Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දඹදිව වන්දනාවේ අභියෝග ගැන ගමන් සගයන් කතා කරයි

26 ජනවාරි, 2019

දඹදිව වන්දනාමාන පිණිස වන්දනාකරුවන් ගෙන යාම අද බොහෝ ප්‍රචලිත වාණිජ ව්‍යාපාරයකි. මේ ක්ෂේත්‍රයේ නිරතව ඇති ව්‍යාපාර එකමුතුව සංවිධානද පිහිටුවා ගෙන ඇත. ඇතැම් ආයතන අඩු මුදලකටද ඇතැම් ආයතන වැඩි මුදලකටද වන්දනාකරුවන් රැගෙන යාම සිදු කරති.

වන්දනාකරුවන් සැම විටම බලන්නේ තමන්ට අඩු මුදලකට යාමට හැකි ආයතන දෙස වන නමුත් ඇතැම් විට ඒ අඩු මුදලට යම් යම් දේ අඩුවීමටද ඉඩ ඇත.

දඹදිව වන්දනාකරුන් රැගෙන යන ආයතනවලින් සමන්විත පිරිස් මේ දිනවල ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගැන කතා කරති. ඩොලරයේ මිල ඉහළ යාමේ සිට ඔවුන් ඇති ගැටලු හා දඹදිව වන්දනාව පිණිස යාමේදී අවබෝධයෙන් යුක්තව කටයුතු කළ යුතු බව ඔවුහු පැවසූහ.

 

එහිදී ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමයේ සභාපති රෝහිත සිරිවර්ධන මහතා පෙන්වා දුන්නේ තම සංගමය වසර 25කට අධික කාලයක් තිස්සේ වන්දනාකරුවන් දඹදිව වන්දනා මාන පිණිස රැගෙන යන බවත් අත්දැකීම්වලින් පිරිපුන් පිරිස් හා කළමනාකරුවන්‍ගෙන් සැදුම්ලත් ආයතන පමණක් තම සංගමයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති බවත්ය. විශේෂයෙන්ම දඹදිව වන්දනාව නිවැරැදිව පහසුවෙන් සිදු කර ගන්නේ කෙසේද යන්න ගැන අවබෝධයක් තිබිය යුතු බවත් අඩු මුදලක් අය කරනු ලබන බව පෙන්වා වන්දනාකරුවන් විශාල පිරිසක් රැගෙන යෑම තම සංගමයේ අරමුණ නොවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

තම සංගමයේ සාමාජිකත්වය ලබා ඇති ආයතන 200කට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බවත් සංගමයේ සාමාජික ආයතනවල ප්‍රධාන කාර්යය වන්නේ දඹදිව වන්දනාවට වන්දනාකරුවන් ආරක්ෂාකාරීව ගෙන යෑම බවද කීය.

එහිදී මතු වන ගැටලු රැසක් ඇති බවත් ඒ ගැටලු විසඳාලීම පිණිස රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම ජාතික ගුවන් සේවය මඟින් දේශීය වන්දනාකරුවන් ගෙන යෑමට තම සංගමයේ නියෝජිත ආයතන සූදානමින් සිටියත් ජාතික ගුවන්‍ සේවයේ බොහෝ කොන්දේසි හා නීති වන්දනා ආයතන අපහසුතාවට පත් කරන බවද පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම දඹදිව වන්දනාමාන පිණිස ගමන් ගන්නා බොහෝ පිරිස් වයෝවෘද්ධ අය වන බවත් අසනීපයක් වී හදිසි අවස්ථාවක ඔවුන්ට ගමන් කළ නොහැකි වුවහොත් ප්‍රවේශ පත්‍ර මිල ආපසු ලබා දීමට ජාතික ගුවන් සේවාව කටයුතු නොකරනු ලබන බවත් ඉන්දීය ගුවන් සේවා ආපසු මුදල් ලබා දෙනබවද ඒ මහතා පෙන්වා දුන්නේය.

සංගමයේ ලේකම් රංගනාත් කරුණාදාස මහතා මෙහිදී පෙන්වා දුන්නේ ගුවන් තොටුපොළ බද්ද හා ඉන්ධන බද්ද සැලකිය යුතු ලෙස ඉහළ නංවා තිබීම නිසා අඩු මිලකට වන්දනාකරුවන් රැගෙන යෑමට කිසිවකුට නොහැකි බවයි. 2016 වසරේදී රුපියල් 4200ක්ව තිබූ ගුවන් තොටුපොළ බද්ද පසුව රුපියල් 7000ක් දක්වා වැඩි වුණු බවත් මේ වන වට එය ඩොලර් 50ක් (රුපියල් 9000කටත් වැඩි) මිලකට පත්ව ඇති බවද ඒ මහතා කීය.

