Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වරායේ ගාස්තු සංශෝධනය මාර්තු 15 දා තෙක් කල්යයි

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවාවන්ගේ සහ සීමාසහිත ජයබහලු පර්යන්ත සමාගමේ ගාස්තු සංශෝධනය කිරීමට හිටපු වරාය සහ නාවික කටයුතු ඇමැතිවරයා විසින් ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරීම මාර්තු 15 වැනිදා දක්වා කල් දැමීමට වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පියවර ගෙන තිබේ.

වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන්ගෙන් සහ වරාය ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්ව නියෝජනය වන පරිදි පත් කළ කමිටුවකින් මේ ගාස්තු සංශෝධනය සම්බන්ධ නිර්දේශ ලබාගෙන ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමටත් ඇමැතිවරයා කටයුතු යොදා ඇත.

වරාය ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය දින 51 රජයේ කැබිනට් මණ්ඩලය විසින් පසුගිය නොවැම්බර් 5 වැනිදා ගනු ලැබිණි. එසේ වුවත් එයට වරාය සහ නාවික ක්ෂේත්‍රයේත්, ආනයන සහ අපනයන ක්ෂේත්‍රවලත් බොහෝ පාර්ශ්වවල විරෝධය එල්ල විය.

ඔවුන්ගේ විරෝධතා සහ මැසිවිලි සැලකිල්ලට ගනිමින් මේ ගාස්තු සංශෝධනය මාර්තු 15 වැනිදා දක්වා කල්තැබීමට වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට ඊයේ (29) පෙරවරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිවිය.

මේ ගාස්තු සංශෝධනය සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද කමිටුවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන් මෙන්ම ලංකා නැව් නියෝජිතයන්ගේ සංගමයේ, ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ආනයන අංශයේ, ශ්‍රී ලංකා කාර්යෝපාය සහ නැව්/ගුවන් භාණ්ඩ ප්‍රවාහකයන්ගේ සංගමයේ, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ, භාණ්ඩ නිෂ්කාෂණ සහ ප්‍රවාහන නියෝජිතයන්ගේ ආයතනයේ සහ ජාතික වාණිජ මණ්ඩලයේ නියෝජිතයෝ ඇතුළත් වෙති.

අදාළ ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග මේ කමිටුව විසින් නිර්දේශ කරනු ලැබීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය විසින් මේ සම්බන්ධ ඉදිරි තීරණ ගැනීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();