විවිධ හැළ හැප්පිලි මැද අත්පා අහිමි වූවද, සිතින් ශක්තිමත් වූවෝ මුලු සමාජයටම ආදර්ශ සපයා ලොව දිනූ වාර අනන්තය. එවැනි ධෛර්ය සම්පන්න පිරිසක් ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ලබන මස 6 වැනිදා සිට 13 වැනිදා දක්වා පැවැත්වෙන තෙවැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සටන් බිමට පිවිසෙති.
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2014 වසරේ කොරියාවේ ඉන්චියොන්හී පැවැති ආසියානු පැරා ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට රන් පදක්කමක්, රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 7ක් දිනා දුන්හ. එයට පෙර පැවැති මුල්ම ක්‍රීඩා උළෙලේදී ද ශ්‍රී ලංකාවට ආසියානු පැරා ක්‍රීඩා පදක්කම් හිමිවූ අතීතියක් ද තිබේ. එබැවින් මෙවර ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා නාමය ඉදිරියේ පදක්කම් සටහන් වන බවට පෙර නිමිති දැන් සිටම පළවී ඇත. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ දෑත් දෙපා හොදින් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185ක් මෙයට දින කිහිපයකට පෙර ඉන්දුනීසියාවේ ආසියානු ක්‍රීඩා උළෙලට ගොස් කිසිදු පදක්කමක් නොමැතිව හිස් අතින් පැමිණ සංචාරකයෝ බවට පත්ව සිටින බැවිනි.
දිරිමත් MAS දූ පුතුන්
මෙවර ආසියානු පැරා මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් මාස් හෝල්ඩිංස් අනුබද්ධ පන්නල ස්ලිම්ලයින් හී සේවය කරන අමරා ඉන්දුමතී, පානදුර යුනිචෙලා හී සේවය කරන කුමුදු ප්‍රියංකා හා දුමීර මධුරංග පැරා ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර පදක්කම් දිනාගත් පළපුරුදු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති. මේ ධෛර්ය සම්පන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා මෙන්ම පැරා ඔලිම්පික් පදක්කම් දිනා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් දිනේෂ් ප්‍රියන්ත මාස් හෝලිඩිංස් දෙන සහයෝගය සතුටින් යුතුව සිහිපත් කරති.
“ආබාධිත අප ජාත්‍යන්තර පදක්කමක් දිනා ගත්තාම අනෙක් පදක්කම් දිනූ අයට වගේම සමාන සැලකීමක් අවශ්‍යයි. පැරාලිම්පික් පදක්කමත්, ඔලිම්පික් පදක්කමත් එක හා සමානයි. පදක්කම් දෙකම දිනන්නේ එකම ක්‍රීඩාංගණයක, එකම තත්ත්වයන් යටතේ. නමුත් අපේ රටේ පිළිගැනීම් දෙකක්. එලෙස ආකාර දෙකකින් සලකන්නේ නැතිනම් පැරා ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ තවත් ඉදිරියට ගිහින්”
“ආබාධිත තත්ත්වයේ සිටින අපගේ ක්‍රීඩාව දියුණු කරගන්න ලබා දෙන සහයෝගයට මාස් ආයතනයට අපි සියලු දෙනා ණය ගැතියි. ඔවුන් අපව රැකබලා ගැනීම ජාතික මෙහෙවරක් කියලා අප සිතන්නේ. මෙවර අප දිනන සෑම පදක්කමකම ගෞරවය ශ්‍රී ලංකා මාතාවට සේම මාස් හෝල්ඩිංස් වෙත හිමි කරනවා. මාස් හෝල්ඩිංස් සභාපති මහේෂ් අමලීන්, ප්‍රධාන විධායක ෂෙරාඩ් අමලීන් හා කළමනාකාර අධ්යක්ෂ අජේ අමලීන් යන මහත්වරුන් කෘතවේදීව සිහිපත් කරනවා. ඒ වගේම මූල්‍ය අධ්යක්ෂ රුවන් කෑරගල මහතා හා මූල්‍ය අංශ විධායක සුජානී බෝගොල්ලාගම මහත්මිය අපේ දුක සැප සොයා බලනවා” අමරා ඉන්දුමතී, කුමුදු ප්‍රියංකා හා දුමීර මධුරංග පැවැසූහ.
උපතින්ම එක් අතක් අහිමි අමරා ඉන්දුමතී පැරා මලල ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර පදක්කම් රැසක් අත්කරගත් ක්‍රීඩිකාවකි. මොණරාගල මාරියා අරාව මහා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඇය ක්‍රීඩා දක්ෂතා හේතුවෙන් පන්නල ස්ලිම් ලයින් හී ක්‍රීඩා සහයිකා තනතුරේ සේවය කරන්නීය.
ඇය 2006දී ආසියා පැසිපික් පැරා ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ඇරැඹූ ගමන ඉතා සාර්ථක එකකි. 2014 ආසියා පැරා ක්‍රීඩා උළෙලේදී මීටර් 200 හා දුර පැනීමෙන් රිදී හා ලෝකඩ පදක්කම් ඇය දිනා ගත්තාය. 2016දී ආසියා ඕෂනියා පැරා ක්‍රීඩා උළෙලේදී මීටර් 200 හා මීටර් 400 ඉසව්වලින් රන් පදක්කම් හා දුර පැනීමෙන් රිදී පදක්කමක් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කළාය. පැරාලිම්පික් හා පැරා ලෝක ශූරතාවලිය ඇතුළු තරගාවලි ගණනාවකට ඇය එක්වී දස්කම් දැක්වූවාය.
