Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අපරාජිතව අවසන් පූර්ව වටයට

ආසියානු කුසලාන ක්‍රිකට්

බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඊයේ සහභාගිවූ මූලික වටයේ අවසන් තරගයෙන් පාකිස්තානය ලකුණු 23කින් පරාජය කරමින් අපරාජිතවම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

ශ්‍රී ලංකාව තරගාවලියේ පළමු තරගයෙන් සත්කාරක බංග්ලාදේශයට එරෙහිව කඩුලු 6ක ජයක් අත්කරගත් අතර දෙවැනි තරගයෙන් හොංකොං පිලට එරෙහිව කඩුලු 10ක පහසු ජයක් හිමිකර ගත්තේය.

මේ පරාජයත් සමගින් පාකිස්තානය තරගාවලියෙන් ඉවතට විසිවිය.

චිතගොංහිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඕවර 49.4කදී ලකුණු 200ක් රැස් කළහ. එම ඉලක්කය හඹාගිය පාකිස්තාන යොවුන් පිලට ඕවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 177ක් පමණි. අවායිස් සෆාර් ලකුණු 43ක් රැස්කරමින් පාකිස්තාන පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. පන්දු 72ක් වැයවු ඔහුගේ ඉනිමට හතරේ සහ හයේ පහර බැගින් ඇතුළත් විය.

ඔහු, ඊයේ තරගයේ වීරයා වූ අර්ෂාඩ් ඉක්බාල් සමගින් එක්ව 8 වැනි කඩුල්ලට ලකුණු 42ක සබඳතාවක් පිහිටුවමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය වළක්වාලීමට උත්සහ කළද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ඊට ඉඩක් නොලැබිණි. ඉනිමේ 49වැනි ඕවරයේ සිවුවැනි පන්දුවෙන් සෆාර් දැවි යන විට ජයග්‍රහණය සඳහා පාකිස්තානය පන්දු 8කින් ලකුණු 30ක් ලබාගත යුතුව තිබිණි. ඉක්බාල් පන්දු 31කට මුහුණදෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 26ක් රැස් කළේය.

පන්දු යැවීමේදී නවෝද් පරණවිතාන, දුනිත් වෙල්ලාලගේ සහ කල්හාර සේනාරත්න කඩුලු 2 බැගින් දවා ගත්හ.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම ඇරැඹු නවෝද් පරණවිතාන සහ නිශාන් මධුෂ්ක පළමු කඩුල්ලට ලකුණු 65ක් එක් කළහ. පරණවිතාන පන්දු 36කදී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 27කට දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණු අතර තවත් ලකුණු 2ක් එක්වෙද්දී මධුෂ්කගේ (19) ඉනිමද නිමාවට පත්විය.

අනතුරුව පිටියට පිවිසි කළණ පෙරේරා හුදෙකලා සටනක නිතර වෙමින් ලකුණු 51ක් රැස් කිරීමට සමත් විය. තම සිවුවැනි 19න් පහළ ජාත්‍යන්තර තරගයට එක්වූ කළණ රැස්කළ පළමු අර්ධ ශතකය මෙය විය. ඊට පන්දු 61කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. ඔහු මුළු ලකුණු 139දී දැවී ගියේය. නායක නිපුන් ධනංජය හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 33ක් සහ නිපුන් මාලිංග 23ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිල ලකුණු 200 සීමාවට ගෙන ගියහ. පන්දු යැවීමේදී අර්ෂාඩ් ඉක්බාල් ලකුණු 34කට කඩුලු 6ක් දවා ගැනීමට සමත්වූ අතර ඔහු තරගයේ වීරයා සම්මානයද හිමිකර ගත්තේය.

මේ අතර ඊයේ පැවැති ‘බී’ කාණ්ඩයේ අනෙක් තරගයෙන් සත්කාරක බංග්ලාදේශ විසින් හොංකොං පිල පරදාව කඩුලු 5ක ජයක් අත්කර ගනිමින් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගත්තේය. ‘ඒ’ කාණ්ඩයෙන් ඊයේ පැවැති ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයෙන් ඉන්දියාවට ලකුණු 51ක ජයක් හිමිවිය. කෙසේ වෙතත් මේ කණ්ඩායම දෙකද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටී.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හෙට (4) පැවැත්වෙන අතර දෙවැනි තරගය අනිද්දා (5) පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා යොවුන් පිල - 200යි. (ඕවර 49.4) කළණ පෙරේරා 51, නිපුන් ධනංජය 33, නවෝද් පරණවිතාන 26 (අර්ෂාඩ් ඉක්බාල් 34/6, බිලාල් ජාවිඩ් 25/2)

පාකිස්තාන යොවුන් පිල - 177/8යි. (ඕවර 50) අවායිස් සෆාර් 43, අර්ෂාඩ් ඉක්බාල් නොදැවි 26 (නවෝද් පරණවිතාන 27/2, දුනිත් වෙල්ලාලගේ 28/2, කල්හාර සේනාරත්න 32/2)

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();