ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ දෙවැනි අදියර ලෙස ඊයේ දකුණු කොරියාවේ ඉන්චේන් නුවර නැම්ඩොම් ඒෂියාඩ් ක්රීඩාංගණයේ දී නිමාවට පත්වූ දෙවැනි අදියරේ තරගාවලියේ දැඩි පසුබෑමක් පෙන්නුම් කළ ශ්රී ලංකා ක්රීඩකයන්ට හිමිවූයේ 6 වැනි තැනය. මෙවර තරගාමාලාවේ පළමු අදියර ලෙස පසුගියදා හොංකොං නුවර පැවැති තරගාවලියේ දි තුන්වැනි ස්ථානය දිනාගත් ශ්රී ලංකා පිල ඊයේ අසාර්ථක ක්රීඩා විලාශයක නිරතවූ අතර කුසලාන වටයට පවා සුදුසුකම් ලැබුවේ නැත.
ආසියානු රග්බි තරගමාලාවේ පළමු අදියර ලෙස පසුගියදා හොංකොං නුවර පැවැති තරගාවලියේ පිලිපීනය පරාජය කරමින් තුන්වැනි ස්ථානය දිනූ ශ්රී ලංකා පිල ඊයේ පස්වැනි ස්ථානය සඳහා පිලිපිනය සමග පැවැති තරගයෙන් ලකුණු 19-17කින් පරාජයට පත්විය.
ශ්රී ලංකා පිල ඊයේ පිලිපීනය සමග පැවැති තරගයේ පළමු භාගය නිමාවෙද්දී ලකුණු 12-7කින් පෙරමුණ ගැනීමට සමත්වූවත් දෙවැනි භාගයේදී පිලිපීන ක්රීඩකයන්ගේ අභියෝගය මැද දැඩි පසුබෑමකට ලක්විය. ශ්රී ලංකා පිල ආසියානු සත් සාමාජික රග්බි තරග බිමේ පළමු කණ්ඩායම් 5 අතරට පිවිසීමට අසමත්වූයේ වසර 5කට පසුවය.
ශ්රී ලංකා ක්රීඩකයන් කොරියාවේදී අසාර්ථක වූවත් ක්රීඩිකාවන් විශිෂ්ට දස්කම් දක්වමින් පස්වැනි ස්ථානය දිනාගැනීමට සමත්වීම කැපී පෙනේ.
සංජීවනි විජේතිලකගේ නායකත්වයෙන් කොරියානු තරගාවලියට එක්වූ ශ්රී ලංකා කාන්තා රග්බි පිල මෙවර තරගමාලාවේ පිට පිට දෙවැනි වරටත් පළඟ ශූරතාව දිනාගනිමින් පස්වැනි ස්ථානය අත්කර ගැනීමට සමත්විය. සුදත් සම්පත්ගේ පුහුණුකාරීත්වයෙන් තරග වැදුණු ශ්රී ලංකා ක්රීඩිකාවෝ පළඟ ශූරතාව සඳහා වන අවසන් තරගයේදී ලකුණු 22-5කින් තායිලන්තය පරාජය කිරීමට සමත්වූහ. තරගය පුරා විශිෂ්ට දස්කම් පෑ හිටපු නායිකා තනූජා වීරක්කොඩි උත්සාහක දිනුම් ත්රිත්වයක් තැබීම කැපී පෙනුණි. මීට අමතරව මෙවර තරගමාලාවේ සාර්ථකම ශ්රී ලාංකීය ක්රීඩිකාවක වන දුලානි පල්ලිකොන්දගේ එක් උත්සාහක දිනුමක් තැබුවාය.
ආසියානු සත් සාමාජික කාන්තා තරගාවලියේ පළමු අදියර ලෙස හොංකොං හී පැවැති තරගාවලියේදිත් පළඟ ශූරතාව දිනාගත් ශ්රී ලංකා ක්රීඩිකාවන් අවසන් මහා තරගයේදි තායිලන්තය ලකුණු 22-10කින් පරාජයට පත් කළේය. කොරියානු තරගාවලියේදි ‘සී’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසි ශ්රී ලංකා ක්රීඩිකාවෝ මූලික වටයේ පළමු තරගයෙන් ප්රබල හොංකොං පිල හමුවේ ලකුණු 41-0ක පරාජයක් ලැබූවත් සත්කාරක කොරියාව සමග පැවැති දෙවැනි තරගයේදී ලකුණු 22-5ක ජයක් වාර්තා කළහ. ඊයේ මූලික වටයේ අවසන් තරගයේදි ජපානය හමුවේ ලකුණු 41-0ක පරාජයක් අත්විඳි ශ්රී ලංකා ක්රීඩිකාවෝ පළඟ ශූරතා අවසන් පූර්ව තරගයේදි සිංගප්පූරුව ලකුණු 15-10කින් පරාජය කළහ. එම තරගයේ නියමිත කාලය අවසන් වෙද්දී දෙපිලම ලකුණු 10 බැගින් ලබා සිටි අතර අතිරේක කාලයේදී විශිෂ්ට උත්සාහක දිනුමක් තබමින් ශ්රී ලංකා පිලට ජයග්රහණය අත්කර දෙනු ලැබුවේ දුලානි පල්ලිකොන්දගේ විසිනි. මේ තරගයේ ශ්රී ලංකා පිල රැස් කළ උත්සාහක දිනුම් 3ටම හිමිකම් කී දුලානි තීරණාත්මක උත්සාහක දිනුම තැබුවේ මීටර් 60කට ආසන්න දුරක් දිවයමිනි. ඇය මේ තරගාවලිය පුරා උත්සාහක දිනුම් 6ක් තැබීමට සමත්වූවාය.
මෙවර තරගාවලියේ පිරිමි හා කාන්තා ශූරතා ද්විත්වයම ජපානයට හිමිවිය.
0 Comments