වසර 6කට පසු ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කිරීම වෙනුවෙන් එංගලන්ත ක්‍රිකට් පිල අද ශ්‍රී ලංකාවට පැමිණෙයි. එංගලන්ත පිල මෙවර සංචාරයේදී ටෙස්ට් තරග 3කට එක්දින තරග 5කට හා විස්සයි 20 තරගයකට සහභාගීවීමට සැලසුම් සකස් කොට ඇත. ටෙස්ට් තරග තුන ගාල්ල, පල්ලේකැලේ හා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණවලදී, එක්දින තරග පහ රංගිරි දඹුලු, පල්ලේකැලේ හා ආර්. ප්‍රෙමදාස ක්‍රීඩාංගණවලදී, එකම විස්සයි 20 තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අද පැමිණෙන එංගලන්ත ක්‍රිකට් පිලේ මෙවර සංචාරය නොවැම්බර් 27 වැනිදායින් අවසන් වීමට නියමිත අතර තරගාවලියේ පුහුණු එක්දින තරග දෙක මේ 5 හා 6 දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අවසන්වරට ශ්‍රී ලංකාව සමග එංගලන්තය ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියකට එක්වූයේ වසර 2012දී වන අතර එහිදී ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට හා පී. සරා ඕවල් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගෙයන් එංගලන්තය ජය ගත්තේය. එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට මහේල ජයවර්ධන නායකත්වය දුන් අතර එංගලන්ත පිල ඇලෙස්ටයාර් කුක් විසින් මෙහෙයවන ලදී.
එංගලන්ත පිල අවසන්වරට ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියකට සහභාගී වූයේ 2014 නොවැම්බර් මාසයේදීය. එක්දින තරග පහකින් සමන්විත එම තරගාවලියේදී ශ්‍රී ලංකාවට තරග 3-2ක ජයක් හිමි විය. එම එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවට නායකත්වය දුන් ඇන්ජලෝ මැතිව්ස් මෙවර එංගලන්තය සමග ක්‍රීඩා කරන කණ්ඩායමෙන් ඉවත්කර තිබීම විශේෂත්වයකි. නිමාවට පත්වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද අන්ත පරාජය හේතුවෙන් මෙවර එංගලන්තය සමග එක්දින තරගාවලියෙන් ඉවත්කොට ඇති අතර ටෙස්ට් තරගාවලියට පමණක් නම්කර ඇත.
වසර 1982දී ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවූවිට පළමු ටෙස්ට් තරගයට එක්වූ එංගලන්තය එදා මෙදාතුර ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග 31කට සහභාගීවී එයින් ශ්‍රී ලංකාව ජයග්‍රහණ 8ක් හා එංගලන්තය ජයග්‍රහණ 12ක් වාර්තා කොට තිබේ. තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් විය.
ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින තරග ඉතිහාසයේදී දෙපිල තරග 69කට සහභාගීවී එයින් ශ්‍රී ලංකාව ජයග්‍රහණ 34ක් හා එංගලන්තය ජයග්‍රහණ 33ක් වාර්තා කොට තිබේ. තරගයක් සමවී තරගයක් තීරණයක් නොමැතිව අවසන් විය. විස්සයි 20 තරග 8කදී දෙපිල තරග 4 බැගින් ජය ලබා සම තත්ත්වයේ පසුවෙති.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර එක්දින තරගාවලිය මේ මස 10වැනිදා ආරම්භවන අතර විස්සයි 20 තරගය 27වැනිදා පැවැත්වේ. පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 1දා ආරම්භවන අතර ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 27වැනිදා අවසන් වේ.
0 Comments