නවසීලන්ත තරගාවලියෙන් ඉවතට ඔස්ට්‍රේලියානු සංචාරයත් අහිමිවෙයි
නවසීලන්තය සමග ක්‍රයිස්චර්ච් නුවර පැවැති දෙවැනි ටෙස්ට් තරගය අතරතුර වම් පාදයේ කලවා ප්‍ර දේශයේ මස්පිඩු පෙරලීමේ ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට සති 4ක විවේකයක් ගැනීමට සිදුවී ඇත.
ඒ අනුව ඔහු නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට, විස්සයි20 තරගයට මෙන්ම එළැඹෙන ඔස්ට්‍රේලියානු සංචාරයෙන් ද ඉවත්වී ඇතැයි වාර්තා වෙයි. ඔහු නැවත කණ්ඩායමට එක්වනු ඇත්තේ දකුණු අප්‍රිකානු සංචාරයට බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු ස්කෑන් පරීක්ෂණයකට මුහුණ දුන් බවත්, කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා විසින් ඔහුට සති 4ක විවේකයක් ගැනීමට උපදෙස් ලබා දී ඇති බවත් ක්‍රයිස්චර්ච් තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේය.
නවසීලන්ත ටෙස්ට් තරගමාලාවේදී ශ්‍රී ලංකා පිලේ හොඳම පිතිකරුවා බවට පත්වූ මැතිව්ස් එම තරගමාලාව අතරතුර ලකුණු 258ක් රැස් කළේ ශතකයක් සහ අර්ධ ශතකයක් ද සමගිනි. එහිදී ඔහු ක්‍රීඩා කළ ඉනිම් 4න් දැවී ගියේ එක් ඉනිමකදී පමණි. නොදැවී ශතකයක් රැස් කරමින් වෙලින්ටන් නුවර පැවැති පළමු ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත්කරගැනීමට ඔහු කුසල් මෙන්ඩිස් සමග එක්ව සටන්කාමී පිතිහරඹයක නිරතවිය.
පසුගිය වසර දෙක පුරා පාදයේ විවිධ ආබාධවලට ගොදුරු වූ මැතිව්ස්ට ඔස්ට්‍රේලියාව සමග ජනවාරි මස 24 වැනිදා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයත්, පෙබරවාරි 1දා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයත් අහිමිවන අතර පෙබරවාරි 13 වැනිදා ආරම්භ වන දකුණු අප්‍රිකානු සංචාරයේදි නැවත කණ්ඩායමට එක්වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
නවසීලන්තය සමග ජනවාරි මස 3 වැනිදා ඇරැඹෙන එක්දින තරගාවලියට මැතිව්ස් වෙනුවට කණ්ඩායමට එක්වන ක්‍රීඩකයා මෙතෙක් නම් කර නැත.
0 Comments