Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මේ රටේ වෛරය පරතරය අඩු කරන්න අවශ්‍යයි – ඇමති නවීන්.

Navin_Dissanayke

මේ රටේ වෛරය, පරතරය අපි අඩු කරන්න අවශ්‍ය බවත් මේ පුංචි රටේ මිලියන 20ක කෝටි දෙකක ජනතාවක් ඉන්න මේ රටේ තරම් මීට වඩා ජනතාවක් ඉන්න රටවල මෙහෙම විප්ලව වෙන්නේ නැති බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර සිටියේ  නුවරඑළිය දිස්ත්‍රික කාර්යාලයේදී පැවති  ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියෙහි  (NAITA), පුහුණු අවස්ථා දෙගුණ කිරීමේ ජාතික වැඩසටහනෙහි පළමු පියවරෙහි  සමාරම්භක උත්සවයේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අද හරිම ලේසි තරුණයින්ට ත්‍රීවීල් එකක් අරන් එලවන්න. එතකොට ඔවුන්ට තිස්දාහක් හතළිස් දාහක් ලබා ගන්න පුළුවන්. නමුත් ත්‍රීවීලය නෙවෙයි අනාගතය.  ත්‍රීවීලයක් එළවලා හදවතට තෘප්තියක් එන්නේ නෑ. නමුත් අපේ සමාජය අපේ තරුණයෝ ටික එතනට තල්ලු කරලා. මම නිතරම තරුණයන්ට කියන්නේ මටත් තරුණයන් ගැන පොඩි අත්දැකීම් ටිකක් තියෙන නිසා. අපේ ගාමිණී දිසානායක පදනම කියලා ආයතනයක් තියෙනවා. ඒ ආයතනයෙන් නොමිලේ  අවුරුද්දක් තරුණ තරුණියන්ට ඉංග්‍රීසි හා පරිගනක පුහුණු පාඨමාලා පවත්වනවා. ”

විශේෂයෙන්ම NITA ආයතනයේ පුහුණු අවස්ථා දෙගුණ කිරීමේ ජාතික වැඩසටහන අද සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි උත්සව සංවිධානය කරලා තියෙනවා. අද අපේ සමාජයේ දරුවන් ඉතාමත් අමාරු සංකීර්ණ අවස්ථා වලට තමයි මුහුණ දෙන්නේ. අපි දෙමව්පියන් හැටියට මේ රටේ තරුණ තරුණියන් අපේ සම්පතක් විදිහට මම දකිනවා. අපේ රටේ තිබෙන විශාලම සම්පතක් තමයි මානව සම්පත. මේ මානව සම්පත අපිට හරියට පුහුණු කරන්න පුළුවන් නම් ඔවුන්ට ඒ අවශ්‍ය රැකී රක්ෂා වලට පුහුණුව ලබා දෙන්න පුළුවන් නම් මීට වඩා හොඳ සවිමත් ජන සමාජයක් අපිට බිහි කරන්න පුළුවන් කියන එක මම අනිවාර්යෙන්ම කිව යුතුයි.

මේ රටේ කැරළි තුනක් ඇති වෙලා තියෙනවා. අපි මේ වැඩිහිටියන්ට ඒ කැරළි ගැන මතක් කළ යුතු නෑ. නමුත් අපේ දරුවන්ට ඒවා මතක් කරන්න සිද්ධ වෙයි. 1971 විශාල කැරැල්ලක් තිබ්බා.  පළවන ජෙවිපි කැරැල්ල. මේ කැරැල්ලෙන් දරුවන් හතළිස් දාහක් පමණ අපට නැති වුණා. අමු අමුවේ දරුවන් ඝාතනය කළා. ඊට පසුව මේ කැරැල්ල ගැන විමර්ශනය කරන්න බණ්ඩාරනායක මැතිණිය වෙනම කොමිසමක් පත් කළා. මේ කොමිසමෙන් ඇති වුණු විශාල මතභේද ඒ වගේ නිර්දේශ තමයි අවශ්‍ය පුහුණුවක් නැති නිසා ඔවුන්ගේ තියෙන තරුණ අසහනය වැඩි වෙලා ඔවුන් කැරලි ගහනවා කියන මතයක් ඒ කොමාසම පැහැදිළිව නිර්දේශ කළා. ඒ නිසා අපේ තරුණයන් ලස්සන සුන්දර ලෝකයක් ඒ වගේම තමන්ගේ හැකියාව අනුව ඉදිරියට යාමට බලාපොරොත්තු තියෙන බව අනිවාර්යෙන්ම කිව යුතුයි. නමුත් ඒක වෙන්නේ නෑ.

