වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධානතම මෝටර් ක්‍රීඩා රැළියක් වේ. ඒ ඩකාර් රැළියයි. එය ලොව ජනප්‍රියතම රැළිය වේ. එමෙන්ම එය වඩාත්ම අසීරුතම රැළිය ලෙසටත් සැළකෙයි.
මෙම ඩකාර් රැළිය මුල් වතාවට පැවැත්වුයේ 1979 වසරේදීය. එතැන් සිට 2008 වසර දක්වාම මෙය පැවැත්වීය. එවකට එය හැඳින්වුයේ පැරිස් ඩකාර් රැළිය නමිනි. ඒ මෙම රැළිය යුරෝපීයෙ රටක් වූ ප්‍රංසයේ පැරිස් නුවර සිට අප්‍රිකානු රටක් වන සෙනගාලයේ ඩකාර් නුවර අතර පැවැත්වූ බැවිනි. එවකට මෙම රැළිය බොහෝ විට ඇරඹුණේ පැරිස් නුවරිනි. නමුත් 2008 වසරේදී මෙම රැළිය පැවැත්වුයේ නැත. ඒ අප්‍රිකානු කලාපයේ සමහර රටවල් හරහා මෙම රැළිය පැවැත්වෙන විට ඊට ත්‍රස්තවාදී තර්ජන එල්ල වූ බැවිනි.
මේ නිසා ඉදිරියේදී දකුණු ඇමෙරිකානු කලාපයේදී මෙම රැළිය පැවැත්වීමට තීරණය කරනු ලැබීය. ඒ අනුව 2009 වසරේ සිට මෙම ලෝ ප්‍රකට රැළිය දකුණු ඇමෙරිකාවේදී පැවැත්වෙන අතර එය ඩකාර් රැළිය ලෙසට හඳුන්වයි. මෙම ඩකාර් රැළිය මෝටර් රථ, සයිකල් සහ වෙනත් අංශ කිහිපයක් යටතේ පැවැත්වෙයි. එසේ වුවත් එහිදී ප්‍රධානතම දෙඅංශය ලෙසට සැළකෙන්නේ මෝටර් රථ සහ සයිකල්ය. මේ රැළියට වෘත්තීමය සහ ආධුනික තරගකරුවන් සහභාගී වෙති.
2019 ඩකාර් රැළිය ජනවාරි 06 සිට 17 දක්වා පැවැත්වීය. ඒ පීරු රාජ්‍යයේදීය. එහිදී රැළිය ඇරඹුණේත් නිමා වූයේත් ලීමා නුවරදීය. එය පීරු රාජ්‍යයේ අගනුවර මෙන්ම විශාලතම නගරයත් වේ. මෙවර පැවැති මුළු අදියර ගණන 10 කි. මුළු දුර ප්‍රමාණය කිලෝමීටර් 5000 ක් පමණ විය. මෙවර පැවැත්වුයේ 41 වැනි ඩකාර් රැළියයි. එහිදී මෝටර් සයිකල් අංශයේ සමස්ත ජය ඔස්ට්‍රේලියාවේ 31 හැවිරිදි ටෝබි ප්‍රයිස් සතු වුයේය. මෝටර් රථ සමස්ත ශූරයා වූයේ කටාර් රාජ්‍යයේ 48 හැවිරිදි නාසර් සාලිහ් නාසර් අබ්දුල්ලා අල්- අටියාහ්ය. ඔවුන් මීට පෙරත් මෙම ශූරතා හිමිකරගෙන සිටීම විශේෂත්වයකි.
ටෝබි ප්‍රයිස් (ඔස්ට්‍රේලියාව)
ටෝබිට මෙවර සම්පුර්ණ රැළියම නිමා කිරීමට ගත වූ කාලය පැය 33 විනාඩි 57 තත්පර 16 කි. මෙවර දෙවැනියා වූයේ ඔස්ට්‍රියාවේ 32 හැවිරිදි මතායස් වෝල්ක්නර්ය. ඔහුට ගත වූ සම්පූර්ණ කාලය පැය 34 විනාඩි 06.29 කි. ඒ අනුව රැළිය නිමා කිරීමට ටෝබීට වඩා මතායස්ට ගත වූ වැඩිපුර කාලය විනාඩි 09 තත්පර 13 කි. මතායස් (උපත 1986 සැප්තැම්බර් 01) ගිය වසරේ ඩකාර් රැලියේ මෝටර් සයිකල් ශූරයාය.
