Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ත්‍රස්ත ප්‍රහාරයෙන් පාද අහිමි වූ ලක්විරුවෝ සිංහ ධජ තුනක් එකවර ඉහළ ඔසවති

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන්, රිදී හා ලෝකඩ පදක්කම් හිමිකර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල අභිමානයකින් පසුවෙති. ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා මාතාවට ගෞරවයක් ගෙනදීමට හැකිවීම පිළිබඳ ඔවුහූ සිය සතුට පළ කරමින් සිටිති.

දණහිසෙන් ඉහළ පාදයක් අහිමි හෝ පාදයක් අප්‍රාණික (T 42, 63) මීටර් 200 පිරිමි ඉසව්වේ රන්, රිදී හා ලෝකඩ පදක්කම් තුනම ශ්‍රී ලංකාව සතුවී ඉන්දුනීසියාවේ ජාකර්තාහී ගෙලෝරා බන්ග් කාර්නෝ ක්‍රීඩා සංකීර්ණයේදී සිංහ ධජ තුනක් ඉහළට එසැවීම කාගේත් විශේෂ අවධානයට යොමුව තිබිණි. මෙතෙක් මේ ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ එකම ඉසව්වකදී එක් රටක් පදක්කම් තුනම සතු කරගත් පළමු දුර්ලභ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩක පිරිස සටහන් කිරීම මෙහි විශේෂත්වය වේ.

එහි රන් පදක්කමක් දිනා ගත් අමිල ප්‍රසන්න වර්ණකුලසූරිය වයඹ පළාතේ පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ තරුණයෙකි. වසර 2008දී පුදුකුඩුඉරුප්පු මානුෂික මෙහෙයුමේදී පාදය අහිමි වූ ඔහුට එල්ල වූ එම අනපේක්ෂත ප්‍රහාරයෙන් පසු නොසැලී ඉදිරියට පැමිණියේය. එම එඩිතර ගමනේ ප්‍රතිඵලය වූයේ ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලකදී රන් පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාව උදාකර ගැනීමය. “මා වයඹ පළාතේ දුෂ්කර ගම්මානයක කොල්ලෙක්. පාබල හමුදාවේ සේවය කරද්දී රට බේරා ගැනීමේ සටනට අවතීර්ණ වුණා. පුදුකුඩුඉරුප්පුවලදී ත්‍රස්තයන් පිරිසක් අප සිටින දෙසට වෙඩි වරුසාවක් එල්ල කළා. අප ප්‍රති ප්‍රහාර එල්ල කළා. ඒ වුණත් මගේ කකුලට එල්ල වූ වෙඩි පහරකින් පාදයක් අහිමි වුණා. පාදයට වූ තුවාල සුව කරගෙන වසර 7කට පසුව 2015දී පැරා ක්‍රීඩා පුහුණුවීම් ආරම්භ කළා. මේක මගේ පළමු ඒෂියන් ගේම් එක. ඒ නිසා තරගයට එනවිට පොඩි චකිතයක් තිබුණා. මොකද අනෙක් ක්‍රීඩකයන් සියල්ලම මට වඩා හොඳ කාලයක් වාර්තා කළ ගොඩක් අත්දැකීම් තිබූ අය නිසා. නමුත් තරගයට අවතීර්ණවී පළමු මීටර් 50 යද්දී මට දැනුණා අපට වාසි සහගත නිමාවක් කළ හැකි බව. 2020 පැරාලිම්පික් උළෙලේදී පදක්කමක් දිනා ගැනීම දැන් මගේ එකම සිහිනයයි. මට මාස 6ක පුතෙක් සමග දුවලා දෙන්නෙක් ඉන්නවා. පහසුකම් ලැබුණොත් මෙයට වඩා බොහො දේ කළ හැකියි” රන් පදක්කම් දිනූ අමිල ප්‍රසන්න පැවැසීය.