මදුරාසිය හරහා මෙන්ම දිල්ලිය හරහා ගුවන් ගමන් මඟින් දඹදිව වන්දනාවන් සිදු කරනු ලබන බවත් මදුරාසියට යෑම‍ට කටුනායක සිට පැයක පමණ කාලයක් ගත වන නමුත් දිල්ලියට යෑම සඳහා පැය 3කට අධික කාලයක් ගත වන බවත් ගුවන් ගමන් ගාස්තුද ඒ අනුව සැලකිය යුතු ලෙසින් වැඩි වන බවද පෙන්වා දුන්නේය.‍ මදුරාසියට ගුවන් ටිකට් පතක් මේ වන විට රුපියල් 28000ක් පමණ වන බවත් දිල්ලියට රුපියල් 45000කට අධික මිලක් බවද ඔහු කීය.

එමෙන්ම කිලෝමීටර් 3000ක පමණ දුර ගෙවා යෑමට බස් රථ වෙන් කර ගත යුතු බවද, නවාතැන් ගාස්තු ආහාර ගාස්තු ආදිය අය කර ඉන්දිය වීසා හා නේපාල වීසා මෙන්ම ගුවන් තොටුපොළ ගාස්තු ආදි සියල්ල ගෙවා ඖෂධ, ගමන් මලු දෙකක් ආදී සියල්ලම සපයා දී රුපියල් ලක්ෂ 4ක් හෝ 5ක් වැනි මුදලකට වන්දනාව නිමවා එන තුරු සෑම අයෙකුම රක්ෂණය කර රුපියල් 65000ක් හෝ ආසන්න මුදලකට මේ සේවාව ලබා දීම කිසිසේත්ම කළ නොහැකි බවද පෙන්වා දුන්නේය.

එවන් මුදලකට දඹදිව වන්දනාව යම් ආයතනයක් සිදු කරනවා නම් කොතැන හෝ වන්දනාකරුවන් අපහසුතාවට පත් වන ස්ථානයක් තිබෙන බවද ඔහු කීය.

ඇතැම් විට දිවා රෑ නොබලා ගමනේ යෙදෙන්නට වන්දනාකරුවන්ට සිදු වීමට ඉඩ ඇති බවද ඔහු කීවේය. එවිට නවාතැන් ගාස්තු අඩු කර ගැනීමට ඒ සංවිධායකයන්ට අවස්ථාව ලැබෙනු ඇතැයිද නොඑසේ නම් නවාතැන් ගැනීමේදී ඇති වන අපහසුතා තිබෙන්නට හැකි බවද ඔහු පැවසීය. එසේත් නැත්නම් ආහාර සැපයීමේදී අඩුපාඩු සිදු වන්නට පුළුවන් බවද රංගනාත් මහතා පවසයි.

මෙවන් අකටයුතුකම් නිසා මේ කර්මාන්තය කඩාවැටීම් මෙන්ම ජනතාව වන්දනාකරුවන්ට මේ ආයතන කෙරෙහි ඇති විශ්වාසය නැති වන්නට ඉඩ ඇති බවද ඔහු කීය.අවශ්‍ය ඕනෑම අයකුට බුද්ධශාසන අමාත්‍යාංශයේ අදාළ ආයතන ලියාපදිංචිදැයි පරීක්ෂා කර බැලිය හැකි බවත් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වන්දනා ආයතන ලියාපදිංචි කළ යුතු බවට නියමයක් පනවා තිබුණද ඇතැම් ආයතන නීති විරෝධී ලෙස කටයුතු සිදු කර වන්දනාකරුවන් රැගෙන ගොස් වන්දනාකරුවන් ගෙන යෑම පවා තහනම් කර තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය. මේ නිසා අවශ්‍ය වන්දනාකරුවන් හෝ බාරකරුවන්ට අමාත්‍යාංශයෙන් විමසා අදාළ ආයතනය අමාත්‍යාංශයේ ලියාපදිංචිදැයි දැන ගන්නට හැකිය. අදාළ ආයතනය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇත්ද යනාදී වශයෙන් තොරතුරු ලබාගත හැකි බවද කීය. සංගම‍යේ ලියාපදිංචි ඕනෑම ආයතනයක් සම්බන්ධ වගකීම සභාපති, ලේකම් හෝ අනෙක් ඕනෑම නිලධාරියකු විසින් බාර ගනු ලබන බවද ඔහු කීය.