මෙවර තෙවැනියා වූයේ බ්‍රිතාන්‍යයේ 29 හැවිරිදි සෑම් සන්දර්ලන්ඩ්ය. ඔහුට ගත වූ මුළු කාලය පැය 34 විනාඩි 10 තත්පර 50 කි. ටෝබිට වඩා සෑම්ට විනාඩි 13 තත්පර 34 ක කාලයක් ගත වී තිබුණි. සෑම් (උපත 1989 අප්‍රේල් 15) මෙහි ශූරයා වුයේ 2017 වසරේදීය. ටෝබිගේ මෙවර ජයග්‍රහණය අතිවිශිෂ්ටය. ඒ ඔහු මුළු රැළිය පුරාවටම තරග කළේ සිය අතේ මැණික් කටුවක අස්ථි බිඳීමක් තිබියදී බැවිනි. හෙතෙම මෙම ආබාධයට ලක් වූයේ මෙවර රැළිය ඇරඹීමට පෙරදීය. ඒ අනුව ඔහු මුළු රැළිය පුරාවටම තරග කළේ දැඩි වේදනාවකින් යුක්තවයි. මෙවර රැළිය ජය ගැනීමෙන් අනතුරුව ටෝබි සිය වේදනාව ගැන මෙසේ හෙළි කළේය.
“මම දැන් මුළුමනින්ම අඩපණයි. එය දිගු දවස් 10ක්. මම දැන් බලාගෙන සිටිනවා මගේ මැණික් කටුවට මම කෙතරම් හානියක් කළාද කියලා. මගේ වේදනාව හරියට මිනිසුන් පස් දෙනෙක් මට පිහියකින් අනිනවා වගෙයි. නමුත් මේ වේදනාව වටිනවා කියලත් හිතෙනවා. ඒ මේ ජයග්‍රහණය නිසයි. ඇත්තම කියනවානම් මම රැළියට ආවේ අදියර දෙකක් විතර නිමා කරන්න පුළුවන් වෙයි කියලයි. ඊට පසුව ඉවත් වෙනවා කියලා තමයි තීරණය කළේ. ඒ වුනත් ඔස්ට්‍රේලියාවේ සැම දෙනාගෙන්මත් ලැබුණු සහාය සහ සමහර දේවල් මගේ වාසියට වීමත් වාසනාවක් ටිකක් ලැබීමත් නිසා මේ ජයග්‍රහණය ලබා ගැනීමට මට හැකි වුණා.”
ටෝබි ඩකාර් රැළියේ මෝටර් සයිකල් ශූරතාව හිමිකර ගත්තේ දෙවැනි වරටයි. එහිදී ප්‍රථම ශූරතාව 2016 වසරේදීය. මෙවර මෝටර් සයිකල් අංශයේ මුල් ස්ථාන ත්‍රිත්වයම හිමිකර ගත්තේ කේ.ටි.එම්. කණ්ඩායමේ ක්‍රීඩකයන් වීම විශේෂත්වයකි. මෙය ඔස්ට්‍රියානු කණ්ඩායමකි. එමෙන්ම මේ කණ්ඩායම ඩකාර් රැලියේ මෝටර් සයිකල් ශූරතාව පිට පිට හිමිකර ගත් 18 වැනි අවස්ථාවත් මෙවර විය.
ටෝබි ජෝශප් ප්‍රයිස් 1987 වසරේ අගෝස්තු මස 18 වැනි දා උපත ලැබුවේය. ඒ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බටහිර පිහිටි නගරයක් වන හිල්ස්ටන්හීදීය. 2011 වසරට අනුව එහි ජනගහනය 1430 ක් පමණකි.
