Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දිනේෂ් ප්‍රියන්ත නව වාර්තාවකින් රන් දිනයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

* යගුලිය විසිකිරීමෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්
* රෝද පුටු ටෙනිස් ඉතිහාසයේ පළමු ආසියා පදක්කම ශ්‍රී ලංකාවට

ආසියානු ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසි කිරීමේ පැරාලිම්පික් ශූර ඉන්දියාවේ සුන්දර් සිං පරාජය කළ දිනේෂ් ප්‍රියන්ත හෙට්ටිආරච්චි නව ආසියානු පැරා ක්‍රීඩා උළෙල වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනා ලක්මාතාවට ගෞරවය ගෙන දෙයි. එමෙන්ම යගුලිය විසි කිරීමෙන් පාලිත බණ්ඩාර රිදී පදක්කමක් ශ්‍රී ලංකා පදක්කම් සටහනට එක් කළේය.

ඉතිහාසයේ පළමු වරට ආසියානු මට්ටමේ පදක්කමක් දිනා ගනිමින් රෝද පුටු ටෙනිස් යුගල තරගයේදී සුරේෂ් රංජන් ධර්මසේන හා ලසන්ත සුරේෂ් රණවීර 6 - 1 හා 6 - 2ක් ලෙස 2-0කින් තායිලන්තය පරදවා ලෝකඩ පදක්කම දිනා ගැනීමද විශේෂත්වයකි.

ජාකර්තා ගෙලෝරා බන්ග් කාර්නෝ ක්‍රීඩා සංකීර්ණයේ ඊයේ පැවැති එක් අතක් අප්‍රාණික ක්‍රීඩක වර්ගීකරණය යටතේ (F 46) හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත මීටර් 61. 84ක දක්ෂතාවකින් නව වාර්තා පිහිටවූ අතර එහි පැරණි වාර්තාව ඊයේ සිවුවැනි ස්ථානයට පත්වූ පැරාලිම්පික් ශූර ඉන්දියාවේ දේවින්ද්‍රා මීටර් 58.89කින් කොරියාවේදී 2014 ක්‍රීඩා උළෙලේදී පිහිටුවා තිබිණි. හෙල්ල විසි කිරීමේ ඉසව්වට දිනේෂ් සමග තරග කළ ඉන්දියාවේ සුන්දර් සිං (මී. 61. 33) හා රින්කුයී (මී. 60. 92) රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගත්හ. මෙම ඉසව්වට එක්වූ ගාමිණී ඒකනායක මීටර් 53.94කින් හත්වැනි ස්ථානයට පත් විය.

මෙවර ආසියානු පැරා මලල ක්‍රීඩා උළෙලට ජකර්තා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් ප්‍රියන්ත 2016 රියෝ පැරාලිම්පික් ලෝකඩ පදක්කම හා පැරා ලෝක ශූරතාවලියේදී රිදී පදක්කම දිනාගත් පළපුරුදු ක්‍රීඩකයෙකි.

ඉපලෝගම, කාගම පදිංචි දිනේෂ් අධ්‍යාපනය ලැබූවේ කාගම ධාතුසේන මහා විද්‍යාලයෙනි. යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේවය කරමින් සිටියදී 2008 වසරේ මානුෂික මෙහෙයුම ක්‍රියාන්විතයේ කිලිනොච්චි ත්‍රස්ත ප්‍රහාරයට හසුව ඔහුගේ එක් අතක් අප්‍රාණික විය. ජාතික තලයේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයින් රැසක් බිහිකළ ප්‍රදීප් නිශාන්ත මහතා ඔහුගේ පුහුණුකරු වේ.

දණ හිසෙන් පහළ පාදයක් අහිමි හෝ කකුලක් අප්‍රාණික තත්ත්වයේ ඇති ක්‍රීඩක වර්ගීකරණය යටතේ ( F42 / 61 / 63) යගුලිය විසි කිරීමෙන් පාලිත බණ්ඩාර මීටර් 13.21කින් රිදී පදක්කම දිනා ගත්තේය. හදිසි අනතුරකදී පාදයක් අහිමි වූ පාලිත ඊයේ වාර්තා කළ දක්ෂතාව ශ්‍රී ලංකා වාර්තාව ඉක්මවා යෑමකි. ඔහු සමග එම තරගයට පිවිසි අජිත් කාරියවසම් මීටර් 7.76කින් 8වැනි ස්ථානයට පත් විය.

මේ අතර අතක් අහිමි හෝ අතේ ඉහළ කොටස ආබාධිත ( T 45 / 46 / 47) වර්ගීකරණයේ මීටර් 400 අවසන් තරගයේදී සමන් මධුරංග සුභසිංහ තත්පර 50. 16කින් සිවුවැනි ස්ථානයට පත්වූ අතර ප්‍රදීප් සෝමසිරි තත්පර 50. 24කින් හයවැනි ස්ථානය හා මල්ෂාන් ජයලත් තත්පර 52. 48කින් අටවැනි ස්ථානය දිනා ගත්හ.

දණ හිසෙන් පහළ පාදයක් අහිමි හෝ කකුලේ දිග වෙනස්වීම, කකුලක් අප්‍රාණිකවීම ( T 44 / 62 / 64) මීටර් 400 අවසන් තරගයේදී අජිත් ප්‍රසන්න කුමාර තත්පර 57. 50කින් 6වැනි ස්ථානයට හා අතක් අහිමි, අප්‍රාණික හෝ අතේ ඉහළ කොටස ආබාධිත ( T 45, 46 / 47) කාන්තා මීටර් 400 අවසන් තරගයට සහභාගීවූ අමරා ඉන්දුමතී විනාඩි 1: 02. 32කින් 4වැනි ස්ථානයට පත්වූහ.

පිරිමි ඒකළ රැපිඩ් චෙස් තුන්වැනි වටයේදී මොහොමඩ් කාසීම් 1-0කින් පිලිපීනයට පරාජයවූ අතර සමන් දුෂ්‍යන්ත කුමාර 1-0කින් තිමෝරයට පරාජය විය.

මෙවර ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ හයවැනි දිනය නිමා වෙද්දී ශ්‍රී ලංකාව රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 5ක් හා ලෝකඩ පදක්කම් 4ක් හිමි කරගෙන රටවල් 43කින් 14වැනි ස්ථානයේ පසුවේ. චීනය රන් පදක්කම් 129ක්, රිදී පදක්කම් 64ක් හා ලෝකඩ පදක්කම් 48ක් දිනා පෙරමුනේ පසුවන අතර දෙවැනි තැන සිටින කොරියාව රන් පදක්කම් 43ක්, රිදී පදක්කම් 37ක් හා ලෝකඩ පදක්කම් 34ක් දිනා ඇත. ඉරානය රන් පදක්කම් 38ක්, රිදී පදක්කම් 30ක් හා ලෝකඩ පදක්කම් 30ක් දිනා තෙවැනි ස්ථානයේ සිටින අතර අසල්වැසි ඉන්දියාව රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 16ක් හා ලෝකඩ පදක්කම් 24ක් දිනා 9වැනි ස්ථානයේ පසුවේ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();