ලෝක වෙළඳපොළේ තත්වයන් මත දිගින් දිගටම ඉන්ධන මිල වැඩි වන්නේ නම් පොදු ප්‍රවාහන මාධ්‍ය සඳහා ඉන්ධන සහනාධරයක් ලබාදීම පිළිබඳව රජය විසින් සාකච්ඡා පවත්වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාසල් වෑන් රථ ද සිය ගාස්තු වැඩි කිරීමේ සූදානමක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් රජයේ නිර්ණායක සහ ක්‍රියාමාර්ග මොනවාදැයි දයාසිරි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවේ මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිල ඉහළ නංවා නොමැති බැවින් පාසල් වෑන් රථ ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. කෙසේ වෙතත් තමන් එම සංගම් සමග ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ලංකාවේ පාසල් වෑන් රථ 45,000ක් පමණ පවතින බවත් ඒවා නියාමනය කෙරෙන්නේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවෙන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන්ධන මිල ඉහළ යාමේ බර ජනතාව මත පැටවීම වැළැක්වීම පිණිස පොදු ප්‍රවාහනය සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමේ හැකියාවක් පවතින්නේද යන්න පිළිබඳව තමන් මුදල් අමාත්‍යවරයා සමඟත් සාකච්ඡා කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
The post ඉන්ධන සහනාධාරයක් ගැන ආණ්ඩුවේ සාකච්ඡාවක්. appeared first on Lanka News Column.
0 Comments