Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාපන්දු ක්‍රීඩාවේ ප්‍රශ්න කතා කරන චැම්පියන් ලීග් සංගමය ඇරැඹෙයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර
මුල්පෙළේ පාපන්දු ක්‍රීඩා සමාජ කිහිපයක් එක්ව බිහිකළ චැම්පියන් ලීග් සංගමයට එක්ව සිටි සාමාජික පිරිසකගෙන් කොටසක්

බ්ලූස්ටාර් නැගිට යයි: මුල්ම හමුවට ක්‍රීඩා සමාජ 9ක්

චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියට එක්ව සිටින පාපන්දු කණ්ඩායම්වලට මුහුණදීමට සිදුව ඇති ප්‍රශ්න සාකච්ඡා කොට විසදුම් සෙවීම උදෙසා මුල් පෙළේ පාපන්දු කණ්ඩායම්වල ප්‍රධානීන්ගේ එකමුතුව ‘චැම්පියන් ලීග් සංගමය’ ලෙස නම්කොට පෙරේදා කොළඹ හතේ ප්‍රසිද්ධ අවන්හලකදී ආරම්භ විය.

නව මුහුණුවරකින් ආරම්භ වූ චැම්පියන් ලීග් සංගමයේ සභාපති ලෙස රත්නම් ක්‍රීඩා සමාජයේ උප සභාපති නවීන් ප්‍රනාන්දු මහතා හා ලේකම් තනතුරට රිනවුන් ක්‍රීඩා සමාජයේ ලේකම් රොයිස්ටන් ප්‍රනාන්දු මහතා නිතරගයෙන්ම පත්වූහ. මේ දෙදෙනාගේ නම් නිගම්බු යූත් ක්‍රීඩා සමාජයේ සභාපති රංජිත් රුද්‍රිගූ හා සොලිඩ් ක්‍රීඩා සමාජයේ සභාපති සාගර පියතිලක යන මහත්වරුන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් පත්ව ඇත. රුද්‍රිගූ හා පියතිලක යන මහත්වරු චැම්පියන් ලීග් සංගමයේ කිසිදු තනතුරක් නොදරන බවට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇතැයි විශේෂ ප්‍රකාශයක් ද සිදු කොට ඇත.

චැම්පියන් ලීග් සංගමයේ මේ පළමු හමුවට රත්නම්, නිව් යංග්ස්, සොලිඩ්, නිගම්බු යූත්, රිනවුන්, සෝන්ඩර්ස්, සුපර් සන්, පෙළිකන්ස් හා මාතර සිටි යන ක්‍රීඩා සමාජ නියෝජිතයෝ එක්ව සිටියහ. බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජයේ නියෝජිතයෙක් මේ රැස්වීමට සහභාගීවී සිටි අතර ඔහුට ලැබුණු දුරකතන ඇමැතුමක් හේතුවෙන් හදිසියේම ඉවත්ව ගිය බව වාර්තා වේ. තවත් කණ්ඩායම් කිහිපයක් සමග දුරකතන සාකච්ඡා පවත්වා ඇති අතර චැම්පියන් ලීග් සංගමයේ ව්‍යවස්ථාව ලබන පෙබරවාරි 1 දින මීගමුවේදී පැවැත්වෙන මීළග මහා සභාවේදී සාකච්ඡා කිරීමට තීරණයවී ඇත.

මේ සංගමය, සාමාජිකයන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක නොකරන, පාපන්දු සම්මේලනයට එරෙහි නොවන ක්‍රීඩාවේ පොදු ප්‍රශ්න සාකච්ඡා කොට විසදුම් සොයන එකමුතුවක් පමණක් බවට තේමාවක් ද සකස් කරගෙන ඇත.

චැම්පියන් ලීග් සංගමයේ සභාපති නවීන් ප්‍රනාන්දු මහතාගෙන් අප කළ විමසීමකදී පැවැසූවේ පාපන්දු ක්‍රීඩා සමාජවල ප්‍රධානීන්ගේ අදහස් අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත ක්‍රීඩාව සංවර්ධනය කිරීම උදෙසා අදහස් හා යෝජනා ලබාදීම මෙහි අරමුණ බවයි.