ටෝබිගේ මුළු පවුලම දැඩි ලෙස මෝටර් ක්‍රීඩාවන්ට ලැදිය. ඔහුගේ පියා ජෝන් හිටපු ශූරයෙකි. ටෝබි මුලින්ම මෝටර් සයිකල් පැදීමට පුරුදු වුයේ දෙහැවිරිදි වියේදීය. පසුව ක්‍රම ක්‍රමයෙන් ඉදිරියටම ටෝබි ගියේය. 1994 – 2013 අතර කාලයේදී හෙතෙම ඔස්ට්‍රේලියානු කනිෂ්ඨ ශූරතා රැසක්ම හිමිකර ගැනීමට සමත් වුයේය.
ඔහු 2004 වසරේ සිට වෘත්තීයම තරග කරන්නේය. අන්තර්ජාතික මෝටර් සයිකල් සම්මේලන (එෆ්.අයි.එම්.) රට හරහා රැළි ලෝක ශුරතාවලියේ 2018 ලෝක ශූරයා වුයේත් ටෝබීමයි. ටෝබි ඩකාර් රැළියේදී 2015 සහ 18 වසරවලදී සමස්ත තෙවැනියා වුයේය. මෙවර රැළියේදී සිවු වැනි සහ අටවැනි අදියරවල තෙවැනි ස්ථාන හිමිකර ගත්තේය. අවසන් අදියර ජය ගත්තේය.
නාසර් අල් - අටියාහ් (කටාර්)
මෝටර් රථ අංශයේ සමස්ත ශූරයා වීමට නාසර් සහ ඔහුගේ සහායක රියදුරු ප්‍රංසයේ මැතියු බෝමෙල්ට ගත වූ මුළු කාලය පැය 34 විනාඩි 38 තත්පර 14කි. ඔවුන් නියෝජනය කළේ පින්ලන්තයේ ටොයොටා ගැෂු රේසිං කණ්ඩායමයි.
මෙවර දෙවැනි ස්ථානය ස්පාඤ්ඤයේ නානි රෝමා සහ ඇලෙක්ස් හාරෝ බ්රාවෝටයි. ඔවුන් තරග කළේ ජර්මනියේ එක්ස් රෙයිඩ් කණ්ඩායමෙනි. සම්පුර්ණ රැළිය නිමා කිරීමට ඔවුන්ට ගත වූ කාලය පැය 35 විනාඩි 24 තත්පර 56කි. නානි (උපත 1972 පෙබරවාරි 17) ඩකාර් රැළියේ 2014 මෝටර් රථ ශූරයා ය.
ප්‍රංසයේ සෙබස්තියන් ලොයබ් සහ මොනකෝ රාජ්‍යයේ ඩැනියෙල් ඊලේනා (උපත 1972 ඔක්තෝබර් 26) මෙවර තෙවැනි ස්ථානය හිමි කර ගත්හ. ඔවුන්ගේ කණ්ඩායම වුයේ ප්‍රංසයේ පී.එච්. ස්පෝර්ට්ය. ඔවුන්ට ගත වු මුළු කාලය පැය 36 විනාඩි 32 තත්පර 32කි. ලොයබ් (උපත 1974 පෙබරවාරි 26) මෝටර් රථ රැළි ලෝක ශූරතා නවයක්ම ජය ගත් විශිෂ්ටතමයෙකි.
“හැමෝටම ඩකාර් රැළිය ජය ගන්න අවශ්‍යයි. නමුත් අපි පීරු රටට එන විට සියයට සියයක්ම මෙය පීරු රැළියක්. ලොව කිසිම රටක මේ වගේ වැලි පරවල් නැහැ. ඒ නිසා අපි දක්ෂ දෙය කිරීමට හැකි වුණා.” ජයග්රහණයෙන් අනතුරුව නාසර් පැවසීය.