අමරා පසුගිය වසරේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවාය. වෙළෙඳ සේවා දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය සිරස ප්ලැටිනම් සම්මානය ඇය මෑතකදී දිනාගත් සම්මාන වේ. ඇයගේ ගමන් මගට ශක්තියක් වූ පුහුණු උපදේශකයින් වූ ඕපනායක, චමින්ද සම්පත්, විමුක්ති ද සොයිසා හා හර්ජන රත්නායක යන මහත්වරු සිහිපත් කළාය.
පානදුර යුනිචෙලා හී සේවය කරන කුමුදු ප්‍රියංකා මොණරාගලදී උපත ලබා වයස 17ක් ගතවෙද්දී නොදැනුවත් කමින් වත්තේ දමාගොස් තිබූ බෝම්බයක් අතට ගෙන එය පුපුරා ගොස් අත් දෙකම අහිමිවූ යෞවනියකි. අත් දෙක අහිමි වූදා සිට ලෝකය දිනාගත හැකි බවට ස්ථීර විශ්වාසයක් තිබූ ඇය ලොවක් දිනා ගත්තේ ක්‍රීඩාවෙන් බව පවසා සිටී.“ දැන් මට ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුලුවන්. ඒ වෙන කිසිවක් නිසා නොව ක්‍රීඩාවෙන් ලැබූ පන්නරය හේතුවෙන්” කුමුදු ප්‍රියංකා පැවැසුවාය.
ඇය 2006දී ආසියා පැසිපික් පැරා මීටර් 100 ඉසව්වේදී රිදී පදක්කමක් දිනාගත් අතර 2010දී මීටර් 200 ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ ටී. 45 ඉසව්වේ ලෝක වාර්තාවක් ද බිහි කරමිනි. 2012 මැලේසියා පැරා ආසියානු ශූරතාවලියේදී මීටර් 100, 200 හා දුර පැනීමෙන් රිදී පදක්කම් දිනූ ඇය ආසියා පැරා ශූරතාවලියේදී මීටර් 200 රිදී පදක්කම දිනා ගත්තාය. රිහැබ් ලංකා ආයතනයේ ප්‍රේමදාස දිසානායක, පුහුණුකරුවන් වූ සුසන්ත සෝමකුමාර, නිමල් ධර්මරත්න හා හරිජන රත්නායක යන මහත්වරු ආදරයෙන් සිහිපත් කළාය.
උපතින්ම එක් පාදයක් අනෙක් පාදයට වඩා කොටවීම ගණනකට නොගෙන ක්‍රීඩාවෙන් ජීවිතය ජයගත් පානදුර යුනිචෙලා හී සේවය කරන දුමීර මධුරංග ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූවේය. ප්‍රසන්න පෙරේරා ගුරුතුමාගේ මඟ පෙන්වීම යටතේ පැරා ක්‍රීඩාවට පිවිසි දුමීර 2010 ගුවැන්ෂූ හී පැවැති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ආසියානු වාර්තාවක් බිහි කළ අතර දුර පැනීමෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
2012 මැලේසියා පැරා ආසියානු ශූරතාවලියේදී මීටර් 100 හා 200 ඉසව්වලින් රන් හා රිදී පදක්කම් දිනාගත් ඔහු 2014 ඉන්චියොන් ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී මීටර් 100 රිදී පදක්කම, දුර පැනීමෙන් වාර්තාවක් ද සමග ලෝකඩ පදක්කම දිනා ගත්තේය. 2016 ඔස්ට්‍රේලියා විවෘත පැරා ක්‍රීඩා උළෙලේදී මීටර් 100 හා 200 ලෝකඩ පදක්කම් දිනාගත් ඔහුගේ මුල්ම පුහුණුකරු මංජුලා තරංගනී මහත්මිය වූ අතර ප්‍රසන්න පෙරේරා, නිමල් ධර්මරත්න හා හරිජන රත්නායක යන මහත්වරු පුහුණු උපදේශ ලබාදී ඇත.
මෙවර ආසියානු පැරා මලල ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා පිලේ නායකත්වය පැවැරී ඇත්තේ ආබාධිත ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාවට දෙවැනි පැරාලිම්පික් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්තට වීම විශේෂත්වයකි.
ඉපලෝගම, කාගම පදිංචි දිනේෂ් අධ්‍යාපනය ලැබූවේ කාගම ධාතුසේන මහා විද්‍යාලයෙනි. පාසලේ අධ්‍යාපනයෙන් පසු සිය වෘත්තිය ලෙස යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව තෝරා ගන්නා දිනේෂ් 2008 වසරේ ක්‍රියාන්විතයේ යෙදී සිටියදී කිලිනොච්චි ත්‍රස්තවාදී ප්‍රහාරයට හසුව එක් අතක් අප්‍රාණිකව සිටී.
ඉන් පසු හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් පැරාලිම්පික් ලැයිස්තුවේ ශ්‍රී ලංකා නාමය සනිටුහන් කිරීමට දිනේෂ් සමත් විය. 2012 මැලේසියා පැරා ආසියානු ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රන් පදක්කම දිනාගත් ඔහු, 2016දී බර්ලින් හී පැවැති පැරාලිම්පික් සුදුස්සන් තේරීමේ තරගයේදී හෙල්ල විසි කිරීමෙන් රිදී පදක්කම, 2016 රියෝ පැරාලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කම, 2017දී ලන්ඩන් නුවර ලෝක පැරා ශූරතාවලියේදී රිදී පදක්කම දිනා පිට පිට දක්ෂතා පෙන්වීය. අනාගතයේදී මාස් හෝල්ඩිං ආයතනයට සම්බන්ධවීමේ අපේක්ෂාවෙන් සිටින දිනේෂ් ප්‍රියන්තගේ පුහුණුකරු වන්නේ ජාතික තලයේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන් රැසක් බිහිකළ ප්‍රදීප් නිශාන්ත මහතාය.
0 Comments