Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රීලන්කන් ගැටලු විසඳන ජනාධිපති කමිටුවේ වාර්තාව ජනපතිට

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් එහි නව ප්‍රතිව්‍යුහගත කිරීමකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂඥ කමිටුව සිය කමිටු වාර්තාව (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.

රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද්දේ පසුගිය ජනවාරි 07 වනදා යි. ආයතනය ඈවර කිරීම හා නැවත ස්ථාපනය කිරීම, කළමනාකරණ ගිවිසුම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ප්‍රාග්ධන උත්පාදනය යන අංශ තුන පිළිබඳ මෙම කමිටු වාර්තාව මගින් නිර්දේශ යොමු කර තිබෙන අතර, එහි තුන්වන කරුණ වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ප්‍රාග්ධන උත්පාදනය යන කොටස පිළිබඳ අවධානය යොමු කර ඉදිරි කටයුතු කිරීම වඩා යෝග්‍ය බව මෙහි දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේ ය.

ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩලයක් හා කළමනාකාරිත්වයක් හඳුනාගැනීම, ව්‍යාපෘති ආකෘති සංශෝධනය, මානව සම්පත් ප්‍රතිව්‍යුහගත කිරීම, ස්වාධීන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඉදිරිපත් කිරීම, සන්නාම ප්‍රවර්ධනයේ දී සහයෝගීතාව පිළිබඳ සොයා බැලීම යන කරුණු පිළිබඳ අවධානය යොමුකර කටයුතු කළයුතු බවට ද කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

කමිටු වාර්තාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු කමිටුවේ සෙසු සාමාජිකයෝ එම අවස්ථාවට එක්ව සිටියහ.

නියමිත කාලයට අනුව කමිටු වාර්තාව භාරදීමට පියවර ගැනීම පිළිබඳ මෙහි දී ජනාධිපතිතුමා එහි සියලු සාමාජිකයන්ට තම ස්තූතිය පිරිනැමී ය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();