හෙතෙම ඩකාර් රැළියේ මෝටර් රථ සමස්ත ශූරතාව හිමිකර ගත්තේ තෙවැනි වතාවටයි. මීට පෙර 2011 සහ 2015 ශූරයාත් ඔහු වේ. මෙවර ප්‍රථම අදියර ජය ගැනීමටත් නාසර් සමත් වූයේය.
“මෙවර රැළිය අපිට අතිශය අසාමාන්‍ය වුණා. ඒ මුළු රැළිය පුරාවටම කිසිම අතපසුවීමක් අපෙන් සිදු වුණේ නැති නිසා. මේ රැළිය හැමෝටම ඉතා අසීරුයි. මෙවර සිදු වූ හොඳම දෙය තමයි අපි තෙවන දිනයේ සිට ඉදිරියෙන්ම සිටීමයි. අපි සෑම දිනකම අපේ කාලය ගොඩ නැඟුවා. එය අවසන් දිනය වන විට සෑහෙන කාලයකින් ඉදිරියට සිටීමට අපිට ඉවහල් වුණා.” නාසර් තවදුරටත් පැවසීය.
මෙවර ඩකාර් රැළියේ දී නාසර් අදියර තුනක්ම ජය ගත්තේය. මීට අමතරව දෙවැනි ස්ථාන අදියර හතරකදී හිමි කර ගත්තේය. මෙවර රැළියේ නිමාවත් සමඟම නාසර් විශේෂ වාර්තාවක් පිහිටු වීය. එනම් ඩකාර් රැළිය වෙනස් වාහන තුනක් භාවිතා කරමින් ජය ගත් ප්‍රථමයා වීමයි. ඒ 2011 දී ජර්මනියේ වොල්ක්ස්වාගන්, 2015 දී බ්‍රිතාන්‍යයේ මිනි සහ 2019 දී ජපානයේ ටොයොටා වශයෙනි.
නාසර් අල් - අටියාහ් උපත ලැබුවේ 1970 වසරේ දෙසැම්බර් මස 21 වැනිදාය. හෙතෙම කටාර් රාජ්‍යයේ රාජකීය පවුලේ සාමාජිකයෙකි. එරටේ වත්මන් එමිර්වරයා වන ටමිම් බින් හමාඩ් අල් තාහ්නිගේ (උපත 1980 ජුනි 03 ) ඥාතිවරයෙකි.
නාසර් විශේෂිත ක්‍රීඩා ශූරයෙකි. ඒ හෙතෙම වෙඩි තැබීමටත් දක්ෂයෙක් වන බැවිනි. ඔහු මෙම ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කම්ලාභියෙකි.
2012 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පැවැත්වුයේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදීය. එහිදී ස්කීට් ඉසව්වේ රන් පදක්කම ඇමෙරිකාවේ වින්සෙන්ට් හැන්කොක් (උපත 1989 මාර්තු 19) හිමි කර ගත්තේය. ඩෙන්මාර්කයේ ඇන්ඩර්ස් ගෝල්ඩිංග්ට (උපත 1984 මැයි 12) රිදී පදක්කමයි. එහි ලෝකඩ පදක්කම නාසර්ටයි.
මීට අමතරව ඔහු ආසියානු ක්‍රීඩා උලෙළහිදි රන් දෙකක් සහ ලෝකඩ පදක්කමක් හිමි කර ගෙන තිබේ. එමෙන්ම ආසියානු ශූරතාවලියේදී රන් 03 කි. රිදී දෙකකි. 2018 වසරේ රථ හරහා රැළි ලෝක ශූරතාවලියේ මෝටර් රථ ශූරයා වුයේත් නාසර්මයි.
ඩකාර් රැළි ඉතිහාසය තුළදී නාසර් කැපී පෙනෙන තව දස්කම් රැසක්ම දක්වා ඇත. ඒ අනුව 2011, 15 සහ 19 දී ශුරතාවයයි. 2010, 16 සහ 18 දී අනුශූරතාවයයි. 2014 දී තෙවැනි ස්ථානයයි. 2007 වසරේදී හය වැනි ස්ථානයයි.
from silumina
0 Comments