ඊට පසුව 1988 – 1989 කැරැල්ලකුත් තිබ්බා. මෙතන ඉන්න බොහෝ තරුණ තරුණියන් ඒ කාලේ ඉපදෙන්න ඇතියි කියලා මම හිතනවා. නමුත් ඔවුන්ට ඒකේ මතකයක් නෑ. නමුත් අපි සියලු දෙනාට ඒ අවධිය හොඳට මතක තියෙනවා.  ඒ දවස් වල මනුෂ්‍ය ඝාතන සිද්ධ කරලා පාරේ ටයර් උඩ දාලා තිබ්බේ. ඒ කාලේ තරුණයන්ට එයාගේ අනාගතේ ගැන ඒ විදිහටයි මුහුණ දෙන්න සිද්ධ වුණේ. එහිදීත් තරුණයෝ විශාල ප්‍රමාණයක් අපිට අහිමි වුණා. මීට අමතරව 1976 ඉඳලා උතුරේ තරුණ තරුණියෝ කැරලි ගැහුවා. ඒ ප්‍රභාකරන්ගේ කැරැල්ල. ඒ කැරැල්ල මේ මෑතක් 2009 වෙනකන් පැවතුනා. එහි අරමුණ වුණේ රට දෙකඩ කරන්න. නමුත් එතනත් තිබුණේ තරුණ තරුණියන්ගේ අසහනය. එතන උතුරේ තරුණයන්ගේ මතයක් තිබුණා අපි මේ ශ්‍රී ලාංකීය කියන සමාජයට එකතු කර ගන්නේ නෑ කියලා. ඒ නිසා ඒ අය වෙනම රාජ්‍යයක් ඉල්ලුවා. ඒ අය තුවක්කු ගත්තා.  බෝම්බ ගැහුවා මිනිස්සු මැරුවා. මේ අපේ තරුණ තරුණියන්ගේ හැකියාවන් දේශපාලන නායකයන්ට ස්ථානගත කරන්න බැරි නිසා තමයි මේ සියලු දෙයක්ම සිද්ධ වුණේ. උතුරේ කැරැල්ලෙන් අපිට තරුණ තරුණියෝ හැත්තෑදාහක් පමණ අහිමි වුණා.

ඉතිං අපට පේනවා මේ රට බෞද්ධ, හින්දු, මුස්ලිම් හා ක්‍රිස්තියානි සියලු දෙනාටම අයිති රටක් වුණත් මේ රටේ විශාල වෛරයක් තිබෙන බව. ඒ තමයි තිබෙන කට්ටිය හා නොතිබෙන කට්ටිය අතර තිබෙන පරතරය. මේ රටේ වෛරය පරතරය අපි අඩු කරන්න අවශ්‍යයි. මේ පුංචි රටේ මිලියන 20ක කෝටි දෙකක ජනතාවක් ඉන්නේ. මීට වඩා ජනතාවක් ඉන්න රටවල මෙහෙම විප්ලව වෙන්නේ නෑ. ඉතිං අපි නැවතත් හිතන්න අවශ්‍යයි මේ රටේ නිදහසින් පස්සේ මේ රටේ තරුණයින් කැරලි ගහන්නේ විප්ලව කරන්නේ ඇයි කියලා.

මම හිතන්නේ දැන් මේ NITA ආයතනය හරහා විශාල අවස්ථා තරුණයින්ට ලැබෙනවා. තරුණයන් වුණත් මෙයින් අවස්ථාව ලබා ගත යුතුයි. අපේ රට පුංචි රටක් වුනත් තරුණයන්ට විශාල අවස්ථා ලබා දෙනවා. මම ඇත්ත වශයෙන්ම හිතනවා තරුණයන්ට ඒ අවස්ථා තිබ්බත් ඔවුන් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ නෑ කියලා.

