ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කෙරෙන බාලිකා පාසල් මහා ක්‍රිකට් තරග ව්‍යාපෘතියේ ගෙවීම් ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස කටයුතු කරන පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි මහතාගේ උපදෙස් අනුව නතර කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ වුවත් එවැනි තීරණයක් පිළිබඳ මෙතෙක් තමාට දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනිය අප්සාරි තිලකරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
බාලිකා පාසල් අතර මහා ක්‍රිකට් තරග පැවැත්වීම මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට කදිම දායකත්වයක් ලබාදෙන බව කී අප්සාරි තිලකරත්න මහත්මිය, මීට වසර කිහිපයකට පෙර ආරම්භ කළ මේ ව්‍යාපෘතිය මෙරට බාලිකා පාසල් අතර ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කිරිමට ඉවහල් වී ඇතැයි ද සඳහන් කළාය.
‘දිනමිණ’ කළ විමසුමකට පිළිතුරු දෙමින් අප්සාරි තිලකරත්න මහත්මිය මේ අදහස් පළ කළාය. ‘ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් බාලිකා පාසල් මහා ක්‍රිකට් තරග පැවැත්වීමේ ව්‍යාපෘතිය නවත්වා නෑ. එහි ප්‍රතිපාදන නැවත්වූ බවට කිසිම තීරණයක් ගැන මට දැනුම් දීමක් සිදු කර නෑ.’ ඇය පැවැසීය.
වසර කිහිපයකට පෙර ආරම්භ කළ මේ ව්‍යාපෘතිය මේ වනවිට බාලිකා විදුහල් අතර අතිශය ජනප්‍රියත්වයකට පත්වී ඇතැයි ද, බොහෝ බාලිකා පාසල් මහා ක්‍රිකට් තරග සඳහා සම්බන්ධවීමට කැමැත්ත පළ කර ඇතැයි ද අප්සාරී තිලකරත්න මහත්මිය කීවාය.
‘අපි පසුගිය වසරේදී බාලිකා පාසල් මහා ක්‍රිකට් තරග 10ක් පැවැත්වුවා. මේ වසරේදී දැනටමත් 9ක් පවත්වා හමාරයි. ලබන 13 වැනිදා මොරටුව වේල්ස්කුමාරි විදුහල් පිල සහ පානදුර සාන්ත අන්තෝනි බාලිකා විදුහල අතර මහා ක්‍රිකට් තරගය පැවැත්වෙනවා. තවත් තරගයක් ඉදිරියේදී පැවැත්වේවි.’
‘බාලිකා පාසල් මහා ක්‍රිකට් තරගවලදී දක්ෂතා පෙන්වූ යොවුන් ක්‍රිකට් ක්‍රීඩිකාවන් කිහිපදෙනකුම මේ වනවිට ශ්‍රී ලංකා කාන්තා සංවර්ධන සංචිතයට එක්වී සිටිනවා. ඉදිරියේදී මේ පිරිස තවත් වැඩිවේවි. කාන්තා ක්‍රිකට් සාර්ථක කිරිමට නම් බාලිකා ක්‍රිකට් තරග වැඩි වැඩියෙන් පැවැත්විය යුතුයි. පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ නිසි සැලසුමක් ක්‍රියාත්මක වීමෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් එකතුවෙනවා වගේම බාලිකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් කිරීමෙන් කාන්තා කණ්ඩායමටත් දක්ෂතා ඇති ක්‍රීඩිකාවන් බිහිවෙනවා. එවැනි සැලසුමක් අවශ්ය්යයි. අප මේ සිදු කරන්නේ එවැනි කාර්යභාරයක්.’ අප්සාරි තිලකරත්න මහත්මිය සඳහන් කළාය.
මෙමගින් දිස්ත්‍රික් පුහුණුකරුවන්ට දක්ෂතා ඇති ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමට පහසුවෙනවා. අප මේ තරග පවත්වන්නේ අසීරුවෙන්. ක්‍රිකට් ආයතනයෙන් එක් තරගයකට රුපියල් ලක්ෂය බැගින් ලබාදෙනවා. විනිසුරුවරුන් හා ලකුණු සටහන්කරුවන් ලබාදෙනවා. නමුත් ක්‍රීඩාංගණ වෙන්කිරීම, ක්‍රීඩිකාවන්ගේ නිල ඇඳුම් සකස් කිරීම සඳහා මෙන්ම තවත් වියදම් සඳහා එය ප්‍රමාණවත් නෑ. ඒ නිසා අදාළ පාසල්වල ආදි සිසු සංගම්, මාපියන්, අනුග්‍රාහක ආයතන මගින් මදිපාඩු පිරිමසා ගන්න සිදුවෙනවා.’
දක්ෂතා ඇති පාසල් ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම හා ඔවුන් සංවර්ධන කණ්ඩායම් සඳහා යොමුකිරීම සිදුවූවත් ජාතික කාන්තා ක්‍රිකට් පිලේ දක්ෂතා පිළිබඳ සෑහීමකට පත්විය හැකිදැයි විමසූ විට ඇය මෙසේ කීවාය.
‘ජාතික කණ්ඩායමට ක්‍රීඩිකාවන් තෝරන්නේ මා නෙවෙයි. අනික මා පුහුණුකරුවෙකුත් නොවෙයි. මගේ කාර්ය වන්නේ දීපව්‍යාප්තව බාලිකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමයි.’ යන්නය.
කිසිදිනෙක ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව නොසිටි අප්සාරි තිලකරත්න මහත්මිය මෙම තනතුරට පත්වීම එකළ වැඩි කතාබහට ලක්වූ කරුණක් වූ අතර ඒ පිළිබඳ ඇය මෙසේ කීවාය.
‘මම පත්වුණේ පරිපාලනයට මිසක් ක්‍රිකට් පුහුණු කරන්න නෙවෙයිනේ. ඒ නිසා ඒක අදාළ නෑ. මම බොහොම සද්භාවයෙන් මේ කාර්යයේ නිරතව සිටිනවා. එය පාසල් රැසක විදුහල්පතිවරුන්ගේ පැසසුමට ලක්වී තිබෙනවා.’
0 Comments