Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පරිසර හිතකාමී කොළඹ මැරතන් 7 වැනිදා ගමන් අරඹයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

විනෝදාත්මක ක්‍රීඩා හා ක්‍රියාකාරකම් මෙහෙයවීමේ පුරෝගාමීන්වන ලංකා ස්පෝට්රයිසන් ආයතනය 18 වැනි වරට සංවිධාන කරන එල්. එස්. ආර්. කොළඹ මැරතන් තරගය මේ මස 7 වැනි ඉරිදා පෙරවරු 6ට බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව අසලින් ආරම්භවී බෞද්ධාලෝක මාවත ඔස්සේ බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල, පමුණුගම, තලාහේන, පිටිපන හා දූව හරහා මීගමුව වෙරළ තීරයෙන් අවසන් වේ.

පරිසරයට හිතකර ලෙස සංවිධාන කෙරෙන මේ මැරතන් තරගයට රටවල් 47කින් දෙස් විදෙස් මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8500කට වැඩි පිරිසක් සහභාගි වේ. ‘එල්.එස්.ආර්. කොළඹ මැරතන්’ තරගයේ ජයග්‍රාහකයන්ට රුපියල් මිලියන 2.5ක තෑගි මුදලින් පිරිනැමේ. මෙය ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ කැලැන්ඩරයට අයත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම මැරතන් තරගය බවට පත්ව ඇති අතර සහභාගීවන තරගකරුවන් අතුරින් 500ක් විදෙස් මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්වීම විශේෂත්වයකි.

විශාල පිරිසක් නියෝජනය වන බැවින් මෙය අර්ධ මැරතන් තරගයකින් හා පූර්ණ මැරතන් තරගයකින් සමන්විත වේ. ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය අනුමත කළ මේ ධාවන පථය ඔස්සේ පැවැත්වෙන පූර්ණ මැරතන් තරගය කිලෝමීටර් 42.195ක දුරකින් යුක්තවන අතර අර්ධ මැරතන් තරගය කිලෝමීටර් 21. 097ක දුරකින් යුක්තය. මේ මැරතන් තරග දෙකටම කාන්තා හා පිරිමි ධාවකයන් එක්වේ. පූර්ණ හා අර්ධ මැරතන් තරගවලට අමතරව ප්‍රවීණයන්ගේ මැරතන් ධාවන තරග දෙකක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගීවන හෙයින් විනෝද මැරතන් තරග දෙකක් පැවැත්වේ. එහි පළමු වැන්න කිලෝමීටර් 10ක දුරකින් යුක්තවන අතර දෙවැන්න කිලෝමීටර් 5ක දුරකි. පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන මැරතන් තරගය කිලෝමීටර් 5ක දුරකින් යුක්ත වේ.

ඉතා කුඩාවට ආරම්භවූ ‘එල්.එස්.ආර්. කලම්බු මැරතන්’ තරගය විවිධ අභියෝග ජයගෙන මේවන විට අති සාර්ථක තත්ත්වයකට පත්ව ඇතැයි ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් රයිසින් ආයතනයේ සභාපති තිලක් වීරසිංහ මහතා පසුගියදා ඔලිම්පික් නිවහනේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

‘ඉදිරි වසර කිහිපය තුළ දී කොළඹ මැරතන් තරගයට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව තව තවත් සීඝ්‍ර ලෙස ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙනෙන්නට තිබෙනවා. කොළඹ - මීගමුව මාර්ගයේ මේ තරගය පැවැත්වීමට මීගමුව නගරාධිපති ගයාන් ලංසා මහතා ඉල්ලීමක් කළා. මේ තරගය හේතුවෙන් ජගත් ප්‍රජාව තුළ ශ්‍රී ලංකා නාමයට කීර්තියක් අත්ව තිබීම සතුටට කරුණක්. ශ්‍රී ලංකාව ආරක්ෂිත සංචාරක පුරවරයක් බව මේ මැරතන් තරගයත් සමග ලෝකයට යන සුභවාදී පණිවිඩයක්’ වීරසිංහ මහතා කියා සිටියේය.

මේ මැරතන් තරගය පිළිබඳ අදහස් දැක්වූ සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පැවැසූවේ විදේශිකයන්ට කොළඹ පුරවරයේ අසිරිය අත්විදීමේ අවස්ථා මේ මැරතන් තරගය හරහා සිදුවන බවයි.

“මේ වගේ ක්‍රියාකාරකම්වලට රජය පූර්ණ සහයෝගය ලබා දෙනවා. අපේ රටට පැමිණෙන සංචාරකයන් කොළඹ පළාතේ රැදෙනවා ඉතා අඩුයි. ඔවුන් බොහෝවිට කැමැති පිට පළාත්වල ලස්සන දකින්නයි. මේ මැරතන් තරගයට එන විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කොළඹ දින කිහිපයක් රැදෙනවා. මේ තරගයෙන් අපට ලැබෙන ආර්ථික වාසි රාශියක් තිබෙනවා. මෙය දෙස් විදෙස් තරුණ පරපුරට ආශ්වාද ජනක තරගයක් වෙනවා” ඇමැතිවරයා පැවැසීය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ විනිසුරුවන්ගේ අධීක්ෂණය හා පූර්ණ සහයෝගය හිමිවන බව මලල ක්‍රීඩා සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවැසීය. “වසර 17ක් ඉතා සාර්ථකව මේ තරගය පැවැත්වීම අපේ මැරතන් ක්‍රීඩාවේ දියුණුවට දායකත්වයක්. මෙය ලෝකයේ මැරතන් ධාවනයට සම්බන්ධ ආයතන සමග එක්ව සංවිධාන කිරීම වැදගත්. එයින් මෙයට නිසි පිළිගැනීමක් ලැබී තිබෙනවා. ජාත්‍යන්තර මලල ක්‍රීඩා නීති රීතිවලට අනුකූලව මේ තරගය පැවැත්වෙන බවට අප සහතික වෙනවා. ඒ පිළිබඳ සොයා බැලීමට අපගේ විශේෂ කණ්ඩායමක් මේ මැරතන් තරගය සමග ගමන් කරනවා” මලල ක්‍රීඩා සභාපතිවරයා පැවැසීය.

ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ ද සහයෝගය ඇතිව සංවිධාන කෙරෙන එල්.එස්.ආර්.කොළඹ මැරතන් තරගයට සංචාරක අමාත්‍යාංශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සභාව, කොළඹ නගර සභාව සහ මීගමුව නගර සභාව විශිෂ්ට දායකත්වයක් සපයති.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();