චතුරංගගෙන් කඩුලු ත්‍රිත්වයක්
කඩුලු ත්‍රිත්වයක් දවාගනිමින් චතුරංග ද සිල්වා පන්දුවෙන් දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් අන්තර් සමාජ පළමු පෙළ ‘ඒ’ ශ්‍රේණියේ ක්‍රිකට් තරගාවලියේ 5 වැනි සතියට අදාළව පැවැති තරගයෙන් මුවර්ස් පිල පරදවා ලකුණු 543ක් දැවැන්ත ජයක් අත්කර ගැනීමට එන්.සී.සී ක්‍රීඩා සමාජය ඊයේ සමත් විය. මෙවර තරගාවලියේ කණ්ඩායමක් හිමිකරගත් ඉහළම ජයග්‍රහණය ලෙසද මෙය සටහන් විය.
ලකුණු 617ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය මුවර්ස් ක්‍රීඩකයන්ට දෙවැනි ඉනිමේදී ඕවර 21.1කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 73ක් පමණි.
මුවර්ස් පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් එන්.සී.සී පිල පළමු ඉනිමට ලකුණු 330ක් රැස්කළ අතර මුවර්ස් පිලට පළමු ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 81ක් පමණි.
ලකුණු 249ක් ඉදිරියෙන් දෙවැනි ඉනිම ඇරැඹු එන්.සී.සී ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 367කට ඉනිම අත්හිටවූයේ මුවර්ස් පිලට ලකුණු 617ක දැවැන්ත ඉලක්කයක් ලබාදෙමිනි.
එන්.සී.සී පළමු ඉනිමේදී පැතුම් නිශ්ශංක ලකුණු 163ක් රැස්කළේ පන්දු 182ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 16කින් සහ හයේ පහර 3කින් වර්ණවත් වූ අතර එන්.සී.සී දෙවැනි ඉනිමේදී හසිත බෝයගොඩ හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමගින් පන්දු 146කින් ලකුණු 101ක් රැස් කළේය.
මුවර්ස් පළමු ඉනිමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ චතුරංග ද සිල්වා කඩුලු ත්‍රිත්වයක්ද සමගින් පිතිකරුවන් 6 දෙනකු දවාගත් අතර ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3ක් බිඳ දැමීය.
ඉනිමේ 11 වැනි ඕවරය යැවූ චතුරංග දෙවැනි පන්දුවෙන් කේෂාන් විජේරත්න (1) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් අතර තෙවැනි පන්දුවෙන් පබසර වඩුගේ කඩුලු රකින ළහිරු උදාරගේ උඩ පන්දුවක් රැක ගැනීමෙන් ලකුණු නොලබා දැවී ගියේය. එම ඕවරයේ සිවුවැනි පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් අනුක් ප්‍රනාන්දු ලකුණු නොලබා දැවී යෑමත් සමග චතුරංග කඩුලු ත්‍රිත්වය වාර්තා කර ගත්තේය.
මුවර්ස් දෙවැනි ඉනිමේදී චතුරංග කඩුලු 4ක් දවාගත් අතර සචින්ත පීරිස් ලකුණු 45කට කඩුලු 6ක් දවා ගනිමින් එන්.සී.සී පිලේ ජය තහවුරු කළේය.
එන්.සී.සී පළමු ඉනිම - 330 (ඕවර 65.5) පැතුම් නිශ්ශංක 163, ඇන්ජලෝ පෙරේරා 61 (තරිඳු කෞෂාල් 72/4, කේෂාන් විජේරත්න 39/2) සහ දෙවැනි ඉනිම - 367/7 (ඕවර 59) හසිත බෝයගොඩ 101, පැතුම් නිශ්ශංක 84, චාමික කරුණාරත්න 82 (රමේෂ් මෙන්ඩිස් 92/4, කේෂාන් විජේරත්න 46/2)
මුවර්ස් පළමු ඉනිම - 81 (ඕවර 24.3) (චතුරංග ද සිල්වා 32/6, ලසිත් ඇඹුල්දෙණිය 29/3) සහ දෙවැනි ඉනිම - 73 (ඕවර 21.1) (සචින්ත පීරිස් 45/6, චතුරංග ද සිල්වා 24/4)
0 Comments