොලර් 312000ක පමණ ආදායමක් උපයා ගෙන තිබෙනවා.

මෙහෙම සම්මන්ත්‍රණයන්ට එක්වන වැඩි පිරිසකට අපනයන ඉලක්කවලට යෑමට හැකියාව ලැබෙනවා. අපනයන සංවර්ධන මණ්ඩලය තුළින් මාර්ග උපදේශනය ලැබෙනවා.

නිෂ්පාදන හා සේවාවලට යොමු කිරී‍මට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වාගේ ආයතන මඟින් තත්ත්වය හා ප්‍රමිතිය ආරක්ෂා කර ගන්න කටයුතු කර දෙනවා.

අපි ගිය වසරේ දැවැන්ත ටයර් කර්මාන්ත ශාලාවක් සඳහා වැඩ ආරම්භ කළා. එය රුපියල් මිලියන 500ක අයෝජනයක්. මේ ප්‍රදේශයේ රබර් වගාකරුවන්ට හොඳ ආරංචියක්. අපි මෙතෙක් රබර් අමුද්‍රව්‍යයක් ලෙසට තමයි අපනයනය කළේ.

මේ ඉදිවන නව කම්හලේ එක වසරකට මිලියන 12ක ටයර් නිෂ්පාදනය වෙනවා. වසරේ ටයර් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස් දහසයි. අපේ රටේ සමස්ත රබර් නිෂ්පාදනයත් මේ සඳහා ප්‍රමාණවත් වෙන්නේ නෑ.

මේ තුළින් රැකියා තුන්ලක්ෂයක් දක්වා වැඩි කර දෙන්න හැකි වෙනවා. දැනට එම කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් වැඩ 70%ක් නිමවෙමින් පවතිනවා. මේ වසර අවසානය වන විට මේ කර්මාන්ත ශාලාවේ වැඩ ආරම්භ කිරීමට හැකිවේ යැයි අපි අදහස් කරනවා. ඒ වගේම ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දැවැන්ත වානේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරනවා.

අයෝජනය අමෙරිකානු ඩොලර් බිලියන එකක්. හම්බන්තොට වරාය හදන්නත් ගියේ ඩොලර් බිලියන 1.2යි. ඒ වගේ තමයි මේ වානේ කර්මාන්ත ශාලාවත්. මේ සියල්ල අපනයන ඉලක්ක කර ගත් ශ්‍රී ලංකාවේ දේශීය ව්‍යාපාර ලෙස ආරම්භ කරනවා. ශ්‍රී ලංකා, සිංගප්පූරු හා චීනයේ ව්‍යාපාරිකයන් පිරිසක් එකතු වූ සමාගමක් මඟින් මෙහි වැඩ කටයුතු කරගෙන යනවා.

ලබන මස 28 වැනිදා බිංගිරියේ අක්කර 1200ක දැවැන්ත කර්මාන්ත පුරයක වැඩ අගමැති අතින් ආරම්භ කරනවා. පළමු අදියරින් පමණක් එහි කර්මාන්ත ශාලා 25කට ආසන්න ප්‍රමාණයක් ඉදිවෙනවා.

අපි ගතවූ අවුරුදු තුන තුළ ආරම්භ කළ වැඩවල ප්‍රගතිය දකින්න පුළුවන් මේ වසරේදී. මේ ආණ්ඩුව පටන්ගත් වැඩවල ප්‍රගතිය ඇස්වලින් දකින්නත් දැනෙන්නත් පුළුවන් කියලයි මම කියන්නේ.

මේ රජය තව ඉදිරියට යනවා. ගතවූ වසර තුනහමාරක් තුළ අපට අගමැතිවරයෙක් හිටියට ඇමැති මණ්ඩලයෙන් කොටසයි තිබුණේ. අප‍ිට දැන් තිබුණට වඩා ශක්තිමත් අපේම රජයක් තිබෙනවා.

අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම විදහා දක්වන ප්‍රදර්ශනයක්ද මෙහි දී පැවැත්වූ අතර ඒ සඳහා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, කාර්මික තාක්ෂණික ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, පශ්චාත් අස්වනු තාක්ෂණ ආයතනය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නැනෝ තාක්ෂණ පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය, බියුරෝ වෙරිටාස් කන්සියුමර්ස් ප්‍රඩක්ට්ස් සර්විස් ලංකා පුද්ගලික සමාගම, ටියුලිප් ටෙක්නොලොජිස් පුද්ගලික සමාගම ආදී අයතනද එක්ව තිබුණි.

සබරගමුව සමූහ සහ කෑගල්ල සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();