Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බලන් කඩතුරා හැර දෑසේ

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ආසියානු වාර්තාව බිහිකළ ක්‍රීඩකයාගේ පුහුණුකරු ඉල්ලයි

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී දණහිසෙන් පහළ පාදයක් අහිමි හෝ පාදය අප්‍රානික ක්‍රීඩකයන් සහභාගීවූ මීටර් 100 හා මීටර් 200 පිරිමි අවසන් තරගවලදී රන් පදක්කම අමිල ප්‍රසන්න වර්ණකුලසූරිය දිනාගත් අතර එම ඉසව් දෙකේ රිදී පදක්කම උපුල් ඉන්දික චූලදාස දිනා ගත්තේය. මෙහි මීටර් 100 ඉසව්වේ නව ආසියානු පැරා ක්‍රීඩා වාර්තාව බිහි කිරීමට අමිල ප්‍රසන්න වර්ණකුලසූරිය සමත්වීම විශේෂත්වයකි. අමිල ප්‍රසන්න තත්පර 12. 56කින් නව ආසියානු පැරා වාර්තාව බිහිකළ අතර එහි පැරණි වාර්තාව ජපානයේ යමමෝටා හට්සුහාරී 2015දී දෝහා කටාර්හීදී තත්පර 12. 61කින් පිහිටුවා තිබිණි.

නව වාර්තාව පිහිටවූ අමිල ප්‍රසන්න වර්ණකුලසූරියගේ හා උපුල් ඉන්දික චූලදාසගේ පුහුණුකරු ලෙස කටයුතු කළ සුමිත් ජානක මහතා පවසන්නේ මෙම ආසියානු වාර්තාව පිහිටුවීමට මාස 7ක පමණ අඛණ්ඩ පුහුණුවක් ලබාදුන් බවය. අමිල ප්‍රසන්න හා උපුල් ඉන්දික පැරා මලල ක්‍රීඩාවේ පැහැදිලි අනාගතයක් ඇති ක්‍රීඩකයින් දෙදෙනකු බැවින් ඔවුන් හොඳින් රැකබලා ගැනීම යුතුකමක් බවද පෙන්වා දුනි.

ජාකර්තා ගෙලෝරා බන්ග් කාර්නෝ ක්‍රීඩා සංකීර්ණයේ ඉහළ අහසට ශ්‍රී ලංකා ධජ එසැවූ මේ ක්‍රීඩකයන් දෙදෙනාම සුමිත් ජානක යටතේ පුහුණුව ලැබූහ. ඔවුහූ උතුරු නැගෙනහිර කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් ආබාධ වූවෝ වෙති. අමිල ප්‍රසන්න වසර 2008දී පුදුකුඩුඉරුප්පු මානුෂික මෙහෙයුමේදී පාදය අහිමිවී දණ හිසෙන් කකුල නැවීමට නොහැකි තත්ත්වයේ සිටී. වසර 2008දී වැලිඔය ත්‍රස්ත ප්‍රහාරයකින් පාදය අහිමිවූ උපුල්ගේ තත්ත්වයද ඒ හා සමානය. මේ දෙදෙනාම ආබාධ තත්ත්වය සහමුලින්ම අමතක කොට ක්‍රීඩා පිටියට පිවිසෙති.

මේ හේතුවෙන් ඔවුන් ක්‍රීඩකයන් ලෙස ඉදිරියට ගැනීම සුමිත් ජානකට ප්‍රබල අභියෝගයක් විය.

“ පැරා ක්‍රීඩකයන් යුද්ධයේදී ආබාධවී සිටින නිසා ඔවුන්ගේ පුහුණු කටයුතුවලදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. පැරා මලල ක්‍රීඩකයන් පුහුණු කරද්දී ඒ අය ගැන හොද අවබෝධයක් තිබිය යුතුයි. ඒ අය පුහුණු කරන්නේ කොහොමද කියලා මුලින්ම සැලසුමක් හදා ගන්න ඕනෑ. ගොඩක් වෙලාවට යුද්ධයේදී ආබාධ වුණාම ඒ අයගේ ස්නායුවලට බලපෑම් වෙනවා. එහෙම නැත්නම් අස්ථි බිඳීමක් වී තියෙන්න පුලුවන්. ඒ නිසායි විශේෂ අවබෝධයකින් ඉතා පරිස්සමෙන් පුහුණු කටයුතු කළ යුතු වන්නේ. අත පය හොඳට තියන අයට වගේ හිතෙන හිතෙන ව්‍යායෑම් හා පුහුණු ක්‍රමවේද කරන්න බෑ. ඇතැම් අයගේ ආබාධ වලට ප්ලේට් දාලා තියෙනවා. ඒ නිසා පුහුණුකරු හා ක්‍රීඩකයා අතර හොඳ සම්බන්ධතාවක් තියෙන්න ඕනේ. ඔවුන්ගේ මානසික මට්ටම තේරුම් ගත යුතුයි. පැරා ක්‍රීඩකයෙක් තරගයකට සූදානම් කිරීම ලෙහෙසි නෑ. අපේ මාස හය හතක තිස්සේම ඉලක්කය වුණේ ආසියානු වාර්තාව පිහිටුවීමයි. ඒකට මානසිකව හා ශාරීරිකව සූදානම් කළා“ පුහුණුකරු සුමිත් ජනක මහතා පැවැසීය.

“ අපේ මීළඟ ඉලක්කය පැරාලිම්පික් පදක්කමක් දිනන්නයි. ඒක 2020දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉටු කරනවා. හැබැයි පැරා ක්‍රීඩකයන්ට මෙයට වඩා පිළිගැනීමක් අවහ්‍යයි. ඔවුන් උඩට ගේන්න ඕනේ . ඒකට සමාජ පිළිගැනීමක් අවශ්‍යයි. ඒක රාජ්‍ය මට්ටමින් සැලසුම් කරනවා නම් හොඳයි. මා හිතනවා ජනාධිපතිතුමා හා අගමැතිතුමා මේ ගැන අවධානය යොමු කරයි කියා. මෙවර ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික සංචිතය වගේම ආසියානු පැරා සංචිතයක් පවත්වා ගන්න උදව් කළා. පහසුකම් දීලා තිබුණා. පැරා කමිටුවත් උදව් කළා. යුද හමුදාපතිතුමා ඇතුළු සියලු නිලධාරීන් අපට ආශිර්වාදය දුන්නා. ඒ සියල්ලම ජයග්‍රහණයට හේතුවක්“ සුමිත් ජානක මහතා සිහිපත් කළේය.

පැරා මලල ක්‍රීඩා පුහුණුකරු සුමිත් ජානක මහතා කොබෙයිගනේ ශ්‍රී පරාක්‍රම ජාතික පාසලෙන් අධ්‍යාපනය ලබා යුද හමුදා සේවයට එක්ව ඇත. මීටර් 400 කඩුලු පැනීමේ ශූරයකු වූ ඔහු පසුව ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ ක්‍රීඩා ඩිප්ලොමාව හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා ඩිප්ලෝමාව හදාරා පුහුණුකරුවකු බවට පත් විය. මෙවැනි ධෛර්යවන්ත මිනිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා දෙන්නේ නම් 2020දී පැරාලිම්පික් පදක්කමක් දිනා ගැනීම අපහසු නොවනු ඇත.



Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();