අමිල සමග රිදී පදක්කම දිනාගත් උපුල් ඉන්දික වසර 2008දී වැළිඔයදී සිදුවූ ත්‍රස්ත වෙඩි ප්‍රහාරයකට හසුවී පාදයක් අප්‍රාණික තත්ත්වයේ ඇත. එය ඔහුගේ ජීවන ගමනට බාධාවක් නොවේ. ඔහු අද ජාත්‍යන්තර පදක්කම් දිනූවෙකි. “යුද්ධයේදී කකුල අහිමි වුණා කියා පසුබට වුණේ නෑ. මා ක්‍රීඩාවට අවතීර්ණවී විශාල ජයක් ලබා ගත්තා. යුද හමුදා නිලධාරීන්ගේ ඉල්ලීම උඩ මා ක්‍රීඩාවට පැමිණියේ. මීළඟ පැරාලිම්පික් පදක්කමක් දිනා ගැනීම මගේ එකම බලාපොරොත්තුවයි” හෙතෙම පැවැසීය.

ලෝකඩ පදක්කම සතුකරගත් චරිත නිර්මල වසර 2009දී පුදුකුඩිඉරිප්පු අවසන් මෙහෙයුමේදී කකුලක් අහිමිවූ විරෝධාර සටන්කාමියෙකි. ඒ අවසාන මෙහෙයුමේදී කකුල අහිමිවීම යම් වේදනාබර මතකයක් වුවද ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී පදක්කමක් දිනා ගැනීම අසීමිත සතුටක් බව චරිත නිර්මලගේ අදහස වේ. “ජයග්‍රහණයේ සතුට පුහුණුකරුවන් හා පවුලේ අය සමග නිහතමානීව බෙදා ගන්නවා. මේ තරගයට මා ආවේ පදක්කමක් දිනා ගන්න අධිෂ්ඨානයෙන් යුතුවයි. ඒ බලාපොරොත්තුව ඉටුවීම සතුටක්. පැරා ක්‍රීඩකයන්ට මෙයට වඩා අපේ රට තුළ සාධාරණයක් විය යුතුයි. මෙයට වඩා සොයාබලන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා.” චරිත නිර්මල සඳහන් කළේය.

හෙල්ල විසි කිරීමෙන් රදී පදක්කම් දිනාගත් සම්පත් චමින්ද හෙට්ටිආරච්චි හා දුර පැනීමෙන් රිදී පදක්කම දිනා පදක්කම් අමරා ඉන්දුමතී මේ ජයග්‍රහණවලට ආශිර්වාද කළ සියලු දෙනාටම සිය ස්තූතිය පළ කළහ.

“මා තරගයට සහභාගීවන වේලාවේ ශ්‍රී ලංකාවේ කිහිප දෙනකු බෝධි පූජා තියා මට ආශිර්වාද කළ බව දැන ගත්තා. ඒ ශක්තිය මගේ ඇඟට දැනුනා. ඒ වගේම මාස් ආයතනය වසර කිහිපයක් තිස්සේ මට දෙන බලය හා ශක්තියට ණය ගැතියි. මේ ක්‍රීඩා උළෙලේද මා මීටර් 200 හා 400 තරගවලට ඉදිරිපත් වෙනවා. මීටර් 400 තරගයේදී පැරාලිම්පික් පදක්කම් දිනූ මුල්ම තිදෙනා මා සමග තරග කරනවා. නමුත් මා පදක්කමක් දිනන අධිෂ්ඨානයෙන් ඉන්නේ” උපතින්ම එක් අතක් අහිමිවූ අමරා ඉන්දුමතීගේ ධෛර්ය සම්පන්න කතාව එලෙස දිග හැරුණි.

යුද හමුදාවේ විජයබා රෙජිමේන්තුවේ සේවය කරමින් සිටියදී රට බේරා ගැනීමේ කිලාලී ක්‍රියාන්විතයේ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් පාදයක් අහිමිවූ සම්පත් චමින්ද හෙට්ටිආරච්චි සඳහන් කළේ මීළඟ ඔලිම්පික් උළෙලේදී තවත් පදක්කමක් දිනා දීම අරමුණ බවයි. “මා විවාහකයෙක්. අවුරුදු 11ක දුවෙක් ඉන්නවා. අම්මා අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියාවක් කොට විශ්‍රාමිකයි. අප්පච්චි ගොවිතැන් කරනවා. කකුල නැති වුණත් හිතේ හයියෙන් මේ ජයග්‍රහණය ලැබූවේ. අපට තවත් පහසුකම් තියෙනවා නම් ජයග්‍රහණ ගන්න අපහසු නෑ” රිදී පදක්කම් දිනූ සම්පත් සදහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();