අප බොහෝදෙනෙක් සතියට පැය 40ක් හෝ 50ක් ඇතැම්විට පැය 60ක් පමණ වැය කරන්නේ කාර්යාල රාජකාරී කටයුතු වෙනුවෙනි. නමුත් ඒ සමස්ත කාලයම අප වැය කරන්නේ රාජකාරි කටයුතු සඳහා ද යන්න නැවත නැවතත් ඇසිය යුතු ප්‍රශ්නයක් වී තිබේ. මන්ද අන්තර්ජාල භාවිතය, සංගීතයට සවන්දීම හෝ වීඩියෝ නැරඹීම මෙන්ම කාර්යාලීය ඕපාදූප කතාබහත් නිසා කාලය ගෙවී යාම සිදුවන්නේ ඉතා වේගයෙනි. මෙනිසා දවසේ වටිනා කාලය අපට අහිමිවී යාම වළක්වාගැනීමට උත්සාහ කිරීම වැදගත්ය. පහත දැක්වෙන්නේ එසේ නිකරුණේ කාලය නාස්ති වීම වළකා කාර්යක්ෂම දවසක් ගත කිරීමට උපකාරී වන සාධක කිහිපයකි.
මිනිත්තු 07 ශරීර අභ්‍යාසය
මෙය මිනිත්තු 07ක් යැයි කියන්නේ එය උවමනාවට වඩා දිගුවීමෙන් ඊට වැය කරන කාලය අපතේ යාම වැළැක්වීමටය. ශරීර අභ්‍යාසයකට යොමුවිය යුත්තේ ඇත්තෙන්ම ඒකාකාරී බවින් මිදීමටය. දිගින් දිගටම එකම ඉරියව්වෙන් යම් කටයුත්තක් කිරීමේදී ඒ සඳහා පවතින කාර්යක්ෂමතාව පහළ යයි. එනිසා අභ්‍යාසයක් හරහා නැවත ඒ ශක්තිය ලබාගත යුතුය.
උදේ අහරේ වෙනස
බොහෝදෙනා හුරුවී සිටින්නේ උදෑසන නිවසින් පිටවීමට පෙර දඩිබිඩියේ පාන් පෙත්තක් වැනි යමක් ගිල දමා නිවසින් පිටව යාමටය. නමුත් දවසේ වැදගත්ම ආහාරවේල හා පෝෂණයෙන් වැඩි විය යුතු ආහාරවේලත් උදෑසන ආහාරවේල බව නොදන්නේ ද නොවේ. වැඩි කාලය ගත නොවීමකින් තොරව සකසා ගත හැකි කදිම උදෑසන ආහාරයක් වන්නේ පලතුරු බීමක් නිවසේදීම සාදාගැනීමය. ඇපල් ගෙඩියක්, නාරං ගෙඩියක්, පිපිඤ්ඤා පෙති කිහිපයක්, කෙසෙල් ගෙඩියක් හා නිවිති කොළ කිහිපයක් වැනි විවිධ ද එක්කර රසවත් හා ගුණ සහිත බීමක් සුළුවේලාවකින් සාදා සුළු වේලාවකින් ආහාරයට ගැනීමට ද පුළුවන.
දවසට ජයග්‍රහණ 03ක්
ඔබ කාර්යාලයට ගොස් නැවත නිවසට පැමිණි පසු බිරිඳ හෝ හැන්දෑවේදී ඔබේ පෙම්වතා පෙම්වතිය හමුවුණු පසු හෝ ඔවුන් ඔබෙන් අසන පොදු ප්‍රශ්නයක් තිබේ. ‘කොහොමද අද දවස? ’
එහිදී ඔබ ලබාදෙන උත්තරය ඔවුන්ට කොපමණ බලපෑම් කළත් නැකක් එය ඔබේ සිතට යම් බලපෑමක් ගෙන එන්නකි. එනිසා ඒ ප්රශ්නය අපේක්ෂාවෙන් හා ඊට සතුටුදායක පිළිතුරක් ලබාදීමේ අපේක්ෂාවෙන් දිනය ආරම්භයේදීම සාර්ථක දවසක් ගතකිරීමට සැලසුම් කරගත හැක. ඒ සඳහා ඇති හොඳම මාර්ගයක් වන්නේ දවස තුළ සම්පූර්ණ කිරීමට ඇති දේවල් තුනක් පිළිබඳ මූලිකව සිතේ තබාගෙන වැඩ කිරීමටය. දවස අවසානයේදී ඒ දේවල් නිම ක ඇත්නම් සිතට දැනෙන සැහැල්ලුව කියාපාන්නේ දවස සාර්ථකව ගෙවී ගිය බවය.
නියමිත වේලාවන් වෙන් කරන්න
සියලු දෙනාම වාගේ දවසේ වැඩ සංවිධානය කිරීමේදී කිරීමට ඇති වැඩ ලැයිස්තුවක් සකසන මුත් බොහෝවිට ඒ ඒ කාර්යය නිම කළ යුතු කාලවේලාව සටහන් කරන්නේ නැත. ඇත්තෙන්ම එය දුර්වලතාවකි. එසේ කාලය සටහන් කිරීමෙන් ඉතා ඉහළ කාර්යක්ෂමතාවක් ළඟා කර ගත හැකිවේ.
කාලය වෙන් කිරීමේදී ඒ ඒ කාර්යයේ ස්වභාවය අනුව වේලාව වෙන් කරමින් හා අමතරව සියයට තිහක පමණ කාලයක් ද එක් එක් කාර්යය වෙනුවෙන වෙන්කළ යුතුය.
ඇතැම් විට දින කිහිපයක් ගත වන ව්‍යාපෘතියක ඔබ නිරත වී සිටී නම් එය කොටස් කිහිපයක් ලෙස ගෙන සැලසුම් කිරීමටත් ක්‍රියාත්මක කිරීමටත් වැය වන කාලය තක්සේරු කළ හැක.
මෙසේ නිසි ලෙස කාලය කළමනාකරණය කරගැනීමෙන් දවසේ සියලු කාර්යයන් අතපසු වීමකින් තොරව ඉටු කරගත හැකි වනු ඇත.
දිවා ආහාරයෙන් පසු මොහොතක්
ඔබේ දවස දෙකට බෙදන්නේ දිවා ආහාර වේලාවය.එනිසා දිවා ආහාරය ලබාගැනීමෙන් පසු මිනිත්තු කිහිපයක විවේකයක් ලබාගෙන මෙතෙක් දවස ගෙවුණු ආකාරය සිතා බැලීම වැදගත්ය. මෙතැනදී ඔබේ පරිගණකය ක්‍රියාවිරහිත කර දමා රැස්වීම් කාමරයට හෝ වෙනත් නිදහස් තැනකට ගොස් දවසේ ඉතිරි කාලය සැලසුම් කර ගැනීමට උත්සුක විය හැක. අවසානයේදී උදේ වරුවේ ගිලිහුණු වේලාවත් සවස් වරුවේදී එක්කර ගැනීමෙන් දවස සාර්ථකව අවසන් කළ හැකි වනු ඇත.
from silumina
0 Comments