සංගමයේ ප්‍රධාන සංවිධායක හර්බට් විජේතුංග මහතා පවසන්නේ පෙබරවාරි මස සිට අප්‍රේල් මාසය දක්වා ඉන්දීය සංචාරයට සුදුසු 1 වන කාලසීමාව වන බවත් දෙවැනි කාලසීමාව ලෙස සලකන්නේ අගෝස්තු මාසයේ සිට බවයි. ඇතැම් වන්දනාකරුවන් බැංකු ණය මඟින් වන්දනා ගමන් සිදු කරන බවත් මේ වන විට මැදපෙරදිග ගමන් බලපත්‍ර අහෝසි කිරීම තුළ හදිසියේ අවසන් මොහොතේ පැමිණෙන වන්දනාකරුවකුට රුපියල් 10000ක් ගෙවා සියලු රටවලට වලංගු ගමන් බලපත්‍රයක් අරගත යුතු බවයි.

එමෙන්ම බුදුන් උපන් දේශය මෙරට බව පෙන්වා දීමට ඇතැම් අය යත්න දැරීමද විශාල ගැටලුවක් බව පෙන්වා දුන් ඒ මහතා ආරක්ෂාකාරී දඹදිව වන්දනාවක් සිදු කිරීමට නම් ‍බුද්ධශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි ආයතනයක් තෝරාගැනීම ඉතාම වැදගත් බවද එසේම තම සංගමයේ ලියාපදිංචි ආයතනයක් හරහා ගමන් කරන්නකුට වන්දනා ගමනේදී සිදු වන සියලු කටයුතු සම්බන්ධව සොයා බලන බවද යම් අයකු රෝගාතුර වීමක් සිදු වුවද එහිදී අවශ්‍ය කරනු ලබන සියලු පහසුකම් සපයනු ලබන බවද කීය.

අපි මේ සම්බන්ධව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නන්දනී කන්නන්ගර මහත්මියගෙන් විමසීමක් කෙළෙමු‍. ඇය පැවසුවේ දඹදිව වන්දනාව පිණිස යන පිරිස් හෝ කණ්ඩායම් හෝ ලියාපදිංචි වීමට දැනුම් දී ඇතත් එය අනිවාර්යය කර නැති බවයි. ඇතැම් විට පෞද්ගලික පිරිස් කණ්ඩායම් ලෙස ගමන් කරනු ලබන හෙයින් මෙ අනිවාර්යය කිරීමේ ගැටලු මතුව ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

කෙසේ වුවත් අමාත්‍යාංශයේ ලියාපදිංචි දඹදිව වන්දනා ආයතන සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට හැකියාවක් ඇති බවත් එසේ ලියාපදිංචි නොවී වන්දනාකරුවන් ගෙන යන කණ්ඩායම් ගැන අමාත්‍යාංශයට කිසිදු වගකීමක් දැරිය නොහැකි බවත් පැවසූ ඇය ඒ සම්බන්ධව සාමාන්‍ය සිවිල් නීතිය යටතේ පොලිසියට දැනුම් දී කටයුතු කිරීමට සිදු වනු ඇති බවද පැවසීය.

එසේම දඹදිව වන්දනා කිරීමේදී නිදහස් වීසා ලබා දීමට හැකියාව ඇත්තේ අමාත්‍යාංශයේ ලියාපදිංචි ආයතන මඟින් ගමන් ගන්නා වන්දනාකරුවන්ට පමණක් බවද ඇය කීවාය.

දඹදිව වන්දනා පිරිස් රැගෙන යන ආයතන සම්බන්ධ කතාව එසේය. දඹදිව වන්දනා පිරිස යන්නන් මෙන්ම ඔවුන්ගේ භාරකරුවන්ද දැන් මඳක් විමසිලිමත් විය යුතුය. අය කරනු ලබන මුදලේ වටිනාකම කෙසේ වුවත් බුද්ධශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි ආයතනයක්දැයි සොයා බලා දැනගැනීම නම් ඉතාම වටිනා බව මේ අනුව අපට පෙනී යයි. එමෙන්ම ආයතන 200ක පමණ සංවිධානයෙන් යුත් ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමයද තම සංගමයේ ලියාපදිංචි ආයතන වෙනුවෙන් වගකීම් දරන බව පුන පුනා පවසනවා නම් ඒ ගැනද අවධානය යොමු කිරීම වටිනා බව මෙහිදී පෙන්වා දිය යුතුය.

ජාතික ගුවන් සේවයේ ගැටලු මෙන්ම රාජ්‍ය මැදිහත් වීමෙන් විසඳා ලිය යුතු ගැටලුද විසඳා දෙන්නේ නම් එය වඩාත් රටේ ආර්ථිකයට වැඩදායී වන්නේ අපේ රටේ ධනය අසල්වැසි ඉන්දියාවට පොම්ප කරනවාට වඩා අපේ ගුවන් සේවාව නංවාගැනීම වෙනුවෙන් කරනු ලබන ආයෝජනයක් වන හෙයිනි.

 



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();