අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ මැදිහත්වීමක් සිදුකරනවිට ඒ සඳහා නීති රෙගුලාසි සහ චක්‍ර ලේඛ මඟින් ගත හැකි ක්‍රියාමාර්ගවලට වඩා බලවත් මැදිහත්වීමක් නිවැරදි සමාජ දැනුවත් කිරීම් හරහා සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ජනාධිපති කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාවට නංවනු ලබන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියෙහි සිවුවැනි දිනයට අදාළව යෙදී තිබූ දේශපාලන නායකයින් සමඟ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැවති සංවාද හමුවට එක්වෙමිනි.
පසුගිය 24 දා පෙරවරුවේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයේදී දේශපාලන නායකයින් රැසකගේ සහභාගිත්වයෙන් මෙම සංවාද හමුව පැවැත්විණි.
මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව, සෞඛ්‍ය ගැටලු, මානසික පීඩා, ජීවිත විනාශ, පවුල් සම්බන්ධතා බිඳ වැටීම්, සමාජ පරිහානිය ඇතුළු විවිධ ගැටලු කෙරෙහි රටේ දරුවන් සහ තරුණ පරපුර නිවැරදිව දැනුවත් කිරීම අඛණ්ඩව සිදුවිය යුතුව පවත්නා බවත්, එවිට වැරදි නුසුදුසු සහ අහිතකර භාවිතයන් කෙරෙහි දරුවන් තුළ බියක් ඇතිවන අතර ස්වයං පාලනයකට යොමුවීමේ වැඩි නැඹුරුතාවක් ඇති කරගන්නා බවද අමාත්‍යවරයා පැවැසීය.
කිසියම් මත්ද්‍රව්‍යයක් සම්බන්ධව තොරතුරු අනාවරණය වූ විට ඒ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි වුවත්, ඊට ආදේශක රැසක් ඉන් අනතුරුව නැවතත් හඳුන්වාදීම නොවැළැක්විය හැකි බවත්, එමෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් මේ සම්බන්ධව නීතිමය පියවර ගන්නා අය සහ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පෙනී සිටින අය යම් යම් ක්‍රමවේද මඟින් නඩත්තු කරන බවත්, මෙවැනි හේතූන් නිසා නිවැරැදි ප්‍රජා දැනුවත්කිරීම් හරහා මේ සම්බන්ධව විසඳුම් සෙවීම වඩාත් ප්‍රායෝගික වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා. කෙසේ වූවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු හෙළිකරන අයවලුන්ගේ රහස්‍යභාවය සියයට සියයක්ම සුරක්ෂිත කිරීමට රජය සහතික වන බව ද අමාත්‍යවරයා මෙම සංවාද හමුවේ දී සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියේය.
අමාත්‍ය හර්ෂ ද සිල්වා, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක, අතිරේක ලේකම් අශෝකා සේනානි හේවගේ, අධ්‍යාපන අධ්යක්ෂ රේණුකා පීරිස් ඇතුළු මහත්ම මහත්මීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
0 Comments