අපි අලුතින් සිතිය යුතුයි. මේක ඇත්තටම දේශපාලනඥයින්ගේ වරදක්. අපි තවමත් යන්නේ අර සුද්දාගේ ක්‍රමයට. ඒක තමයි 1948 සුද්දා අපිට නිදහස දෙන කොට O/L හා  A/L ක්‍රමය අපට දුන්නා. 1948 ඒක හොඳ වෙන්න ඇති. නමුත් 2018 ඒ ක්‍රමය හොඳ නෑ. දැන් ලෝකය වෙනස් වෙලා.  ලෝකය වෙනම මාවතකට යන්නේ. පැහැදිළිවම උසස් පෙළ කරන්න පෙර ලක්ෂ දෙකක් පමණ සාමාන්‍ය පෙළ කරනවා. මේ ලක්ෂ, දෙකෙන් 80% පමණයි උසස් පෙළට යන්නේ. එතකොට එතනින් 20% හැළෙනවා. උසස් පෙළින් 20% පමණයි විශ්ව විද්‍යාලයට යන්නේ. 80% උසස් පෙළින් හැළෙනවා. ඉතිං මේ හැළෙන 80% තමයි අපි වෘත්තීය පුහුණු ලබා දෙන්න හදන්නේ. දයාබර නංගියේ  මල්ලියේ අපි එක්ක පිළිගත යුතුයි. රුකියාවක් ලබා ගන්න අපිට අනිවාර්යෙන්ම යම් පුහුණුවක් සහතිකයක් තිබිය යුතුයි.

ඉතාමත් සීමිත පිරිසකට පුළුවන් මම වගේ දේශපාලඥයෙක් පිටිපස්සේ ගිහින් රස්සාවක් ගන්න. එවැනි අවස්ථා වැඩිම වුණොත් මේ රටේ 10% ලැබෙයි. මේ උත්සවයෙන් පස්සේ මම මගේ කාර්යාලයට යනවා. එහිදී අඩුම සියයක්වත් තරුණ තරුණියෝ රස්සා ඉල්ල ගෙන එතන ඉන්නවා.  මාත් එක්ක සම්බන්ධ අය ඉල්ලුම් පත්‍රයක් දීලා කියනවා අනේ සර් මට කොහේ හරි කමක් නෑ රැකියාවක් ලබා දෙන්න කියලා. මට ලැබෙන ඉල්ලුම් පත්තර වලිනුත් වැඩිම 10% මට කරන්න පුළුවන්. ඉතිං මේක ඉතාමත් අසාධාරණ ක්‍රමයක්. අපිට අපේ තරුණ තරුණියන්ගේ දක්ෂතාවය හඳුනා ගන්නා ක්‍රමයක් අවශ්‍යයි. මම යෝජනා කරනවා සාමාන්‍ය පෙළින් පසුව මාස 06ක් ඇතුළත අපි ඇගයීමක් කරන්න අවශ්‍යයි අධ්‍යාපනය තුළින් මේ දරුවාගේ හැකියාව මොකක්ද ? දරුවාගේ බලාපොරොත්තුව මොකක් ද ? දරුවා කොතැනට ද ? යන්න අවශ්‍ය කියන එක ගැන මූලික විශ්ලේෂණයක් අපේ අධ්‍යාපන ක්‍රමය තුළ අපි කරන්න අවශ්‍යයි.  දැන් එහෙම වෙන්නේ නෑ.

එහෙම වුණා නම් දරුවාට වෘත්තීයමය වශයෙන් මෙහෙම ඉදිරියට යන්න කියලා උපදෙස් ලබා දිය හැකියි. ඒක පාසලෙන් වෙන්නේ නෑ. ඒ නිසා උසස් පෙළින් පසු දරුවා ඇත්ත වශයෙන්ම අනාතයි. උසස් පෙළින් ප්‍රතිඵල අඩු දරුවා උත්සාහ කරනවා තවත් තැනකට යන්න. ඒ නිසා මේ වෙනස සාමාන්‍ය පෙළින්ම කරන්න අවශ්‍යයි.

