දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 423ක පරාජයක්: තරගමාලාවේ ජය නවසීලන්තයට
ලකුණු 660ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය සංචාරක ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 3ම පන්දු 14කදී බිඳ දැමූ නවසීලන්ත පන්දු යවන්නෝ දෙපිල අතර ක්‍රයිස්චර්ච් නුවර පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පස්වැනි දිනයේ උදැසනින්ම ලකුණු 423ක විශිෂ්ට ජයග්‍රහණයක් සිය කණ්ඩායමට අත්කර දුන්හ. මේ ජයග්‍රහණයත් සමග තරග 2කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 1-0කින් ජයගැනීමට ද නවසීලන්තය සමත්විය.
මේ ජයග්‍රහණය වාර්තාපොතට එක්වූයේ වසර 88කට පසුව නවසීලන්ත පිට පිට ටෙස්ට් තරගමාලා 4ක් ජයගත් පළමු අවස්ථාව ලෙසිනි. ඔවුන් ශ්‍රී ලංකා පිල පරාජයට කිරීමට පෙර බටහිර ඉන්දීය කොදෙව් පිල, එංගලන්තය සහ පාකිස්තානය පරාජය කිරීමට සමත්විය.
තරගයේ සිවුවැනි දිනය නිමාවට පත්වනවිට කඩුලු 6ක් දැවී ලකුණු 231ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලේ අගපෙළ කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 5ක් ඇතුළතදීය. ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිම කඩුලු 9කට ලකුණු 236ක් ලෙස නිමාවට පත්වූයේ ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්වී නොදැවුණු පිතිකරුවකු ලෙස ක්‍රීඩාගාරයේ රැඳී සිටියදීය.
සිවුවැනි දිනයේ තේ පානය සඳහා තරගය නතර කරනවිට ශ්‍රී ලංකා පිල කඩුලු 3කට ලකුණු 155ක් ලබා සිටි අතර නොදැවී ලකුණු 22ක් ලබා සිටි මැතිව්ස් ඉන් පසුව පිටියට පිවිසියේ නැත. ඔහු සිය ඉනිම අතරතුර දකුණු කලවා ප්‍රදේශයේ ආබාධයකට ලක්විය. එම ආබාධය සහිතවම තේ පානය දක්වා ක්‍රීඩා කළ මැතිව්ස් තේ පානයෙන් පසුව නැවත පිටියට පිවිසියේ නැත.
තුන්වැනි දිනයේ තරගය නිමා වනවිට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 24ක් ලබා සිටි අතර සිවුවැනි දිනයේදී නායක දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 117ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා පිල පරාජයෙන් බේරාගැනීමට දැඩි සටනක නිරතවූහ. එහෙත් මුළු ලකුණු සංඛ්‍යාව 126ක්ව තිබියදී කුසල් මෙන්ඩිස් දැවීයාමෙන් පසුව ඉනිම ගොඩනැගීමේ වගකීම චන්දිමාල් පිට පැටවිණි. ඔහු සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 29ක් රැස් කරමින් සිටි මැතිව්ස් පිතිහරඹයෙන් ඉවත්වූයේ මුළු ලකුණු සංඛ්‍යාව 155දීය.
ඊට ලකුණු 3කට පසුව නීල් වැග්නර් විසින් චන්දිමාල් දවාගත් අතර රොෂේන් සිල්වාගේ සහ නිරෝෂන් දික්වැල්ලගේ සම්බන්ධතාව මුළු ලකුණු සංඛ්‍යාව 181දී බිඳ දැමුවේ ටිම් සවුති විසිනි. වැග්නර්ගේ පන්දුවකට රොෂේන් සිල්වා දැවීයාමෙන් පසුව ඩිල්රුවන් පෙරේරා සහ සුරංග ලක්මාල් එක්ව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යමින් සිවුවැනි දිනය නිමාවනවිට කඩුලු රැක ගැනීමට සමත්වූහ.
කඩුලු 3ක් ඇතැතිව ඊයේ පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ 7 වැනි කඩුල්ල ට්‍රෙන්ට් බෝල්ට් යැවූ පළමු ඕවරයේදිම බිඳ වැටුණු අතර ඊළඟ ඕවරයේදී ඩිල්රුවන් පිටියෙන් ඉවත් කරමින් වැග්නර් සිය 4 වැනි කඩුල්ල අත්කරගත්තේය. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දුෂ්මන්ත චමීර දැවී ගියේ බෝල්ට් විසින් යවන ලද ඉනිමේ 107 වැනි ඕවරයේදීය.
තරගයේ වීරයා සම්මානය ටිම් සවුතිට හිමිවිය.
0 Comments