“අපේ පෞද්ගලික මුදල් වැයකර ක්‍රීඩා සමාජ පවත්වාගෙන යන්නේ. සම්මේලනයේ හෝ විනිසුරුවන්ගේ වරදක් නිසා අප පාපන්දු ක්‍රීඩාවට වෙන් කරන මුදලේ අර්ථය නැති වෙන්න බෑ. හැමෝම එන්නේ දිනන්නයි. හැමොටම අයිතියක් තියෙනවා තමන් යන මාවත පිළිබඳ කතා කරන්න. අප කතා කරන්නේ චැම්පියන් ලීග් ප්‍රශ්න විතරයි. වෙන පෞද්ගලික න්‍යාය පත්‍ර නෑ” ප්‍රනාන්දු මහතා පැවැසීය.

මෙයට පෙර වසර 2000දී හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතාගේ අදහසක් අනුව මෙවැනිම පාපන්දු ක්‍රීඩා සමාජ එකමුතුවක් ඇතිකරගත් බවත් එහි සභාපතිවරයා ලෙස නිගම්බු යූත් ක්‍රීඩා සමාජයේ අයිතිකරු රංජිත් රුද්‍රිගූ මහතා පත්වූ බවත් සිහිපත් කළේය. “මේ වගේ එකමුතුවක් වැදගත් බව අප කල් තියා දැන ගත්තා. කලින් සංගමය දිගින් දිගට ක්‍රියාත්මක වුණේ නෑ. අපේ නව සංගමය හොද ව්‍යවස්ථාවක් හදලා කා සමගත් සහයෝගයෙන් ක්‍රියාත්මකවීම සැලසුමයි. නමුත් පාපන්දු සම්මේලනයේ ඇතැම් අය අපේ සංගමයට නොයන ලෙස ක්‍රීඩා සමාජ කිහිපයකට බලපෑම් කොට තිබුණා. අපේ සංගමයට බිය විය යුතු නෑ. පාපන්දුවට අතේ සල්ලි වියදම් කරන අපි ක්‍රීඩාවට අගතියක් වන දෙයක් කරන්නේ නෑ. අනික අපි පාපන්දු සම්මේලනයේ තනතුරු බලාගෙන කරන සටන් ව්‍යාපාරයක් නොවන බව සියලු දෙනා දැනගත යුතුයි” නවීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ තරග කාල සටහන වෙනස් කිරීමට එරෙහි ක්‍රියා මාර්ග ගැනීමද මේ පාපන්දු කණ්ඩායම් ප්‍රධානීන්ගේ හමුවේදී සාකච්ඡා කොට ඇත. වෙන්නප්පුව ඇල්බට් එෆ් පීරිස් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වීමට නියමිතව තිබූ නිව් යංග්ස් - ක්‍රිස්ටල් පැලස් තරගය හදිසියේ වෙනස් කළද නිව් යංග්ස් පිල ක්‍රීඩා පිටියට පිවිස නිතරග ජයක් ඉල්ලා සිටීමෙන් ඇතිවූ ප්‍රශ්නය නිරාකරණය වෙමින් පවතින බව නිව් යංග්ස් සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා චැම්පියන් ලීග් සංගමයේදී පැවැසීය. නිවැරදි ක්‍රීඩක පිරිස සමග ක්‍රීඩා කිරීමටත් තරගයට වැයවූ රුපියල් ලක්ෂයක පමණ මුදල ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ලබාදීමට කැමැත්ත පළ කොට ඇති බවත් රෝහිත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියට සහභාගීවන එක් කණ්ඩායමක් වසරකට රුපියල් ලක්ෂ 35ක් 40ක් පමණ වැයවන හෙයින් ඒ සඳහා සම්මේලනය සමග ක්‍රියාකළ යුතු ආකාරය, කණ්ඩායම්වලට ඇතිවන ප්‍රමිතියෙන් යුතු පාපන්දු හිගය පියවා ගැනීම වැනි කරුණු පිළිබඳ පුළුල් සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමට සාමාජිකයෝ එකගතාව පළකර සිටිති.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();