ඉතිං අද මෙතනට ඇවිල්ලා ඉන්න නංගිලා මල්ලිලා ගෙන් මම ඉල්ලා සිටිනවා කරුණා කරලා උත්සාහය අත් හරින්න එපා. තමන්ට හැඟීමක් තියෙන්න ඕනේ මම ඉදිරියට යනවා කියලා. එක පාරක් අසාර්ථක වුණොත් ආයිත් මම අසාර්ථක වෙන්නේ නෑ කියලා උත්සාහයක් තිබිය යුතුයි. දරුවන් තුළ එහෙම හැඟීමක් තිබිය යුතුයි. හැමෝටම එක පාරම සාර්ථකත්වයක් එන්නේ නෑ. අපිටත් එහෙම නෑ.  අපිත් දේශපාලනය කරන විට ජයග්‍රහණ තිබුණා. පරාජයන් තිබුණා. චන්දන මැතිතුමා උණත් එදා පරාජය වුණා. එතුමා උත්සාහය අත් හැරියා නම් අද අපට හොඳ නගරාධිපතිවරයෙක් නැති වෙනවා. අපි කොච්චර බැන්නත් කොච්චර චෝදනා කළත් පොඩ්ඩක් ගූගල් තාක්ෂණය හරහා සොයා බලන්න අපේ රට දකුණු ආසියාවේ කොතනද ඉන්නේ කියලා. අපි ඉහළ තැනක ඉන්නවා. එකක් අපිට හොඳ සෞඛ්‍ය මට්ටමක් මේ රටේ තියෙනවා.  වෙන කිසිම රටක මෙවැනි සෞඛ්‍ය සේවයක් නෑ. අනිත් එක නිදහස් අධ්‍යාපනය. මමත් දැන් නිදහස් අධ්‍යාපන ගැන අඩුපාඩු කතා කළා නමුත් අපේ රට අවුරුදු 18ක් නොමිලේ ළමයින්ට අධ්‍යාපනය ලබා දෙනවා. අනිත් රටවල් වල එහෙම ලැබෙන්නේ නෑ. එක පැත්තකින් අපිට හොඳ ක්‍රමයක් තියෙන්නේ. ඒක ඔප මට්ටම් කරලා ගන්න තියෙන්නේ. මම ජපන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍ර සමාගමේ සභාපති. ජපානයෙන් විශාල උවමනාවක් තියෙනවා හෙඳියන්ට. එයාලට වයස්ගත ජනගහනයක් තියෙනවා. තරුණ ජනගහනයක් නෙවෙයි ඉන්නේ. ඒ අයට  වැඩිමල් ජනතාව බලා ගන්න අය අවශ්‍යයි. මම දැක්කා මේ පාඨමාලාවේ ඒ පුහුණු පාඨමාලාව තියෙනවා. වැටුප ලක්ෂ දෙක පණින්න පුළුවන්. වයරින් මැකැනිකල් හොටෙල් යන ක්ෂේත්‍ර වලට ශ්‍රමිකයින් අඩුයි. ඒකට එක හේතුවක් තමයි ත්‍රීවිල්. ත්‍රීවිල් නිසා විශාල ගැටළුවක් මේ සමාජයේ තියෙනවා. අපි ඒක පිළි ගන්න ඕනේ. එක පැත්තකින් වාසියක් තවත් පැත්තකින් විශාල හානියක්. විශාල සමාජ ප්‍රශ්න ඇති වෙනවා ත්‍රීවීල් එක නිසා. ඒවා ගැන මම කතා කරන්න යන්නේ නෑ.

එම නිසා අපේ රටේ අනාගතය තියෙන්නේ මේ දරුවන්ගේ මතයි. දෙමව්පියන්ටත් වගකීමක් තියෙනවා දරුවන් නිසි තැනට ගෙනි යන්න. අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. දරුවෙක් තරුණ තරුණියක් කියන්නේ වැදගත් වටිනා ජීවිතයක්. ඉතිං ඒ වටිනා ජීවිතයෙන් අපිට උපරිමය ඒ දරුවාටත් සමාජයටත් රටටත් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් NITA ආයතනය අනිවාර්යෙන්ම හදනවා.  NITA ආයතනයෙන් කරන සේවය අප්‍රමාණයි. අපිට වචන වලින් ඒක කියන්න බෑ. විශේෂයෙන්ම ඒ අවශ්‍ය වෘත්තීය පුහුණුව ලබා දීම NITA  ආයතනයේ ප්‍රධානතම හැකියාව දක්ෂකම.

NITA  ආයතන බිහි වෙලා තියෙන්නේ ඒ සඳහා කියන එක මා හැමෝටම ප්‍රකාශ කරන අතර, දෛනිකව ඔවුන් දරුවන්ට ගෙවීමකුත් කරනවා. එය කරන්නේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න හා අවශ්‍ය තැනට ඔවුන් ගෙනි යන්නයි. දරුවන්ටත් ඒ නිසා යුතුකමක් තියෙනවා මේ ආයතනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.  දරුවනි ඔබ අතෙයි ඔබේ අනාගතය තියෙන්නේ. උත්සාහයෙන් ජීවිතය ජය ගන්න. ඔබගේ හැකියාව හඳුනා ගෙන ඉදිරියට එන්න. හැම දෙනාටම සුභ අනාගතයක් කියමින් මම නිහඬ වෙනවා.

The post මේ රටේ වෛරය පරතරය අඩු කරන්න අවශ්‍යයි – ඇමති නවීන්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();